කැකුළු ළමා සිත් වල අපේක්ෂා ඇති කර නැති කරන “මවුවරුන්ගේ විභාගය”

කැකුළු ළමා සිත් වල අපේක්ෂා ඇති කර නැති කරන “මවුවරුන්ගේ විභාගය”

140 views
0

පහ වසර  ශිෂ්‍යත්ව විභාගය, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන්ගේ නිදහස් අධ්‍යාපන පනතේ ප්‍රතිඵලයකි. අඩු ආදායම්ලාභී පවුල්වල, ඉගෙනීමට දක්ෂතා ඇති දරුවන්ට, අධ්‍යාපනය කරගෙන යෑම සඳහා ආණ්ඩුවෙන් මූල්‍යමය ආධාරයක් ලබා දීම මේ විභාගයේ එක් අරමුණක් විය. අනෙක් අරමුණ වූයේ ඒ දරුවන්ට මධ්‍ය මහා විද්‍යාලවල අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලසා දීමය. එම අවස්ථාව අද මධ්‍ය මහා විද්‍යාල වෙනුවට ජනප්‍රිය පාසල් වෙත මාරු වී ඇත‍. කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන පනතේ ප්‍රතිඵලයක් වන මේ  සංකල්පය ඉතා වටිනා එකක් වූ අතර, අද දක්වා එම විභාගය පැවැත්වීම ද සතුටට කරුණකි. එහෙත් වර්තමානය වෙන විට මෙකී අරමුණු අභිබවා යමින් ශිෂ්‍යත්ව විභාගය දැඩි තරගකාරී මුහුණුවරක් ගෙන ඇති බව පෙනෙන්නට ඇත. සමස්ත දරු පරපුර ම මේ තරගයට අවතීර්ණ කර ඇති අතර, ගම්බද මවුපියන්ට වඩා නාගරික ප්‍රදේශවල ජීවත්වන මවුපියන් වැඩි වශයෙන් සිය දරුවන් මේ විභාගයට උනන්දු කරමින් සිටින බව පෙනී යයි. ශිෂ්‍යත්ව විභාගය යනු “මවුවරුන්ගේ විභාගය” යනුවෙන් සමාජය හඳුන්වන තරමට මේ විභාගය දැඩි තරගකාරී ස්වභාවයක් ගෙන ඇත.

සෑම වසරකම පුංචි ඇයදුම්කරුවන් ලක්ෂ තුනහමාරකට අධික ප්‍රමාණයක් මුහුණ දෙන ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වූ විගස ඒ කඩයිම ජයග්‍රාහිව පසු කළ පුංචි හපනුන්ගේ හැකියා විවිධ ජනමාධ්‍ය ඔස්සේ රටටම කියද්දී, තම අපේක්ෂා සියල්ල සුනුවිසුනු වූ තවත් මල්කැකුළු රැසක් සිය පුංචි සිත්සතන් වේදනාවෙන් පුරවාගන්නා බවද නොරහසකි.

සැබැවින්ම ශිෂ්‍යත්වය සමත් වීම මේ පුංචි සිත් සතන්වලට පැවරෙන ලොකුම ලොකු අභියෝගයකි 

ශිෂ්‍යත්ව විභාගය 5 වසරට හඳුන්වා දුන්නේ අපේක්ෂා දෙකක් සාක්ෂාත් කරගැනීමටය. ඉන් එකක් වන්නේ, කුසලතා පූර්ණ ශිෂ්‍යයන් ජනප්‍රිය හා වඩාත් ප්‍රකට පාසල්වලට ඇතුළත් කරගැනීමය. දෙවැන්න, දීප්තිමත් එහෙත් ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ශිෂ්‍යාධාර පිරිනැමීමයි. මෙහිදී නිශ්චිත ක්ෂේත්‍ර 14ක නිපුණතාව හා ඉගෙනීමේ විභවය මැනෙන අතර, පළමු භාෂාව, ගණිතය හා පරිසරය යන තේමාවන් ඉලක්ක කොට පරීක්ෂණය කෙරේ. 

වර්තමානයේ ශිෂ්‍යත්ව විභාගයේ තරගකාරි මට්ටම බොහෝ සෙයින් ඉහළ ගොස් ඇත.  නිසර්ගයෙන්ම වැරදි සිදුවීමේ ඉඩකඩ වැඩි ළමා මොළයට බැවින් ශිෂ්‍යත්ව විභාගය දරුවන්ට විශාල අභියෝගයක් වේ.

