ඔයා දරුවෙක්ව වැදූ පමණින් ඔයාගේ වුවමනා එපාකම් සපුරාලීමට ඔයාගේ දරුවව පාවිච්චි කරන්න අයිතියක් ඔයාටවත් නැහැ .

ඔයා දරුවෙක්ව වැදූ පමණින් ඔයාගේ වුවමනා එපාකම් සපුරාලීමට ඔයාගේ දරුවව පාවිච්චි කරන්න අයිතියක් ඔයාටවත් නැහැ .

181 views
0

ළමයි කියන ජීවීන් කොට්ඨාස ගැන කතා කරනකොට අපි හැමෝම සංවේදී වෙනවා . සමහර විට ඒ ළමයි කියන්නේ ළමයින්ට නිසා වෙන්න ඇති . වෙනත් පුද්ගලයෙක් දිහා බලනවට වඩා සානුකම්පිත විදිහට අපි ළමයි දිහා බලන්න හුරු වෙලා ඉන්නවා . ගොඩක් තැන් වල දී ළමා අයිතිවාසිකම් වෙනුවෙන් , ළමා අඩත්තේට්ටම්කම් වලට විරුද්ධව,  ළමා අපචාර දූෂණ වලට විරුද්ධව අපි හඬ නගන්න පුරුදු වෙලා ඉන්නවා . හැබැයි අපිට අමතක වෙච්ච ඇත්තක් තියෙනවා , මේ ළමයි කියන කොට්ඨාසය ඉතාමත් සුරක්ෂිතයි කියන එයාගෙම ගෙදර ඇතුලෙදිත් අපහරණයට අපයෝජනයට ලක් වෙනවා කියන එක . කායිකව වෙන්නත් පුළුවන් මානසිකව වාචිකව වෙන්නත් පුළුවන්. මේ මොනයම් හෝ විදිහකට ළමයින්ව අපයෝජනයට ලක් කිරීම සිය නිවස තුළින්ම සිදුවීම මේ වෙද්දි බරපතළ  ඛේදවාචකයක් වෙලා ඉවරයි . 

මේ ළඟදී දවසක ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය වෙනවා අම්මලා තාත්තලා නිසා විඳින විඳවන ළමයි සම්බන්ධ පෝස්ටුවක් . ඇත්තටම මම පෞද්ගලිකව මගේ ගෙදරින් එ අත්දැකීමට මුහුණ දීලා තිබ්බේ නැති උනත් ඒ පෝස්ට් එකට ලංකාවේ දෙනෝදාහක් ළමයි අදහස් දක්වලා තිබ්බා . සමහර වෙලාවට අවුරුදු 18 වැඩි හැබැයි අම්මලා තාත්තලාගෙ ඕනෑ එපාකම් වලට තවමත් නතු වෙලා ඉන්න දරුවෝ පවා එතන හිටිය. 

ඇත්තටම ළමයෙක් වදනවා සහ හදනවා කියන්නේ දෙකක් මගේ ආදරණීය අම්මේ තාත්තේ . ඔයා දරුවෙක්ව වැදූ පමණින් ඔයාගේ වුවමනා එපාකම් සපුරාලීමට ඔයාගේ දරුවව පාවිච්චි කරන්න අයිතියක් ඔයාටවත් නැහැ . ළමයෙක් හැදෙන්න ඇත්තටම එයාගේ වුවමනාවට නෙවෙයි . අපි කවුරුත් දන්නවා අම්මෙකුගෙ සහ තාත්තෙක්ගෙ කැමැත්තට තමයි දරුවෙක් හැදෙන්නේ කියලා . ඉතින් ඔයා අනවසරයෙන් තමයි ළමයෙක්ව ඔයා ලඟට ගන්නෙ . ඉතින් ඉපදුනාට පස්සේ එයාට ස්වාධීන වෙන්න නොදී අනවසරයෙන්ම ඔයාට අවශ්‍ය විදිහට එයාව හසුරවනවා නම් ළමයෙක් වදනවා ට වඩා රූකඩයක් හදන එක වටීවි .

වරදවා තේරුම් ගන්න එපා මේ කතා කරන්නේ හැම අම්මෙක් හැම තාත්තේ ගැනම නෙවෙයි .  මං බොහොම ආඩම්බරයෙන් කියනවා මට හිටියේ මගේ ලෝකේ වීරයා කියලා කියන්න පුළුවන් තාත්තෙක් . මට ඉන්නේ මේ ලෝකේ හොඳම අම්මා කියලා කියන්න පුළුවන් අම්මෙක් . අනිවාර්යෙන්ම ඔයාගේ අම්මා තාත්තා එහෙම වෙන්න ඇති . හැබැයි හොඳට මතක තියාගන්න හැම දරුවාට ම තමන්ගේ තාත්තා තමන්ගේ අම්මා වීරයෙක් නෙවෙයි . සමහර ළමයින් ගේ මුළු ජීවිත කාලයේම දුෂ්ටයාගෙ චරිතයට ලඝු වෙන්න අම්මට තාත්තට සිද්ධ වෙනවා . 

