“පිරිමි හිංසනය, ස්ත්‍රී හිංසනය මෙන්ම සමාජයේ කතිකාවකට ගත යුතුය”

“පිරිමි හිංසනය, ස්ත්‍රී හිංසනය මෙන්ම සමාජයේ කතිකාවකට ගත යුතුය”

889 views
0

“පිරිමියෙක් නේද? ලැජ්ජ නැද්ද ඔහොම අඬන්න?”, “පිරිමියෙක් නේද. කොන්ද පණ නැද්ද තීරණයක් ගන්න?”, “කොල්ලෙක් නේද..ගෙයක් දොරක් හදාගෙන,වාහනයක් අරගෙන පිළිවෙළක් වෙන්න ඕනෙ නැද්ද?”

ලංකාවෙ ජීවත් වෙන ඕනෙ ම මනුස්සයෙකුට ඔය කියන කතා ටික අහල හොඳට පුරුද්දක් තියෙනව.බොහෝ වෙලාවට කාන්තා හිංසනය ගැන ගිරිය පුප්පගෙන කතා කරන අපේ රටේ ඊට නො දෙවෙනිව සිද්ද වෙන පුරුෂ හිංසනය ගැන ගෙනියන්නෙ හරිම නිහඬ පිළිවෙතක්. ඒ පීඩිත පාර්ෂවය ගැන අපි අද දිවැසින් බලමු.

කාන්තා හිංසනයට සාපේක්ෂව පුරුෂ හිංසනය සහ පුරුෂයන්ට වෙන අසාධාරණය ගැන අවධානය අඩු වෙන්නෙ ඇයි ?

ඒකට ප්‍රධාන ම හේතුව විදියට මං දකින්නෙ පවතින පුරුෂ මූලික සමාජ ක්‍රමය ම යි.”පිරිමියෙක්” කියන්නෙ ඕන ම දෙයක් දරාගන්න පුළුවන් , නොසැලෙන පෞරුෂයක් තියෙන කෙනෙක් විදියට යි සමාජය බලාපොරොත්තු වෙන්නෙ. මේ නිසා ම තමන් අත්විඳින පීඩනය හෝ තමන්ට සිද්ද වෙන අසාධාරණකම් හෙළි කරන්න පිරිමි කැමති වෙන්නෙ නෑ. මොකද ඒක තමන්ගෙ පිරිමි කමට වන හානියක් විදියට ඔහු හිතනව. ඉතින් සමාජය විසින් බලාපොරොත්තු වන භූමිකාව ඒ විදියට ම ඉටු කරන්න තියෙන වුවමනාව නිසා ම පුරුෂයන්ට සිද්ද වෙලා තියෙනව සියලු හිංසන සහ අසාධාරණකම් දරාගෙන ජීවත් වෙන්න.

“පිරිමියෙකු හිංසනයට ලක් වෙන්නෙ මොන වගේ අවස්ථාවලදි ද?”

“විවාහය” කියන කාරණාව මෙතනදි වැදගත්. විවාහය තුළ පුරුෂයා හිංසනයට ලක් වෙන්න ප්‍රධාන හේතුවක් විදියට මං දකින්නෙ අතීතයට සාපේක්ෂව කාන්තාවගේ භූමිකාව වෙනසකට ලක්වීම. අතීතයේ අපේ කාන්තාවන්ට පැවරුණ යම් වගකීම් කිහිපයක් තිබුණා. ගෘහණියක්,මවක් සහ බිරිඳක් විදියට විශාල රාජකාරි ප්‍රමාණයක් ඇය වෙත පැවරුණා. අද වෙද්දි මේ රාජකාරිවලට අමතරව කාන්තාව ආර්ථිකයට දායක වෙන්නත් පටන් අරගෙන තියෙනව. නමුත් පිරිමියා? එදා පටන් ම ඔහුට මේ සමාජය ලබාදුන්නෙ එක් රාජකාරියක් විතරයි. ඒ ආර්ථිකය ගොඩ නැගීම.