මූල්‍යාධාර ලැබීමට නම් සිසුන් කරුණු දෙකක් සම්පූර්ණ කළ යුතුව ඇත. පළමුවැන්න ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වීමය. අනෙක මව/ පියා/ භාරකරුගේ වසරක ආදායම රුපියල් 50,000කට වඩා අඩු විය යුතුය. දුප්පත් සිසුන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් විභාගයට පෙනී නොසිටීම ශිෂ්‍යයාධාර ලාභීන්ගේ ප්‍රමාණය අවම වීමට හේතු වී තිබේ.

ශිෂ්‍යත්ව විභාග ඇයැදුම්කරුවන්ගෙන් විශාල ප්‍රමාණයක් ජාතික පාසල්වලිනි. එහෙත් මේ ජාතික පාසල්වලට පිවිසීමට හැකියාව ඇත්තේ රටේ යමක් කරකියාගත හැකි අයටය. එය එසේ වත්දී ග්‍රාමීය මෙන්ම අඩු පහසුකම් සහිත පාසල්වල විභාගයට පෙනී සිටීම සටහන් වන්නේ සුලු වශයෙනි. හොඳ මානව සම්පත් හා භෞතික සම්පත් නොතිබීම මෙන්ම නාගරික පාසල් සිසුන්ට ඇති පහසුකම් නොවීම මෙන්ම පෞද්ගලික උපකාරක පන්ති ගම්බද අඩුවෙන් පැවැතීමද මීට හේතු වී ඇති බව පෙනී යයි.

මේ තත්ත්වයේ උත්ප්‍රාසය වන්නේ විභාගය අරමුණු කරගත් පිරිස් මෙන්ම විභාගය ලිවිය යුතු පිරිස්ද මේ ශිෂ්‍යත්ව විභාගයෙන් අත්හැරීමය!

ශිෂ්‍යාධාර වශයෙන් ලැබෙන්නේ මසකට රු. 500ක මුදලකි. එහෙත් පෞද්ගලික පන්තිවල ගුණාත්මකභාවය හා ජනප්‍රියතාව අනුව එක් පන්තියකට පමණක් මීට වඩා මුදලක් වැය විය හැකිය. එසේ හෙයින් නැවතත් මේ මුදල වැඩි කිරීමක් ගැන සලකා බැලිය යුතුව ඇත.

ශිෂ්‍යත්ව විභාගයේ අරමුණු හා අපේක්ෂා මේ වන තෙක් අපේක්ෂිත මට්ටමට ජය ගැනීමට නොහැකි වී ඇත. විශේෂයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රාථමික ශ්‍රේණිවල සපුරාගත යුතු වර්ධන නිපුණතා 7ක් හඳුනාගෙන ඇත. එහෙත් 1 ශ්‍රේණියේ සිට ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් ගත කරන පස් වසර තුළ දරුවන් ඉන් සාක්ෂාත් කරගෙන ඇත්තේ නිපුණතා දෙකක් පමණි. ඒ සාක්ෂරතාව මෙන්ම ජෛව හා භෞතික පාරිසරික දැනුම පමණකි. අනෙකුත් නිපුණතා වන ආචාරධර්ම, ආගම, විවේකය, ක්‍රීඩා, පෞරුෂ වර්ධන හැකියා මෙන්ම සෞන්දර්යාත්මක නිපුණතා නිසි ප්‍රමාණයට මෙමඟින් අත් කරගෙන නැති බවයි. ඒ සියල්ල ශිෂ්‍යත්ව විභාග තරගය හේතුවෙන් අතහැරී ගොස් ඇත. එසේම මේ ශිෂ්‍යත්ව විභාගයේ දරුවන් විඳින මානසික ආතතිය මෙන්ම පීඩනයද සැලකිල්ලට ගනිමින් මේ අපේක්ෂිත අරමුණු දෙස නැවැත වරක් බලන්නට සිදුව තිබේ.

මේ අනුව ඉදිරියේදී ගත යුතු අත්‍යවශ්‍ය පියවරක් ලෙස ග්‍රාමීය ප්‍රදේශවල ද්විතීයික පාසල් වඩාත් දියුණු කළ යුතු බවයි හැගේ. එසේම අධ්‍යාපන පද්ධතියේ ඇති විෂමතා දුරු කර, පාසල් අතර සමානාත්මතාව ඇති කළ යුතු බව පෙනේ. අධ්‍යාපන බලධාරීන්ගේ වඩාත් අවධානයට යොමු විය යුතු කරුණක් වන්නේ ඉහළ ලකුණු ගැනීමක් නොව, කළ යුත්තේ වඩාත් හොඳ පාසල් දරුවන් අතට පත් කිරීමය. එවිට පාසල් අධ්‍යාපන වාර අවසානයේ පවත්වනු ලබන විභාගයට අමතරව වෙනත් විභාග පැවැත්වීමේ අවශ්‍යතාවද මතු නොවේ. මේ අතර, උසස් ප්‍රමිතියෙන් යුතු ද්විතීයික පාසල් ඉදිකිරීමේ ආණ්ඩුවේ යෝජිත සැලැස්ම සාර්ථකව ක්‍රියාත්මක වන්නේ නම් සිසුන්ට ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබාගැනීමේ දැඩි තරගකාරිත්වයක් ඇති නොවන බවද පෙනේ.

