ගිරාපෝතක දේශපාලනය

ගිරාපෝතක දේශපාලනය

156 views
0

කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීම සදහා දුර ප්‍රදේශයක තරුණයෙක් පක්ෂයේ ලේකම් වරයා වෙත තැපෑලෙන් ඉල්ලුම් පත්‍රයක් යොමු කළේ ය.සති දෙකකට පමණ පසු ඔහුට පක්ෂයේ ලේකම් වරයා විසින් පිළිතුරු එවන ලදී .එම ලිපියේ සදහන් වූයේ සාමාජිකත්වය ලබා දීම ට පෙර කරුණු කීපයක් සනාථ කර ගත යුතු බවයි.පක්ෂයේ කරුණු විමසීම් වලින් පසුව පක්ෂය සෑහීමකට පත් වේ නම් සාමාජිකත්වය ලබා දෙන බව එහි වැඩිදුරටත් සදහන් විය .එම නිසා කලින් දන්වා පක්ෂ මූලස්ථානය ට පැමිණෙන ලෙස එහි සදහන් විය.කෙසේ වෙතත් තරුණයා එයට එකග වූයේ නැත .

මාස කීපයකට පසු කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සම්මේලනය පැවැත්වූයේ එම තරුණයා පදිංචිව සිටි ප්‍රදේශයේ ආසන්නම නගරයේ ය.එදින තරුණයා එහි ගියේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වරයා ට දොස් පැවරීමට ය.
ඔහු ප්‍රසිද්ධ වේදිකාව දෙවනත් කරමින් තමන් ට වූ සිද්ධිය විස්තර කළේ ය.තමන් පක්ෂයේ සාමාජිකත්වය ලබා නොදීම පිළිබඳව ඔහු පක්ෂයේ ලේකම් වරයා දැඩි ලෙස විවේචනය කළේ ය.
පක්ෂයේ ලේකම් වරයා සන්සුන් ලෙස මෙසේ ප්‍රකාශ කළේ ය.
“සහෝදරයා, කොමියුනිස්ට් පක්ෂයක සාමාජිකත්වය ලබා ගැනීම ලේසි නැහැ.අපි සාමාජිකත්වය ලබා දෙන්නේ හොදින් විමසා බලා.අපි ඔබට එන්න කිව්වේ ඒ සදහා .නමුත් ඔබ පැමිණියේ නැති නිසා ඔබගේ ඉල්ලීම සලකා බැලීමට අපට හැකියාවක් නැහැ .”
සැබෑ මාක්ස්වාදී පක්ෂයක සාමාජිකත්වය ලබා ගැනීම ලේසි නැත.ඔනෑම අයෙකු ට ඇතුළු වීම සදහා එහි සැලුන් දොර විවෘත කර නැත එහෙත් අප රටේ මාක්ස්වාදී යැයි තමන් විසින් හදුන්වා ගන්නා පක්ෂ වල (පැරණි වමේ පක්ෂ නොවේ)නම් සැලුන් දොර නිතරම විවෘතව ඇත .ඒ නිසා ඕනෑම තරාතිරමක පුද්ගලයෙක් ට එහි ඇතුළු විය හැක.එසේ ඇතුළු වීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයාගේ දේශපාලන දෘෂ්ටිය පිළිබඳව පක්ෂයට ගැටලුවක් නොමැත .ඔහු ඉහළ ගණයේ බුද්ධිමත් පුද්ගලයෙක් වුවද එසේ නැතිනම් ත්‍රාඩයකු,පාතාලයේ කෙරුමකු,හෝ අන්ත වර්ගවාදී පුද්ගලයෙක් වුවද පැසිට්වාදීයකු වුවද එය අදාළ නොවේ.මෙය මේ රටේ වමේ පක්ෂ වල ඉතා බරපතළ දෘෂ්ටි ඌනතාවය කි.හිටිවනම විවිධ ජනප්‍රිය තරු මේ මාක්ස්වාදී පක්ෂවල වේදිකා වලට ගොඩ වී තමන් අද සිට මේ පක්ෂයේ පලුවක් බව ප්‍රකාශ කරයි.මේ කවර නම් දේශපාලන විගඩමක් ද?කවර නම් හාස්‍යජනක දේශපාලන නාටකයක් ද?
මේ අන් කවරක් නොව මේ රටේ ජනප්‍රිය එහෙත් සිල්ලර දේශපාලනයේ එක් දිශාවකි.ඕනෑම ආකාරයේ ජඩයෙකුට මේ ආකාරය ට දේශපාලන වේදිකාව ට ගොඩ වී මාක්ස්වාදී පක්ෂයක (මේ රටේ මාක්ස්වාදී පක්ෂ තිබේ ද යන්න වෙනම විමසා බැලිය යුතුය ) සාමාජිකත්වය ලබා ගැනීම ට හැකිනම් එය ඛේදවාචකය කි.මෙසේ පක්ෂයට එකතු වන පුද්ගලයන් තැන නොතැන නොබලා කරන ප්‍රකාශ වලින් අදාළ පක්ෂය නිරුවත් වන බව ට අතීත සිදුවීම් රාශියක් ඇත .නව දේශපාලන ව්‍යාපාර බිහි කරන්නේ මෙවැනි දේශපාලන අනාථයන් සමග නම් මේ රටේ ජනතාව අපේක්ෂා කරන විකල්ප දේශපාලන බලවේගය වූ කලි හුදු මිථ්‍යාව කි.බලය ලබා ගැනීමෙන් පසුව මෙම දේශපාලන හිකනුලන් ගේ අභිමතය ජනතා අපේක්ෂාවෙන් සුණු විසුණු කරනු ඇත .අවසානයේ දී මෙරට සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ යලි බලවත් වීම අනිවාර්ය වේ.මෙය මේ දේශපාලන භූමියේ කටුක යථාර්ථය යි.

එස්.එම්.ජයසූරිය

Your email address will not be published. Required fields are marked *