සමතාවයේ විෂමතාව .

සමතාවයේ විෂමතාව .

193 views
0

රන්දික අම්පාර ,උහන අතිශය දුෂ්කර පාසලක හතර වසර දරුවෙකි.නාලක අගනුවර ප්‍රමුඛ පාසලක හතර වසර දරුවෙකි .දෙදෙනා ම සම වයසේ පසුවන අතර මේ දෙදෙනා ගේ කතාවට මදක් අවධානය යොමු කරමු.රන්දික ගේ පියාට ස්ථිර රැකියාවක් නොමැති අතර කුලී වැඩ කරමින් බිරිඳ සහ දරුවන් හතර දෙනෙකු ජීවත් කරවයි.නාලක ගේ පියා රජයේ ඉහළ පරිපාලන නිලධාරීයකු වන අතර මව ගුරුවරියක් වේ.රන්දිකලා ගේ නිවසේ උදේ බත ඉදින්නේම නැත .කහට කෝප්පයක් බී කිලෝමීටර් දෙකක් මග ගෙවා පයින් පාසල වෙත ගමන් කරයි.නාලක ඉතා සාරවත් පාතරසයක් ගෙන රජයේ සුඛෝපභෝගී නිල රියෙන් කිලෝමීටර් දහයක් මග ගෙවා පාසලට යයි.රන්දික ගේ පංතියේ ගුරුවරිය නිවාඩු ලබා ගත් දිනවල රන්දිකලා පාසලේ වතුවැඩ කරන අතර නාලක ගේ පංතියේ ගුරුවරිය නිවාඩු ලබා ගන්නා දින වල එම පංතිය සදහා වෙනත් ගුරුවරයකු යොදවයි.විවේක කාලයේදී රන්දික පාසලේ ළිදෙන් වතුර බී සැනසෙන අතර නාලක නිවසින් රැගෙන ආ ප්‍රනීත කෑම වලින් කුස සනසා ගනියි .
පාසල් වේලාවෙන් පසු රන්දික පියා සමග කුලී වැඩ කරන අතර නාලක නිවසට පැමිණෙන ටියුෂන් ගුරුවරුන් ගෙන් වැඩි දුරටත් අධ්‍යාපනය ලබා ගනී.
වසර ගණනාවක් ගිය පසු නාලක රාජ්‍ය ආයතනයක ප්‍රධානියකු ලෙස කටයුතු කරන අතර රන්දික එම ආයතනයේ ම කම්කරුවෙකු ලෙස නාලක යටතේ සේවය කරයි.
මේ කතාවේ හරය කුමක්ද යනුවෙන් මෙම ලියවිල්ල කියවන අයෙක් මගෙන් ප්‍රශ්න කළ හැක.එම ප්‍රශ්නය ට මට කෙටි පිළිතුරක් ඇත .”මේ අන් කිසිවක් නොව අධ්‍යාපනයේ විෂමතාවය යි.” යන්න මගේ පිළිතුරයි.මෙම විෂමතාවය පවතින තෙක් අධ්‍යාපනයේ සමතාවය පිළිබඳව කතා කිරීම විහිළුවක් වේ.එහෙත් අප දශක ගණනාවක් තිස්සේ එම විහිළුවේ උත්පතිකාරකයන් ද ,දෙසුම් පවත්වන්නන් ද එම විහිළුවේ රසය වින්දනය කරන ප්‍රේක්ෂකයන් ද වේ.
අපට අප හරියටම පෙනෙන්නේ නැත .අප පිළිබඳව හරියටම පෙනෙන්නේ පිටස්තරයින්ටය.මෙම යථාර්ථය අප තේරුම් ගෙන ද නැත .අප සිතන්නේ අපේ රටේ අධ්‍යාපනය සමස්ථ දිවයිනේ ම ඉහළ මට්ටමක පවතිනවා කියාය.
ලෝක බැංකුව අපේ අධ්‍යාපනය පිළිබඳව කියන්නේ මොනවා ද ?ලෝක බැංකුව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ළමයෙක් සාමාන්‍යයෙන් වසර දහ තුනක් පාසල් අධ්‍යාපනය ලබන නමුත් එම කරුණ අධ්‍යාපනයේ ගුණාත්මක බව සමග ගැලපූ විට ළමයකුට ලැබෙන්නේ වසර
8.3 කට සමාන ඉගෙනුමක් පමණක් බවයි .මෙහි ව්‍යංග්‍යර්ථ කුමක්ද .ආර්ථික වශයෙන් සවිමත් පවුල් වල දරුවන් ස්වකීය ඉගෙනුමේ ඉහළම ඵලය වෙනත් මාර්ග වලින් ලබා ගන්නා බවයි .
මෙරට අධ්‍යාපන විෂමතාවය සම්බන්ධව බලපාන ප්‍රධාන සාධක දෙකක් නිශ්චිත ලෙස හදුනාගෙන ඇත .එනම් දරිද්‍රතාවය සහ ග්‍රාමීත්වයයි.ලෝක බැංකුව පෙන්වා දෙන්නේ ග්‍රාමීය දරුවන්ගේ ඉගෙනීමේ සහ අධ්‍යාපන ඵල අතිශය සීමාසහිත බවයි .ග්‍රාමීය සහ නාගරික ප්‍රදේශවල සංසන්දනාත්මක දත්ත වලින් පෙන්නුම් කරන්නේ මෙම ප්‍රදේශ දෙක අතර අධ්‍යාපනය සහ ඉගෙනුම් අවස්ථා පිළිබඳව බරපතළ විෂමතා තිබෙන බවයි .සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රාථමික අධ්‍යාපනයට ප්‍රවේශ වන්නේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබිය යුතු දරුවන්ගෙන් ඉතා අඩු ප්‍රතිශතයක් බව මේ සම්බන්ධව ලෝක බැංකුව නිකුත් කළ 2016 වාර්තාවේ පැහැදිලිව සදහන් කර ඇත .
අනිත් අතට අධ්‍යාපන ගුණාත්මක බව පිළිබඳව ගෝලීය දත්ත මාලාවට (The Global Data Set On Education Quality) අනුව මේ රටේ ග්‍රාමීය ප්‍රදේශ වල අධ්‍යාපන ගුණාත්මක බව පිළිබඳව ඉතා බරපතළ ගැටලු පවති.ඇතැම් ප්‍රදේශවලදී එහි විෂමතාවය ඉතා ඉහළ අගයක පවති.අනිත් අතට අතර මග පාසල් අතහැර යන සිසුන් ගේ ප්‍රතිශතය ද ඉහල මට්ටමක පවතින බව අනාවරණය වී ඇත .අධ්‍යාපනයේ ගුණාත්මක බව පිළිබඳව මෙම පරතරය තරුණ අසහනය,තරුණයන් අතර පවතින හීනමානය,ප්‍රචණ්ඩත්වය යන කරුණු ප්‍රවර්ධනය කිරීමට ඉහළ දායකත්වය සපයන අතර ඒ සමග ඇතිවන සමාජ නොසන්සුන්තාව සමනය කර ගැනීමට ද නොහැකි වී ඇත .මෙම සාධක මෙසේ පවත්වාගෙන යනතෙක් මේ රටේ නාලකලා මෙන්ම රන්දිකලා ද ලක්ෂ ගණනාවක් බිහිවීම වැලැක්විය නොහැක .
එස් .එම්.ජයසූරිය

Your email address will not be published. Required fields are marked *