ආදරණීය අම්මේ තාත්තේ , මං බොහොම ආදරෙන් අවධාරණය කරන්න කැමතියි දරුවෙක් කියන්නේ හුදෙක් දෙමාපියන්ගේ බූදලයක් නෙවෙයි කියලා . මේ වෙනකොට ගොඩක් අම්මලා තාත්තල කට ඉස්සර කරගන්නවා ,

 ” අපි උඹලට කන්න බොන්න දෙනවනම් දෙනව නං , අපි උඹලට අඳින්න පළඳින්න දෙනවනං ඉන්න හිටින්න දෙනවනං උඹලා කරන්න ඕන අපිට ඕන එකය ” කියලා .

ඇත්තටම කන්න බොන්න , අඳින්න පළඳින්න ඉන්න හිටින්න දුන්න කියල අම්මෙක් වෙන්නවත් තාත්තෙක් වෙන්නවත් බැහැ . සරලවම අනාථ නිවාසයක් ගත්තොත් ඒකෙ ඉන්න දරුවන්ට කන්න බොන්න ඉන්න හිටින්න හම්බෙනවා . හැබැයි අම්මෙකුයි තාත්තෙකුයි නැහැ . ඉතින් ඔයා ඔයාගේ දරුවව ඔයාගේ ගෙදර  ඇතුලෙදිම අනාථයෙක් බවට පත් කරනවා නම් දහ දොළොස් වාරයක්වත් හිතන්න.

ඕනම ජීවියෙක් බිහි වුණායින් පස්සේ , ඒ ජීවීන්ට අයිතිවාසිකම් කියන්න නොගිහින් තමන්ට ආවේනික වෙච්ච ස්වාධීන ජීවිතයකට ඉඩහසර සලසලා දෙනවා නම් ඔවුන්ගේ පැවැත්මට කිසිදු බාධාවක් තර්ජනයක් එල්ල වෙන එකක් නැහැ . ගොඩක් ළමයි ඉන්නවා දෙමාපියන් නිසා තමන්ගේ සැබෑ අනන්‍යතාවය බාහිර සමාජයට හෙළි කරන්න බය වෙන . මෑත කාලයේ වාර්තා වෙච්ච ප්‍රවෘත්තියක් අතරත් තිබ්බා ,  තමන් සමලිංගික වීම පිළිබඳව නිවැසියන් දැක්වූ ප්‍රතිචාරය නිසා දිවිනසාගත්තු දරුවෙක් පිළිබඳව . 

ළමයින්ට ළමයි විදියට සලකන්න බැරිනම් , ඇත්තටම ළමයි හදන එක මුග්ධ ක්‍රියාවක් . ගොඩක් වෙලාවට මිනිස්සු හරි අකමැතියි අසීමාන්තික විදිහට අනෙක් මිනිස්සු තමන්ගේ ජීවිත වල ඇඟිලි සලකුණු අඩි සලකුණු කියලා යනවට . ළමයි වුණත් එහෙමයි . 

තෝරගන්න ඕන මොන විෂයද ?
කන්න ඕන මොන කෑම ද ?
අඳින්න ඕන මොන පාටින් ද ?
යාලු වෙන්න ඕන කාඑක්කද ?
කසාද බඳින්න ඕන කාවද ?
ගන්න ඕන වාහනය මොකක්ද ?

ඔය වගේ උපන් දවසෙ ඉඳන් මැරෙනතුරුම දෙමාපියන්ගේ තීන්දු තීරණ අස්සෙ හිර වෙන්න වෙන එක ඒ දරුවන්ගේ මානසික ව්‍යාකූලතාවය වැඩි කරනවා මිසක්  , ස්වාධීන තීන්දු තීරණ ගන්න පුළුවන් සමාජයට නිරාවරණය වෙච්ච පුද්ගලයෙක් බිහි වෙන්නේ නැහැ . පසුකාලීනව මේක පෞරුෂ ආබාධය විදිහට බලපාන්න පුළුවන් . අම්මල තාත්තල මිය ගියපු කාලෙක ඒ දරුවාට තනියෙන් සමාජයට මුහුණදෙන්න බැරි වෙන්න පුළුවන් . ඒ නිසා තමන්ගේ දරුවාව සමාජගත කරන්න බැරිව , තමන්ගේ දරුවාගේ සැබෑ ස්වභාවය පිළිගන්න බැරිව දරුවන්ට අවුරුදු ගානක් කන්න බොන්න දුන්නත් අදින්න පළදින්න දුන්නනත් ඇත්තටම ප්‍රයෝජනයක් නැහැ .

