අමනුස්ස බලවේග සහ මනෝව්‍යාධි

අමනුස්ස බලවේග සහ මනෝව්‍යාධි

280 views
0

සංඛ පෙරේරා කියන්නෙ වැදගත් ව්‍යාපාරිකයෙක්. ඔහු ධනයෙන් වගේම මනුස්සකමෙනුත් ධනවත් තිදරු පියෙක්. සංඛ මේ විදිහට අවුරුදු දහයකට අධික කාලයක් තමන්ගෙ ව්‍යාපාර වල  හිනිපෙත්තටම යමින් සිටි යුගයක එකදිගට ආපු කරදර තොගයක් එක්ක, ව්‍යාපාරයට අදාල රථ වාහන එකින් එක විකුණා ඒ මුදල් විනාස කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවේ ව්‍යාපාරයට අයිති වෙලා තිබුන විකුණන්න පුළුවන් උන හැමදෙයක්ම කුණුකොල්ලෙට විකුණලා දාපු සංඛ, තමන්ගෙ පවුලෙ, ගෙදර හැමෝටම ගොඩක් නපුරු විදියට සලකන්නත් පටන් ගත්තා. ඒ වගේම සමහර වෙලාවට ඉතාම සාමකාමී ආදරණීය් පියෙක් උන සංඛ තවත් සමහර වෙලාවට දරුණු මුගෘයෙක් වගේ හැසිරෙන එක කාටත් ලොකු ගැටළුවක් උනා. මේකෙන් වැඩිපුරම පීඩාවට පත් උනේ සංඛගේ බිරිව වගේම දරුවෝ තුන් දෙනා.  ඒ නිසාම මේ අය සංඛගෙ අදිසි හැසිරීමට හේතුව හොයන්න පටන් ගත්තා.

සමාජයේ තියන වාතාවරණය අනුව මේ ගැන  දැනගන්න හැමෝම කිව්වෙ අනිවාර්යෙන්ම සංඛට අනියම් සම්බන්ධයක් ඇති කියලා. සංඛගෙ බිරිද සුමිත්‍රා  සංඛ යන එන තැන් වගේම, සංඛගෙ දුරකතනය ගැනත් පරික්ෂාවෙන් හිටියත් අනියම් සම්බන්ධයක් ගැන පුංචි ඉගියක්වත් නොලැබුන නිසා, මේ සම්බන්ධයෙන් වෙනත් විකල්ප හොයන්න පටන් ගත්තා. මේ කාලෙ වෙනකොට සංඛ ගෙදර ඇතිවෙන පුංචි සද්දෙකට පවා ගොඩක් දරුණු විදියට ප්‍රතිචාර දක්වනවා විතරක් නෙවේ, බාහිර කිසිම මනුස්සයෙක් එක්ක ගනුදෙනු කරන්න යන්නෙත් නැති අවධියකට ආවා.  වෙනදා තමන්ගෙ ව්‍යාපාරික කටයුතු එක්ක කාර්‍යබහුල වගේම, තමන්ගෙ ආදරණීය පවුල සමග ප්‍රීතිමත් ජීවිතයක් ගත කල සංඛ, ඒ වෙනකොට මුළු දවසම කාමරයේ ගත කරත් කිසිම වෙලාවක නිදාගන තිබුනෙ නෑ. රෑ පුරාම ගෙදරින් එලියට වෙලා කල්පනා කර කර ඉන්න සංඛ, තමන්ගෙ නිදන කාමරයේ දහවල ගත කරන අතරෙ දරුවන් අතරෙ ඇති වෙන පුංචි කතාබහකටවත් ඉඩ දුන්නෙ නෑ. ඒ නිසා සංඛගෙ ගෙදර හැමෝම හරිම බයෙන් සැකෙන් ජීවත් උනා. ඔය අතරෙ බිරිදට පහරදෙන්න ගත්ත උත්සහයක ප්‍රතිපලයක් විදිහට දරුවො දෙන්නෙක් එක්ක සංඛගෙ බිරිද ගෙදරින් පිටත් වෙලා ගිහින් පවුලෙ අය එක්ක එකතු වෙලා, දේවාල කට්ටඩි, පළතුරු,පහන් ආදී නොයෙක් පූජා වෙනුවෙන් ලක්ෂ ගානක් වියදම් කරන්නෙ සංඛගෙන් සැනසීමක් ලබාගන්න හිතාගෙන. ඒ හැම කෙනෙක්ම දින දෙකකින්, තුනකින් හැමදේම හොද අතට හැරෙන බව කියලා මුදල් අය කරගත්තා උනත් කිසිම යහපත් දෙයක් සිද්ධ උනේ නෑ. මේ අතරෙ එක කට්ටඩියෙක් සංඛව තමන් දන්නා කියන මානසික වෛද්‍යවරයෙක්ට බාර දෙනවා. මේ වෙලාවෙ තමන්ගෙ හැසිරීම, සහ තමන්ට දැනෙන ආකාරය පිළිබදව වෛද්‍යවරිය එක්ක ගැඹුරු සංවාදයකට එලඹෙන සංඛ අවසානයේ, වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර ලබාගන්න කැමති වෙන්නෙ දැඩි උත්සාහයක ප්‍රතිපලයක් විදිහට. ඒ වගේම ප්‍රතිකාර හේතුවෙන් ටිකින් ටික සාමාන්‍ය හැසිරීම දක්වා පාලනය උන සංඛ, මාස කිසිපයක් ඇතුලත සම්පූර්ණයෙන්ම සාමාන්‍ය පුද්ගලයා බවට පත් උනා…

