බුදු දහම, දර්ශනය, මාර්ගය හා වටහා ගැනීම

බුදු දහම, දර්ශනය, මාර්ගය හා වටහා ගැනීම

190 views
0

බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද තෙද වැඩී ගිය ලාංකේය බෞද්ධ ජනී ජනයා පහුගිය දවස් කීපෙක ඉදන් දෙපිළ බෙදීගෙන වාග් ප්‍රහාර එල්ල කරගන්න හැටි සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා කවුරු කවුරු ත් දකින්න ඇති . මේ ගැන හොයල බලනකොට තමයි දැනගන්න ලැබුණෙ බුදු දහමින් සුපෝෂිත මේ පිරිස් ඇනකොටා ගන්නෙ ලංකාවෙ කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව විහාර ඉදිකිරීම සම්බන්ධයෙන් කියල . මේක ගැන සමාජයත් එක්ක විවෘතව කතාකරල මගේ අදහසත් ඔවුන්ගේ අදහසත් ඔයාලා එක්ක බෙදාගන්න එක වටිනව . 

බුදු දහමෙ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ගැන ඔයත් මමත් වෙහෙර විහාර නිර්මාණය ගැන වාද විවාද කරගන්න අයත් යන සියල්ලන්ම දන්නවා ඇති . ප්‍රතිපත්තිමය පූජා ගැන සඳහන් නොකර අපේ මාතෘකාවට අදාළ මේ ආමිස පූජා වලින් කතාව පටන් ගමු . ලංකාවෙ ආමිස පූජා ගැන දැනුවත් වෙන්න හොදම උදාහරණයක් තමා වෙසක් සහ පොසොන් උත්සව කියන්නෙ . බුද්ධාගමට අනුකූලව ජීවත් වෙන බොදු උදවිය පවා මේ ආමිස පූජා ගැනත් විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරනව ඔබ දැකල ඇති . ආමිස පූජාවට විපක්ෂව අදහස් දක්වන අය ,

” පිළිම වල ධර්මය නෑ , පිළිමෙ අයින් කරා කියල දහමට හානියක් නෑ “

” ධර්මය තියෙන්නෙ හිතේ , බොරුවට පිළිම විහාර හැදුවට වැඩක් නෑ “

” පන්සල් හදන්න කොච්චර වියදම්ද , නැති බැරි කෙනෙක්ට කන්න බොන්න දෙන්න තිබ්බා “

ආමිස පූජා වලට පක්ෂව අදහස් දක්වන අය , 

” පිළිමයක් උනාට ජීවමාන බුදුන් වහන්සේට සත්කාර කරන්නා වගේ පිළිම වන්දනාව කරන්නෝන “

” විහාරයක් හදන්න දායක වෙනව කියන්නෙ නිවන් දක්නා ජාති දක්නා ඵල දෙන පුණ්‍ය කර්මයක් “

” ආගම පවතින්න අපි මේ වෙහෙර විහාර හරහා ජනතාව තුල ආගමික ජීවනයක් ඇති කරන්න ඕන “

මේ විදියට දෙපිළ බෙදිලා අදහස් දක්වන ඇත්තො ප්‍රමුඛයි . මීට අමතරව මේ සියලු අදහස් වලට වඩා වෙනස් අදහස් ආමිස පූජාව ගැන දරන අයත් ඉන්නවා . 

ඒ කොහොම උනත් මේ ආමිස පූජාව ගැන කතාබහට ලක් වෙන්න නම් යම් දෙයක් සිද්ධවෙන්නම ඕන . රුවන්වැලි සෑයෙ පලතුරු පූජාවක් තිබ්බත් , ශිලා දේව පිළිමෙකට දිළිසෙන රෙද්දක් අන්දල තිබ්බත් , පූජාබාණ්ඩ අලෙවිසැලක ඇඩ් එකක් දැක්කත් ඔන්න මතක් වෙනව ආමිස පූජා . මෙ දවස් වල ඔය ගැන කතා කරන්න හේතු වෙලා තිබ්බෙ මම ඉහත කීව වෙහෙර විහාර ඉදිකිරීම ගැන ජනතාවගෙ හිතෙ ඇති වුණ අදහස් . මේ විදියට විහාර ඉදි කිරීම කොයිතරම් දුරට සාර්ථකද , ඉන් සිදුවෙන යහපත් දේ , සිදු විය හැකි විනාසය , පාරිසරික සම්පත් හානිය ආදි නොයෙක් දේ ගැන නොයෙක් විදියට අදහස් සමාජ මාධ්‍ය ඔස්සෙ දක්වල තිබුණා . 