සරලව ම කිව්වොත් ගෘහයේ වැඩ කටයුතු, දරුවන් රැකබලාගැනීම, වැනි කටයුතු වගේ ම ආර්ථික ක්‍රියාවලිය කළමනාකරණය කරගන්නත් කාන්තාවන්ට පුළුවන් වෙන තැන පුරුෂයා පව්ලට අවශ්‍ය නැති කෙනෙක් විදියට සැලකෙනවා. මේ තත්ත්වය උඩ විවාහය තුළ පුරුෂයා දැඩි මානසික පීඩනයකට ලක් වීම සිදු වෙනව. නිසැකව ම කළ යුත්තේ වෙනස් වෙන ලෝකයට සාපේක්ෂව වෙනස් වෙන්න පුරුෂයාට හුරු කරවීම මිස ඔහුව සමාජ ක්‍රමය තුළ මූලික කිරීම නෙවෙයි. ඉදින්,ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත අසමානතාව තුරන් කරන තාක් කල් මේ හිංසනයෙන් පුරුෂයාට ගැළවීමට නො හැකි යි.

“නැන්දම්මට සහ ලේලිට මැදි වන පිරිමියා”

ලංකාවේ පවුල් සංස්ථා බිඳ වැටෙන්න බලපාන ජනප්‍රිය ම මාතෘකාවක් තමයි “නැන්දම්මා-ලේලි” වලි.ඉතින් මේ සම්බන්ධ සිදුවීම්වලදී ලේලිගෙ අඩත්තේට්ටම්වලින් අසරණ වෙන වයසක නැන්දම්මයි නැන්දම්මගෙ දුශ්ටකම් ඉවසගෙන ඉන්න අහිංසක ලේලියි ගැන කතා කළත් එතනදි අසරණ වෙන පිරිමියා ගැන කතා කරන්නෙ හරි ම අඩුවෙන්. ඇත්තට ම මෙතන දි එක පාර්ෂවයක්වත් ගන්න ඔහුට පුළුවන් කමක් නෑ . “අවුරුදු මෙච්චර ගානක් උඹව හැදුවෙ මම ය.අම්මට වඩා ගෑනි ලොකු වුණා ද” කියල අහන අම්මෙකුගෙ පැත්ත අරන් විවාහ ජීවිතය කඩා කප්පල් කර ගන්නත් ” ඔයා මට පොඩ්ඩක්වත් ආදරේ නැද්ද හබී? ඔයාගෙ අම්මත් එක්ක නම් මට මේ ගෙදර ඉන්න බෑ ” කියන බිරිඳගේ පැත්ත අරන් අම්මව නැති කරගන්නත් බැරිව ඇත්තටම ඔහු අසරණ වෙනව ඇති.”නව්‍ය වාසී ක්‍රමය” පදනම් කරගත්තු වුවාහ අද වන විට හුඟක් ජනප්‍රිය වෙන්න බලපාන ප්‍රධාන හේතුව තමයි ඔය කිව්ව කාරණා.

“ලිංගිකත්වය තුළ පුරුෂයා හිංසනයට ලක්වීම සිදුවෙනවා”

වැඩිමහල් කාන්තාවන් මගින් පිරිමි දරුවන් හිංසනයට ලක් වන අවස්ථා තියෙන බව අමතක නො කළ යුතු යි. ඒ වගේ ම වැඩිහිටි පුරුෂයනුත් කාන්තාවන් මගින් ලිංගික හිංසනයට ලක් වන බව කිව යුතු යි. නමුත් මං දකින ප්‍රධාන කාරණාවක් තමයි බහුල වශයෙන් ම පිරිමියෙක් ලිංගිකව හිංසනයට ලක් කරන්නෙ තවත් පිරිමියෙක් කියන එක. මේ අවස්ථාවල තමන් වෙනුවෙන් හඬ නගන්න බොහෝ පිරිමි උත්සහ නො කරන්නෙ මං කලින් කිව්ව සමාජය විසින් “පිරිමියෙක්” විදියට පිරිමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන භූමිකාව නඩත්තු කිරීමේ අවශ්‍යතාව. ඒ නිසා ම බොහෝ පිරිමි මේ හිංසනයන් හමුවේ මුනිවත රැකීම සිදු වෙනව.

ලිංගික හිංසනයේ තවත් කතා කළ යුතු ම පැත්තක් තියෙනව.විශේෂයෙන් ම තමන්ව අපයෝජනයට උත්සහ කරන කාන්තාවන් මගින් අපයෝජනය වෙන්න ස්ව කැමැත්තෙන් ම ඉදිරිපත් වෙන පිරිමිත් ඉන්න බව කිව යුතු ම යි. බොහෝ වෙලාවට එම තත්ත්වය හිංසනයක් විදියට නො සලකන ඔවුන් “තැටිය රත් වූ මොහොතේ රොටිය පුච්චාගැනීමට” යුහුසුළු වෙනවා.කොහොම වුණත් මේ වගේ අවස්ථාවක සැබැවින් ම අසරණභාවයට පත් වෙන අහිංසක පිරිමි පාර්ෂවය ගැන අපි අනිවාරෙන් ම සානුකම්පිත විය යුතු යි.