ශිෂ්‍යන්ට, ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ගැනීමේ පීඩනයකින් තොරව ආසන්නයේ ඇති දියුණු කළ ද්විතීයික පාසලකට ඇතුළත් වීමට හැකියාව ලැබෙයි. 

මෙහිදී සිංගප්පූරුවේ අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාවට ආදර්ශයක් ගෙන දෙන්නක් වන අතර, එහි ඇගැයීම වඩාත් පදනම් වන්නේ විභාගවලින් ලබාගන්නා ලකුණුවලට අමතරව ක්‍රීඩා, සෞන්දර්ය, ජීවන කුසලතා ඇතුළත් පුළුල් පරාසයක් මතයි. එලෙසම හොදම සාක්ෂරතාවයක් සහිත රටක් වන පින්ලන්තය, ස්වීඩනය, නොර්වේ අධ්‍යාපන ක්‍රමයද අපට ආදර්ශයට ගත හැකිය.  එරට වල අධ්‍යාපන ක්‍රමය නිරන්තරයෙන් සහයෝගීතාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සකස්වී තිබීමයි. නිරන්තරයෙන් අඩු පැවරුම් ප්‍රමාණයක් ලබාදෙමින් ජාත්‍යන්තර සිසුන් සඳහා ද අධ්‍යයන අවශ්‍යතාවයන්ට ඉඩ සලසමින් සහයෝගීතාවය තුළින් අධ්‍යාපන අවශ්‍යතා සඵල කරගැනීම යන අරමුණු පෙරදැරි කරගෙන ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය සකස් වී ඇත. එම නිසා මවුපියන්, වැඩිහිටියන් මෙන්ම අධ්‍යාපන බලධාරීන් මේ සම්බන්ධයෙන් බුද්ධිමත් සිතා බලා කටයුතු කළ යුතු කාලය එළැඹ ඇත. කෙසේ වුවද නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙස ඇති කළ මේ විභාගය තවදුරටත් පවත්වාගෙන යා යුතුය. එහිදී මූලිකත්වය දිය යුත්තේ එකී විභාගයේ අරමුණුවලටය. නිරන්තරයෙන් පන්ති කාමරයකට කොටුවූ සීමා වූ අධ්‍යාපනයක් වෙනුවට ඇති නිදහසේ යම් යම් දෑ ඉගෙන ගැනීමට අවකාශය උදාකර දීමේ වටිනාකම ළමා මනසට දිය යුතුය.අප අවට පරිසරයට සංවේදී වන තරම අනුව අවට පරිසරයෙන් බොහෝ දෑ ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ. පන්ති කාමරයකට කොටු වී විෂය නිර්දේශය හමාර කර ගැනීමේ තදියමකින් කටයුතු කරන තැන ඇති වන මානසික පීඩනය අපගේ දරුවන්ට ඇත. අවට පරිසරයේ සිදුවන සිදුවීම් සතා සිවුපාවුන් සහ ගහකොළ ,වටපිටාවෙන් ඇසෙන ශබ්ද මේ සියල්ල ඔස්සේ අත්දැකීමෙන් සහ නිරීක්ෂණයෙන් බොහෝ දෑ ඉගෙන ගැනීමට  දරුවන්ට අවකාශය උදාකල යුතුවේ. එසේ නොවුණහොත් ශිෂ්‍යත්වය විභාගය ආරම්භ කිරීමේ අරමුණ විනාශ වී යෑමටත් සමබර පුරවැසියන් බිහි නොවීමටත් එය හේතුවක් වනු ඇත.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැති රටක, නිවැරදි  හා කාලීන අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන බලාපොරත්තු තබාගැනීමට දේශපාලන නායකත්වයක් තෝරාගැනීමේදී, ශිෂ්‍යත්වය විභාගය ආරම්භ කිරීමේ මුඛ්‍ය අරමුණ විනාශ නොවෙන තැනට වගබලා ගැනීම චන්දදායක දෙමාපියන් ඇතුළු සමස්ත ලාංකීය ජනතාවගේ යුතුකමක් සහ වගකීමක් වේ.  

~ කරුණාරත්න දිසානායක ~

Your email address will not be published. Required fields are marked *