පොත පතට සීමාවූ ජාතියක අදෝනාව

පොත පතට සීමාවූ ජාතියක අදෝනාව

47 views
0

මේක ශ්‍රී ලාංකීය අධ්‍යාපනය, අධ්‍යාපනය වෙනුවෙන් මනුස්සයෙක් විදිහට කරන කැපකිරීම හා ඊට අදාලව වටිනාකමක් ලැබෙනවද කියන කාරණාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක්.
මේක එක්තරා රටක සිද්ධ උන සංසිද්ධියක්. මොලේ ආබාධයක් නිසා පීඩා විදිමින් හිටිය පිලීප්ට ඉස්කෝලෙදි ජැක් කියලා හොදම යාලුවෙක් මුන ගැහෙනවා. පිලීප්ගෙ හැසිරීමේ වෙනසත්, අනිත් ලමයින්ට වඩා පීඩාවෙන් ඉන්න බවත් නිසාම ජැක්ට ඕනෙ වෙනවා පිලීප්ට මොකද වෙලා තියෙන්නෙ කියලා දැනගන්න. බහුතර ශ්‍රී ලාංකීය දෙමාපියන්ට වඩා උසස් හා විවෘත මනසක් තියෙන ජැක්ගෙ දෙමාපියෝ පිලීප්ගෙ රෝගය ගැන ජැක්ට පැහැදිලි කරලා දෙනවා වගේම, ඒ රෝගය සුවපත් කරගැනීමේ සැත්කම වෙනුවෙන් වියදම් වෙන අති දැවැන්ත මුදල හොයාගන්න එක කරන්න බැරි දෙයක් කියලත් කියලා දෙනවා.
ඒත් තමන්ගෙ යාලුවා ගැන ආදරෙන් ඉන්න ජැක් මේ වැඩේ අතෑරලා දාන්නෙ නෑ. කොහොම හරි ලෙමනේඩ් විකුණන ව්‍යාපාරයක් පටන් ගන්න ජැක් පිලීප්වත් එකතු කරගන්නවා. ඉතාම කුඩා මුදලකට ලෙමනේඩ් වීදුරුව ගානෙ විකුණලා කවදාවත් සැත්කමට ඇති වෙන්න තරම් මුදලක් හොයාගන්න බැරි වෙන බව දැනගෙන හිටියත්, ජැක්ගෙත් පිලීප්ගෙත් දෙමාපියෝ මේ පොඩි ලමයි දෙන්නගෙ අදහස් වලට ගරු කරලා තමන්ගෙන් වෙන්න ඕන උන උදව්වක් විදිහට ගෙදරදි ලෙමනේඩ් හදලා දෙනවා. මේ විදිහට ඒ රටේ අධ්‍යාපනයට සම්බන්ධව, තමන්ගෙම අදහසකට අනුව මොකක්ම හරි ව්‍යාපාරයක් කරලා ඒ සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කරන්න සිද්ධ වෙන එක හැම ඉගෙනගන්න ලමයෙක්ටම පාහේ පොදු පැවරුමක්.
ඉතින් ප්‍රදේශවාසීන් ඒ නිසා ජැක්ගෙ මේ ලෙමනේඩ් ව්‍යාපාරය ගැන පමණට වඩා අවධානයක් යොමු කරේ නෑ. ඒත් එක දිගට කාලයක් ගත උනත් ජැක්ගෙ මේ ව්‍යාපාරය නවතින බවක් නැති නිසා, ප්‍රදේශවාසීන් මේ ගැන සුල මුල හොයන්න උනන්දු වීමත් එක්කම, එක තරුණයෙක් මේ ව්‍යාපාරයේ අරමුණ ගැන තමන්ගෙ ටුවිටර් ගිනුමෙ සදහනක් තිබ්බා. ඒකෙ ප්‍රතිපලයක් විදිහට ලෝකෙ පුරා හිටිය ගොඩක් මිනිස්සු ජැක්ගෙ ලෙමනේඩ් බොන්න ආවා වගේම, ලෙමනේඩ් සීයක විතර වටිනාකම ගෙවලා එක ලෙමනේඩ් එකක් බීලා යන්නත් අමතක කරේ නෑ. ඔය විදිහට ඉතාම කෙටි කාලයකින් පිලීප්ගෙ සැත්කමට අවශ්‍ය මුදල් හම්බකරගන්න මේ පුංචි ජැක්, පිලීප් දෙන්නා සමත් උනා.
මේ සැත්කමට අවශ්‍ය මුදල හොයාගත්ත විදිහ ගැන දැනගත්ත වෛද්‍යවරයගෙ හිත උණු උන නිසා, අදාල සැත්කම නොමිලේ කරලා දෙන්න වෛද්‍යවරයා ඉදිරිපත් උනා. ඒ නිසා පිලීප් වගේම තවත් ඒ රෝගෙන් පීඩා විදිමින් හිටිය ලමයෙකුට ජීවත් වෙන්න වරම් දෙන්න ඒ මුදල උපකාර උනා විතරක් නෙවේ. වැඩිහිටියන් කවදාවත් කරන්න බෑ කියලා හිතද්දිත් මේ වගේ ලොකු දෙයක් කරලා පෙන්නන්න මේ පුංචි ජැක් පිලීප් දෙන්නා සමත් උනා.