ආගම් පවතින්න ඇත්තටම විහාර ඕනද ? විහාර ඕන උනත් රටේ ගව්වෙන් ගව්වෙන් දුරට විහාර ඉදිකිරීම සාධාරණද ? විහාරයක් දැකල සැදී පැහැදෙන බෞද්ධයන් කොයිතරම් නම් ඉන්නවද ? විහාරයක් හදන එක විතරද මේ රටේ උදවියට වරදක් විදියට දකින්න පුළුවන් ? විහාර හදන එක ප්‍රශ්නයක් නොවුනට ප්‍රශ්නය විහාරය හදන්න තෝරා ගත් ස්ථානයද ? 
මේ ආදී නොයෙක් ප්‍රශ්න මගෙ හිතටත් ගලාගෙන ආවෙ ඔය සිද්ධියත් එක්ක . හැමදාම මගේ අදහස් ඔයාලත් එක්ක බෙදාගන්න නිසා අද හිතුවා මේ ගැන සමාජයෙන් අහඹු ලෙස තෝරගත්තු විවිධ ස්ථරයන්හි සිටින පුද්ගලයන්ගෙන් විමසීමක් කරන්න . ඒ සියල්ල පහතින් සටහන් කරල ඇති :

පැනය – වර්තමාන සමාජය තුළ කතිකාවතක් ඇති කළ ලාංකීය කඳුකර පද්ධතිය ආශ්‍රිතව විහාර ඉදිකිරීම පිළිබඳ ඔබේ අදහස කුමක්ද ?

අදහස් :
මම කියන්නේ ඒක ෆැෂන් එකක් වෙලා ඉබාගාතේ වෙහෙර විහාර ඉදි උනොත් ඒක පරිසර පද්ධතියට බලපානවා ඒක නෑ කියන්න බෑ.හැබැයි පාරිසරික නීති හරියටම ක්‍රියාත්මක වෙනවා නම් මධ්‍යම කදු කරය තුල මහා විශාල ජලාශයන් ඉදිකිරිම හෝටල් පද්ධති ඉදිවිම ඉතා සෝචනියයි.ඒ වගේම වර්තමාන පරිසර වේදියෝ එදා සිටියානම් අපිට උතුම් වු සමන් දේවියන්ගේ අඩවියේ ශ්‍රී ගෞතම බුදුන් වහාන්සේගේ ශ්‍රී පතුල දකින්න ලැබේන ශ්‍රී පාදස්තානය අපිට අදටත් දැක ගන්නට වැද පුදා ගන්නට නැති වෙන්න බැරි වෙන්න තිබුනා . ඇල්ල.නුවරඑළිය.මන්දාරම් නුවර.පිදුරුතලාගල රිවස්ටන් හෝර්ටන් තැන්න වැනි ස්ථාන වල සංචාරක කර්මාන්තය හොදින් ක්‍රියාත්මක වන බැවින් දැන් දැන් ඉතාමත් ජනාකීර්ණත්වයක් ගනිමින් සංචාරක නිකේතන ඉදි වෙනවා . ඒවා සීමා කළ යුතුයි.හැබැයි ඒවට කිසිවෙක් කතා කරන්නේ නෑ සල්ලි කාර කම්පැනි කාරයන්ගේ මුදලට පරිසර වේදියෝ ඇතුලු සියල්ල යට වෙනවා.අනික තමා හන්තාන සද හිරු සෑය හදලා තියෙනේ කදු මුදුනක නෙමෙයි තේ වත්තක් කෙලවරක . සුද්දා ලංකාවට ඇවිත් මධ්‍යම කදුකරයේ තේ කෝපි වැවුවා පරිසර පද්ධතිය විනාශ උනා . ඉතිම් එදා නුවර බහිරව කන්ද කුරුණෑගල ඇතුගල වගේ තැන් වල බුද්ධ ප්‍රතිමා නිර්මාණය කලා . පරිසර පද්ධතිය රැකෙන ලෙස බෞද්ධ උරුමය රැකෙන ලෙස විහාර ඉදිකිරිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.එදා ගම්පොල අම්බුලුවාව නිර්මාණය කරද්දින් කාගෙන්වත් විරෝධයක් ආවේ නෑ.මොකද අම්බුලුවාව කියන්නේ බෞද්ධ විහාරයක් නොවන නිසා ඒත් අද හන්තාන සද හිරු සෑයට විරෝධයක් එනවා එතන ඇති වෙලා තියන බෞද්ධ පුනුරුදයත් සමග ඇත්තටම හදවතින්ම මේ මහා පොලවට ආදරය කරලා එම ඉදිකිරිම් වලට විරෝධය පානවානම් කනගාටුවක් නෑ . හැබැයි දේශපාලන කන්නාඩි දාගෙන තමන් බලන දේශපාලන කෝණයෙන් බලලා බොරු ජාත්‍යාලයක් මවා පාමින් මේ කරන විරෝධය විහිලු සහාගතයි.
එම වෙහෙර විහාර ඉදිකිරිම් වලදි රජයේ ඉඩම් වල ඉදිකිරිම් සිදු කලත් රක්ෂිත වල එසේ ජනාවාස ඉදිකිරිම හෝ කිසිම ආගමික සිද්ධස්ථානයක් ඉදිකිරිම සම්බන්ධයෙන් එකග වෙන්නේ නෑ .

