අනීතික නියෝග වල වලංගුභාවයක් තිබේ ද ?

අනීතික නියෝග වල වලංගුභාවයක් තිබේ ද ?

272 views
0

1971 වසරේ අප්‍රේල් කැරැල්ල සමයේ කතරගම ප්‍රදේශයේ තරුණියක් වූ ප්‍රේමවතී මනම්පේරි අමානුෂික ලෙස දස වධදී මරා දැමු පුවත බොහෝ දෙනාගේ මතකයේ ඇත .එවකට පැවති ශ්‍රී ලංකා -සමසමාජ-කොමියුනිස්ට්  තුන් හවුල් සමගි පෙරමුණ ආණ්ඩුව ඊලඟ මැතිවරණයෙන් පරාජයට පත් වීමට එක් හේතුවක් වූයේ ද මෙම මනම්පේරි ඝාතනය යි.එම ඝාතනය පිළිබඳව වගකීම සම්පුර්ණයෙන්ම  බැර වූයේ එවකට පැවති සමගි පෙරමුණ ආණ්ඩුවට ය.ප්‍රේමවතී මනම්පේරි අප්‍රේල් කැරැල්ල ට සම්බන්ධ ද නැත්ද යන්න අපි නොදනිමු.අනිත් අතට මේ සාකච්ඡා කරන ප්‍රස්තුත කරුණ ට එය කොහෙත්ම අදාළ ද නැත .කිසියම් රටක කැරැල්ලක් ඕපපාතිකව බිහි වන්නේ ද නැත .

නමුත් ප්‍රේමවතී සිද්ධිය දී හමුදා නිලධාරීන් කටයුතු කළ ආකාරය පිළිබඳව විමසා බැලීම  හැම දෙනාටම ගුණ දායකය.ඉහළින් එන අනීතික නියෝග ක්‍රියාත්මක කිරීම සදහා සැදී පැහැදී සිටින රජයේ නිලධාරීන් සෑම දෙනෙක් ම ප්‍රේමවතී මනම්පේරි ඝාතනය පිළිබඳ නඩු තීන්දුව කියවා බැලීම වැදගත් වන්නේ තමන් ගේ සහ තම පවුලේ සාමාජිකයන් ගේ අනාගතය  අදුරුකර ගන්නවා ද නැතහොත් පැහැබර කරගන්නවාද යන්න පිළිබඳව තීරණය තම තමන් සතු නිසා ය.

රටේ සාමාන්‍ය නීතිය යටතේ වුව හදිසි නීතිය යටතේ වුව මහජන ආරක්ෂක පනත යටතේ වුව කිසියම් පුද්ගලයකු අත් අඩංගුවට ගැගැනීමෙන් පසුව කෲර අමානුෂික වධ හිංසා වලට ලක් කිරීම බරපතළ අපරාධමය වරදක් සේම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ද වේ.රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් වූ විට හමුදාව ට පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට බලය ඇති නමුත් සාධාරණ කාලයක් තුළ එසේ අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් පොලිසිය වෙත භාර දිය යුතුය .1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ    11    ව්‍යවස්ථාව ප්‍රකාරව අත් අඩංගුවට ගන්නා කිසිදු පුද්ගලයකු කෲර අමානුෂික වධ හිංසා වලට හෝ අවමන් සහගත සැලකිලි වලට හෝ දඩුවම් වලට ලක් කිරීම අනීතික වේ.එසේම එක්සත් ජාතින්ගේ සංවිධානයේ සිවිල් සහ දේශපාලන

අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අනුව ද මානව හිමිකම් පිළිබඳව විශ්ව  ප්‍රකාශනයට අනුව ද කිසිදු පුද්ගලයකු අනීතික අත් අඩංගුවට ගෙන කෲර අමානුෂික වධ හිංසා වලට ලක් කළ නොහැකි ය.

මේ සියලුම කරුණු පිළිබඳව නොතකා යම් පොලිස් නිලධාරීයකු හෝ හමුදා නිලධාරීයකු කටයුතු කරන්නේ නම් ඔහු අපරාධමය වරදක් සිදු කළා සේ නීතිය සලකයි.

මෙහිදී ප්‍රේමවතී මනම්පේරි ඝාතනය පිළිබඳව නඩු තීන්දුව එනම් රජය එ විජේසූරිය නඩුව ඉතා වැදගත් වේ.කතරගම රූප සුන්දරිය ලෙස අභිෂේක ලද ප්‍රේමවතී මනම්පේරි අත් අඩංගුවට ගන්නේ කර්නල් නුගවෙල ගේ නියෝගය පරිදි ය.එසේ අත් අඩංගුවට ගන්නා ලද ප්‍රේමවතී ට දස  වධ දී වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධව රජය විසින් ඔහුට සහ ඔහුගේ සහායක නිලධාරීයාට එරෙහිව මහාධිකරණ දී පැවරු නඩුවේ දී ඔවුන් දෙදෙනා වරදකරුවන් වු අතර වසර දහසයක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම විය .එම නඩු තීන්දුවේ හරය වූයේ එම විත්තිකරුවන් නීතිය ට පිටින් මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ නිසා අපරාධමය වරදක් සිදු කර ඇති බවයි .

එම මහාධිකරණ තීන්දුව ට එරෙහිව විත්තිකරුවන් විසින් අපරාධ අභියාචනාධිකරණය  වෙත ඇපෑලක් ඉදිරිපත් කළ අතර එම ඇපෑල හරහා ඔවුන් ඉදිරිපත් කළ විත්තිවාචකය වූයේ හමුදා නිලධාරීන් ලෙස තමන් හැම විටම ඉහත නිලධාරීන් ලබා දෙන අණ ක්‍රියාත්මක කිරීම ට බැදි සිටින බව සහ ඒ නිසා තමන් මෙම ඝාතනය සම්බන්ධව නීතිමය වරදක් සිදු කර නැති බවයි .

එම විත්තිවාචකය ප්‍රතික්ෂේප කළ අපරාධ අභියාචනාධිකරණය තීරණය කළේ ඉහළ නිලධාරීන් ගේ නීත්‍යානුකූල නොවන අණ ක්‍රියාත්මක කිරීම ට පහළ නිලධාරීයකු ට බලයක් නොමැති බව යි.එසේ ම එවැනි අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමේ වගකීම එකී නියෝග ක්‍රියාත්මක කළ නිලධාරීන් පෞද්ගලිකව භාර ගත යුතු බවත් ය .

මෙම නඩු තීන්දුව අදටත් වලංගු බව හොදින් මතක තබා ගත යුතු අතර රටේ පැවතිය හැක්කේ ද නීත්‍යානුකූල හමුදා පමණක් බව ද අවධාරණය කළ යුතුය . එබැවින් නීත්‍යානුකූල නොවන හමුදා පවත්වාගෙන යාම සහ එවැනි කණ්ඩායමක සාමාජිකයකු වීම ද අපරාධමය වගකීමක් වේ.

~ එස් .එම්.ජයසූරිය ~

Your email address will not be published. Required fields are marked *