ඇත්තටම මේ කතාව රෝගයක් ගැනවත්, මුදල් ගැනවත් නෙවේ. මං කියන රටේ මිනිස්සුන්ගෙ අධ්‍යාපනය සහ මුදල් සම්බන්ධයෙන් ඇති මානසිකත්වය. ඒ වගේම කුඩා දරුවන් සීමා නොකර ආරක්ෂිත පසුබිමක එයාලට අවශ්‍ය දේ කරන්න ඉඩ දෙන දෙමාපියන්ගෙ වැදගත්කමත් මේ කතාවෙන් පැහැදිලී.
ශ්‍රී ලාංකීය රටාව තුල පාසල් යන දරුවෙකුගේ මානසික සිරගෙය, සහ දෙමාපියන්ගේ පටු ආකල්ප වල පැවැත්ම අතරම පොත් පත් පාඩම් කිරීමෙන් ඔබ්බට යන දරුවෙකුට විදින්න සිද්ධ වෙන තාඩන පීඩන හැරුණු කොට, ලංකාවේ උපන් පිලීප්ලා සදහටම පොලොව යට වැලලෙන අතර, නව අදහස් සහ අධිෂ්ඨානයක් ඇති ජැක්ලා මිහිපිට විදවන අකීකරු හා නොහික්මුණ දරුවන් ලෙස අතීත නාමාවලියට එකතු වන්නෝ වෙති…
ශ්‍රී ලංකාව තරම් නිවාඩු ලැබෙන රටක් ලොව කොහේ වත් නෑ කිව්වත් ඒක බොරුවක් නොවේ. ඉතින් ඒ සා විවේක කාල හිමි අපි අපේ දරුවන් සහ ශිෂ්‍යයන් විවේක කාලයේදී, දොඩම් බීම අලවිසැලක් පවත්වාගෙන ගියහොත්, දෙමාපිය උපකාරය නොව, පවුලක නම්බුව කාපු එකා යැයි ගරු නම්බු නාම සහිතව වෙලදාම විනාශ කරන්නෝ ස්වකීය මා පිය ප්‍රමුඛ නෑදෑ පරපුරම වේ.
පොත පතින් ගත් දැනුම ගෙන, විශාල විභාග කඩයිම් ජය ගෙන ‍රජයෙන්ම රස්සාවක් දෙන තුරු උපාදි උන බම්බුව කර පින්නාගෙන සිටින ස්වකීය පරම්පරා නාමය ආරක්ෂා කල දේව දරුවනි, විභාගය අසමත් වූ නිසා දිවි නසාගත් මා පිය කීකරු වෛද්‍ය ශිෂ්‍යයනි, පොතින් එහා ලෝකයක් නොදැකි විද්‍යාර්තයනි, ඔබ නොදන්නවා උනාට ඕලෙවලුත් අසමත් මෝඩ කොලු ගැටයෝයි නම් ලත්, ස්වකීය ව්‍යාපාර හිමි, නැගී එන ලෝකයේ සාර්ථක වියාපාරිකයෝ, කලාකරුවෝ සහ නව නිර්මාණකරුවෝ කොතෙකුත් ඔබට ඉහලින් සාර්ථක ජීවිත ගෙවමින් හිදී…
මෙය ඔබේ වරදක් නොවේ. පටු ආකල්ප සහිත දෙමාපියන්ගේ වරදක්ද නොවන්නේය. එසේම චේන්ජ් විය යුතු සිස්ටම් යනු මේවායි. පැවරුම් ලෙස මැටි බෝනික්කන් සෑදූ යුගය අවසන් කල යුතුය. පැවරුම් පිනිස තමාගේම ව්‍යාපාරයකින් ලද ආදායම පාසලට ගෙනෙන දරුවා ඇගයිය යුතුය. අනිකාට වඩා කටපාඩම් කරන, පොතේ ඇලී සිටින දරුවා තේරීම හමාර කල යුතුය. වඩාත්ම නිර්මාණශීලි නව අදහස් සහිත පොත් ගොන්නක හැංගී නොසිට, ලෝකයට මුහුණ දීමට තරම් ශක්තියක් ඇති ශිෂ්‍යයා වීරයා විය යුතුය. මෙය හුදෙක් සිස්ටම් චේන්ජ් එකක් නොවන්නේය…
රූස්ස ගසක් බේරා ගැනීම වෙනුවෙන් පිළිලයක මුලට පහර දීමක් නම් කිසිම හේතුවක් මත කල් දැමිය යුතු දෙයක් නොවේ. පෙරපාසල් යාම, පාසල් යාම, විශ්වවිද්‍යාල යාම, රැකියා සහිතව මැරී යාම හා රැකියා විරහිත උපාදිධාරියෙකු වීමට අමතරව, ට්‍රැක් එකෙන් එලියට පැන ගොඩ යාම හා ව්‍යාපාර සදහා දිරිමත් කිරීම, නව නිර්මාණ ඇගයීම නොකරන ශ්‍රී ලංකාව වැනි රටකට මෙදා කපේ ගොඩ ඒමක් නැත…

අවසාන වශයෙන්ද කීමට ඇත්තෙ එක දෙයකි. “අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී”

~ මහේෂි ~

Your email address will not be published. Required fields are marked *