ජයලත් නවනෙලිය මහතා

ලංකාවේ කඳුකර පද්ධතිය ආශ්‍රිත අත්තනෝමතික  ඉදිකිරීම් අද ඊයෙක ඇරඹුනු එකක් නෙවෙයි නෙ , නමුත් මෙතන උන්මාදයක් වගේ පැතිරුණා අලුත් පන්සල් ආරාම ඉදිකිරීම. සහ ඒකට තරුණ පරපුරේ ලොකු විරෝධයක් මතු උනා. ඒත් ඇත්තෙන්ම ඒ විරෝධය කදු ආශ්‍රිත අලුත් හොටෙල් ඉදිකිරීම් වලටත් යොමුවෙන්න ඕනෙ. මොකද මේ අය මේ අත තියන්නෙ අතිශය සංවේදී පරිසර පද්ධතියකට කියන දේ ලංකාවේ පාසල් ශිෂ්‍යයෙකුට උනත් තේරෙනව. ලංකාවේ මේ වෙනකොට වන වැස්ම 16%කටත් වඩා අඩුයි. මේ වෙන දේවල් එක්ක ඒකතවත් අඩුවෙන එක අහන්න දෙයක් නෑ. සංවර්ධනය හෝ ආගම ව්‍යාප්ත කිරීම මේ දේවල් වල නාමමාත්‍රික ලේබලය උනාට පොදු මනුශ්‍යයෙක් විදිහට අපේ සීමිත පරිසර සම්පත් අවම හානියක් වෙන විදිහට  කළමනාකරණය කියන දේට වගවීමක් තියෙන්න ඕනෙ. මේ අයට මේ ඉඩම් අත්පත් වෙන්නෙ කොහොමද කියන දේත් ප්‍රශ්න කරන්න ඕනෙ. විහාර ඉදිකිරීම් ගත්තොත් දැනටමත් ලංකාවේ පොදු ස්ථානවලින් වැඩි හරියක් පුරෝගෙන තියෙන්නෙ ආගමික ස්ථාන. නමුත් සීමිත පිරිසක් වෙනුවෙන්. ඉතින් මේවැයි නතර වීමක් නොවුනට කමක් නෑ , ලංකාවේ වන වැස්මත් එන්න එන්න ලියලනවනම් පමණක්. !

පාසල් ශිෂ්‍ය සුභාෂිත ලක්මිණ

වර්තමානයෙ කඳුකර ආශ්‍රිතව විහාර ඉදිකිරීම පිළිබඳ කතාව විශාල වශයෙන් සිද්ධ උනාට , ඕක වර්තමානයෙ විතරක් නෙවෙ කූරගල සිද්ධිය පවා අයිති වෙන්නෙ මේ මාතෘකාවටමයි . ඇත්තටම ඒක මම හිතන විදියට ආගමික උමතුවක් . තමන්ගෙ ආගමේ හෝ දර්ශනයෙ සංකේත ප්‍රසිද්ධ කරන්න ඕන කියල හිතන එක එක්තරා උමතුවක් සහ අන්තවාදයක් විදියට මම දකින්නෙ . බුදු දහම වගෙ දර්ශනයක හැම හන්දියකම බුදු පිළිම හදන එකයි , හැම බෝගහටම වතාවත් සිදු කරන එකයි අනවශ්‍ය වැඩක් . හැම කන්දකම ඔහොම විහාර කරබ එකත් අනවශ්‍ය වැඩක් . බතලේගල විහාරෙ හදනවත් එක්කනෙ මේ ගැන කතිකාවත ඇති වෙන්නෙ . ආගම හෝ දර්ශනය තියෙන්නොන හදවතේ මිසක් කන්දක වත් ගස් පළ්ලෙවත් නෙවෙ . හැමදාම මිනිස්සු ප්‍රතිපත්ති පූජාවට වඩා ආමිස පූජාවනෙ  හැම ආගමික පූජාවකදිම ලොකු කරගන්නෙ .හැබැයි බුදුන් වහන්සේ කියන්නෙ යමෙක් ධර්මය දකීද හේ මා දකී කියලනෙ .හැබැයි ධර්මය දකින්නැතුව ආගමික උමතූන් වලට යටත් වෙලා ඉන්න එකෙන් සිද්ධවෙන්නෙ ආගමික පරිහානිය විතරයි . ඒ නිසා මේ ක්‍රියාවලිය මම දකින්නෙ ආගමික අන්තවාදය ක සෞම්‍ය පැතිකඩක් විදියට .