“පුරුෂයන් අත්විඳින මානසික පීඩනය”

පොදුවේ අත්විදින සමාජ ප්‍රවාහය තුළ මේ තත්ත්වය බහුල වශයෙන් ඇති වෙන්න පුළුවන්. පොදු ප්‍රවාහනය තුළ “ජැක් ගැසීම” සුලබ කාරණයක්. බහුතරයක් කාන්තාවන් මේ සම්බන්ධව මුනිවත රැක්කත් ආත්ම ශක්තිය ඇති කාන්තාවන් බස් රථය හෝ දුම්රිය තුළ ම හඬ නැගීම, බැන වැදීම හෝ පහර දීම සිදු කරනවා. නමුත් අතපසු වීමකින් හරි කාන්තාවකගේ ශරීරයේ ස්ථානයක් ස්පර්ශ වුණොත් ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත් වෙන්න වෙයි කියල මානසික පීඩනයකින් පෙළෙන පිරිමි ද ඒ අතර ඉන්න පුළුවන්. විශේෂයෙන් මේ වගේ අවස්ථාවල රථයෙ ගමන් කරන සෙසු පිරිසගෙන් ගුටි බැට පූජාවක් බලාපොරොත්තු වෙන්නත් සිදු වෙනවා. මෙවැනි අවස්ථාවක වැඩි විශ්වාසයක් පවතින්නෙ කාන්තාව කෙරෙහි වීම පුරුෂයාට කෙරෙන අසාධාරණයක්. කිසිම සොයා බැලීමකින් තොරව කාන්තාවකගේ එක් වචනයකින් පිරිමියෙක් ලෝකය ඉදිරියේ වරදකරු වෙන්න ඉඩ තියෙනවා. කාන්තාව යනු විශේෂ ආරක්ශාවක් ලැබිය යුතු කෙනෙක් විදියටත් පිරිමියා යනු ඕනෑම මොහොතක තම අභිමතය ඉටු කර ගන්න තරම් ආත්ම ශක්තියකින් යුක්ත කෙනෙක් විදියටත් සමාජය තුළ මුල් බැසගෙන තියෙන මතය මීට ප්‍රධානව බලපාන බව කිව යුතු යි.

කොහොම වුණත් දැන් දැන් කාන්තා හිංසනය ට සාපේක්ෂව පිරිමි හිංසනය ගැනත් කතා කරන්න අතලොස්සක් දෙනා පටන් අරන් තිබීම සතුටට කාරණයක්. පුරුෂයන්ට වේවා කන්තාවන්ට වේවා කිසියම් හිංසනයක් , අසාධාරණයක් වෙනව නම් ඒකට කිව්ව ප්‍රධාන ම හේතුව වෙන්නෙ අර මුලින් කිව්ව සමාජ භාවය මේ සමාජ ක්‍රමය තුළ මුල් බැසගෙන තිබීම. ඉතින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ගොඩනගන්න කටයුතු නො කරන තාක් කල් පෙර කිව්ව සිදුවීම් එලෙසම සිද්ද වෙන එක නවත්තන්න නම් බැරි වේවි.කොහොම වුණත් ටීවී සීරිස්,ෆිල්ම්ස් හදන උදවිය මේ තත්ත්වය දිහා අලුත් කෝණයකින් බලලා නිර්මාණ කරන්න පටන් අරන් තියෙන බව සතුටට කාරණයක්. වැඩි වශයෙන් නිශ්පාදනය වන කාන්තාවක් “වීරයා” විදියට හුවා දැක්වෙන නිර්මාණ ඒ සඳහා සාක්ෂි සපයනවා.

කොහොම වුණත් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා “සියල්ලෝ ම මනුෂ්‍යයෝ ය ” කියන සිතුවිල්ල මනසෙ තියාගෙන එකිනෙකා දිහා බලන්න පුළුවන් නම් මනුෂ්‍යයාට මනුෂ්‍යාගෙන් සිදු විය හැකි හිංසනයන් , අසාධාරණයන් අවම කරගන්න හැකියාව ලැබෙන බව කිව යුතුම යි.

අදට ගිහින් එන්නම්.

දමිත්‍රි දර්ශා ( දමී )

Your email address will not be published. Required fields are marked *