සංඛ පීඩා විදිමින් සිටි මේ මානසික රෝගී තත්වය ඩිමෙන්ෂියාව කියලා හදුනාගත් වෛද්‍යවරයා, මේ රෝගය සාමාන්‍යයෙන් වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන් අතර බහුලව දක්නට ලැබෙන රෝගී තත්වයක් බවත්, එහි ප්‍රධාන රෝග ලක්ශණය පුද්ගලයාගේ හැසිරීම වෙනස් වීම බවත් පෙන්වා දුන්නා.ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ලොව පුරා මිලියන 450ක් පමණ මානසික රෝග වලින් පීඩා විදිමින් සිටින අතර, සෑම ශ්‍රී ලාංකිකයන් අට දෙනෙකුගෙන් එක් අයෙකු මානසික ව්‍යාධියකින් පෙලෙන බවද, සෑම වැඩිහිටියන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු කුමන හෝ මානසික ව්‍යාකූලතාවයකින් පෙලෙන බවද සමීක්ෂන වලින් හෙලිවී ඇත.

මානසික රෝග සුළු සහ උග්‍ර ලෙස කොටස් දෙකක් ඇති අතර ග්‍රස්තිය,මානසික ආතතිය,කාන්සාව වැනි තත්ව සුළු මානසික රෝග යටතට ගැනෙන අතර විශාදය, හීනෝන්මාදය, සයිපෝසියාව වැනි රෝග උග්‍ර මානසික රෝග ලෙස සලකනු ලැබේ. වෛද්‍ය විද්‍යාත්මකව මානසික යහපැවැත්මට හානි වූ අයෙක් මානසික රෝගියෙකු ලෙස හදුනා ගන්නා අතර, මෙවැනි පුද්ගලයන් සාමාන්‍ය අයෙකුට වඩා අදහස් වලින්, හැසිරීමෙන් මෙන්ම යමක් වටහාගැනීම සම්බන්ධයෙන් වෙනසක් දක්වයි.

සාර්තකව  ගැටළු විසදාගනිමින්, ස්වාධීනව කටයුතු කල හැකි අයෙක් උසස් මානසික මට්ටමක් ඇති අයෙකු ලෙස හදුනාගනු ලබන අතර විශේෂයෙන්ම කිසියම් පුද්ගලයෙකුට සන්නිවේදනය සම්බන්ධයෙන් ගැටළුවක් පවතීනම්, හැසිරීම අසාමාන්‍ය සහ අසාමාන්‍ය සංවේදන ඇති වේ නම් එවැනි පුද්ගලයන් පිලිබදව වැඩ් සැලකිල්ලක් දැක්විය යුතු අතර, හැකි ඉක්මනින් ප්‍රතිකාර සදහා යොමුවීම මගින්, රෝගී තත්ව උත්සන්න වීමට පෙර හදුනාගෙන සුවපත් බවට පත්වීමට අවශ්‍ය ධනාත්මක අවකාශය ලැබේ.

ඕනෑම පුද්ගලයෙකුට ඉතාම පහසුවෙන් ලංකාවේ ප්‍රධාන මානසික රෝහල වන ජාතික මානසික රෝහල (0112578234) හා සම්බන්ධ වෙමින් තමන්ට අවශ්‍ය මානසික ප්‍රතිකාර නොමිලේම ලබාගත හැකි අතර, අංගොඩ පවතිම මෙම රෝහල සතියේ සෑම දිනකම පැය 24 පුරා විවෘතව පවතී. එමෙන්ම 1333 ඇමතීම මගින් තමන් වෙනුවෙන් සරල හා පෞද්ගලික මනෝවිද්‍යාත්මක උපදේශණයක් නොමිලේම ලබාගත හැකි අතර, සවන්දීමට අයෙකු නොමැතිකම හේතුවෙන් සියදිවි හානිකරගැනීමට පෙලඹීමේ සම්භාවිතාව මේ මගින් අවම කරගත හැකිය. එලෙසම ශ්‍රී ලංකා සුමිත්‍රයෝ වැනි ආයතන හා සම්බන්ධ වීමටත්, ඉතාම පහසුවෙන් පෞද්ගලික මනෝ වෛද්‍යවරයෙකු සමග සම්බන්ධ වීමටත් අවකාශ පවති.

ශ්‍රී ලාංකීය ජනතාව මානසික සෞඛ්‍ය කෙරෙහි දක්වන සැලකිල්ල කෙබදුද යත්, තමන්ගේ උදරය ඉදිරියට නෙරා ඒම හා සමේ ඉතා කුඩා වර්ණ වෙනසකට පවා බොහෝ කලබල වන නමුත්, මානසික ව්‍යාධි හුදෙක් විනෝදය පිණිස එක් කාරණාවක් ලෙස පමනක් සලකයි. සාමාන්‍ය කායික රෝගයක් ඔබව ක්‍රමයෙන් මරා දමන අතර, මානසික රෝගයකට කල හැකි විනාශයේ සීමාවක් නැත. එහෙයින් මිනිසුන්ගේ මානසික සෞඛ්‍ය රටක සමාජීය පරිසරය සදහා සෘජුවම බලපාන සාධකයක් වන අතර ඔබේත් ඔබේ සමීපතමයාගේත් මානසික සෞඛ්‍ය පිළිබදව අවධානයෙන් සිටීමට හොදම කාලය මෙය නොවේද?

~ මහේෂි දසනායක ~

Your email address will not be published. Required fields are marked *