විශ්ව විද්‍යාල විද්‍යාර්ථ පෘථිවි අයේශ්මන්ත

කඳු මුදුන්වල වෙහෙර විහාර නෙමෙයි, මොනම විදිහේ ඉදිකිරීමක් හරි කරනවා නම් මම ඒකට විරුද්ධයි. මොකද ඒකෙන් ස්වභාවික පරිසරය විනාශ වෙනවා වගේම දීර්ඝ කාලීන පරිසර හානියකුත් සිද්ධ වෙනවා. 
අනික දැන් ලංකාවේ මිනිස්සුන්ට වැඳ පුදා ගන්න ඕනෑවටත් වඩා ආගමික ස්ථාන තියෙනවා. මම ජීවත් වෙන්නේ කොළඹ නගරය මැද්දේ තියෙන අක්කර 72 ක විශාලත්වයෙන් යුතු පුංචි ගමක. ඒත් අපේ ගමේ මේ වන විටත් පංසල් 5ක් තියෙනවා. ලංකාවේ අනික් හැම ගමකම තත්ත්වයත් ඊට සමානයි. 
මේ සිද්ධස්ථාන හදන්න තෝරගන්න කඳු මුදුන් හැම එකක්ම වගේ අතිශය සංවේදී පාරිසරික කලාප. සමහර ඒවා රක්ෂිත විදිහට ගැසට් කරපුවා. ඉතින් ඒ වගේ සංවේදී පරිසර කලාප තුළ අලුතින් ඉදිකිරීම් කරන්න අවසර දෙන්නේ කවුද? කියන එකත් ප්‍රශ්නයක්.
අනික කඳු මුදුනක් උඩ පංසලක් හැදුවාම ඒක එතැනින් ඉවර වෙන්නේ නැහැ. ඒ වෙහෙර විහාර වැඳ පුදා ගන්න මිනිස්සු යනවා. එහෙම යන අය තමන් ගෙනියන පොලිතින් වගේ දේවල් කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඒ පරිසර පද්ධතියට මුදා හරිනවා. ඒක ඒ පරිසරයේ ජීවත් වෙන සත්ත්ව කෙටස්වල පැවැත්මට තර්ජනයක්.
එතැනින් ගියාම මේ සිද්ධස්ථාන වැද පුරා ගන්න එන පිරිසට අවශ්‍ය පහසුකම් සපයන්න නොයෙක් අය කඩ සහ කෑම බීම සපයන හෝටල් වගේ දේවල් අලුතින් හදනවා. මොකද පංසලක් අවට පරිසරය කියන්නේ අති විශාල ව්‍යාපාරික අවස්ථාවන් තියෙන තැනක්. ඉතින් ගමේ හැමෝම බලන්නේ මොකක් හරි තාවකාලික මඩුවක් අටවගෙන මොනා හරි විකුණන්න. කාලයක් යද්දි මේ තාවකාලික මඩු ස්ථීර ගොඩනැගිලි බවට පරිවර්ථනය වෙනවා. රක්ෂිත ක්‍රමයෙන් එළි පෙහෙළි වෙලා ඒ පරිසරයේ තියෙන ශාක සහ සත්ත්ව කොටස්වල පැවැත්මට තර්ජනයක් ඇති වෙනවා. 
ඉතිං මම කියන්නේ කන්ඳක් මුදුණේ මොනම විදිහේ ඉදිරිකිරීමක්වත් අලුතින් කරන්න අවසර දෙන්න නරකයි.

ග්‍රැෆික් නිර්මාණශිල්පී අනිල් කරුණාරත්න මහතා

ඉදින් අවසාන වශයෙන් මේ ලිපිය බුදු බණ දැන පිංකම්හි හැසිරෙන සියලු සත්වයින්ට උපහාර වේවා .

පවනි වාසනා

Your email address will not be published. Required fields are marked *