කරුණාකරලා තමන්ගේ හීන දරුවන්ගෙ හීන බවට පත් කරන්න එපා. ඔබේ හීන නිසාවෙන් ඔවුන්ගේ හීන අකාලයේ මිය යන්නට ඉඩ තියෙන්නත් එපා . පුලුවන් හැම වෙලාවකම ළමයාගේ භාරකාරයා කියන තැනින් මිදිලා මිත්‍රයා කියන තැනට සේන්දු වෙන්න උත්සාහ කරන්න . මොකද භාරකාරයො එක්ක ඉන්න ළමයි කියන්න හිරකාරයෝ නෙමේ . පෞද්ගලිකව මම කැමැතියි භාරකාරයින්ට වඩා මිත්‍රයන්ට . මං විශ්වාස කරනවා ළමයින් බහුතරයකගෙම අදහසක් මගේ මතයත් එක්ක සමපාත වෙයි කියලා . 

දරුවෙක් හැදුවට පස්සේ පස්සෙ ඒ දරුවට අවුරුදු 18 වෙනකන් මූලික අයිතිවාසිකම් ටික දෙමාපියන් විසින් ඉටු කරලා දෙන්න ඕන .
ලංකාවේ නීතියට අනුව මේ මූලික ළමා අයිතිවාසිකම් යටතේ දී පැතිකඩ කිහිපයක් ආවරණය වෙන විදිහට ළමයා සුරක්ෂිත කරනවා.

  • ළමයා කවරෙක් වුණත් කුමන, වයසක පසුවුණත් , සමේ වර්ණය කුමක් වුනත් , ස්ත්‍රී පුරුෂ භාවය කුමක් වුවත් ඔහුට හෝ ඇයට කිසිදු වෙනස්කමක් කරන්න බැහැ . ඒහෙම වෙනස්කමක් සිදු වෙනව නම් ඕනම ළමයෙක්ට අයිතිය තියෙනවා ඒ ක්‍රියාවට විරුද්ධ වෙන්න .
     
  • සෑම විටම ළමයාගේ උපරිම යහපත බලා කටයුතු කළ යුතුයි .ළමයින් සම්බන්ධව ක්‍රියා කරන විටත් තීන්දු තීරණ ගන්නා විටත් ඔවුන්ට අසාධාරණයක් වන බාධාවක් වන දේවල් සිදුකිරීම නීතියට පටහැනි වගේම එහෙම දෙයකදිත් ළමයාට ඊට විරුද්ධ වීමට හැකියාවක් තියෙනවා . 
  • පැවැත්ම හා සංවර්ධනය එනම් ජීවත්වීම කියන්නෙත් ළමයගෙ අයිතියක් . ළමයාට නිදහසේ නිසි ලෙස ජීවත්වීමට ඉඩක් ලැබෙන නැත්නම් ඒ සඳහා ද විරුද්ධ වීමට ළමයාට අයිතියක් ඇත . 
  • ළමයා පිළිබඳ මවුපියන් හෝ වැඩිහිටියන් විසින් යම්කිසි තීරණයක් ගනු ලබන අවස්ථාවේදී තමන්ගේ අදහස මතය ප්‍රකාශ කිරීමට ළමයට හැකියාව පවතින අතර එය පිළිබඳ වැඩිහිටියන් විසින් සැලකිල්ලට ගත යුතුය. එයද ළමයාගේ අයිතියකි .
  • සෑම ළමයෙකුටම අධ්‍යාපනය ලැබීමේ අයිතිය තියෙනවා වගේම ක්‍රීඩා විනෝදාත්මක කටයුතු හා සංස්කෘතික කටයුතු වලට සහභාගිවීමටත් අයිතියක් තිබේ. 
  • ළමයින්ට වධ හිංසා පැමිණවීම සපුරා තහනම්ය . මේකෙන් අදහස් කරන්නේ යම් කිසි දෙයක් පිළිබඳ දරුවෙකුට කරන තරවටුවක් ගැන නෙවෙයි . හැබැයි ගුරුවරයෙක් හෝ මවුපියන් විසින් කරන එහෙම තරවටුවකුත් දරුණු වධහිංසාවක් වෙනකන් පැතිරෙනවා නම් ඒ පිළිබඳව අදාල ආයතන දැනුවත් කිරීම සිදු කළ යුතුයි .

මේ තියෙන්නෙ ළමා අයිතිවාසිකම් වලින් කිහිපයක් විතරයි . මීට අමතරව තවත් අයිතිවාසිකම් ගණනාවක් ම ළමයින් වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා . එකෙන් මේ අයිතිවාසිකම් කඩවීමක් සිත වුනොත් බිඳීමක් සිදු උනොත් එහෙම , ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි කළ හැකියි . එතකොට එම පොලිස් ස්ථානයේ තියලා කාන්තා හා ළමා ආරක්ෂණ අධිකාරිය ඔස්සේ එම පැමිණිල්ල විභාග කිරීම සිද්ධ වෙනවා . 
මීට අමතරව 1998 අංක 50 දරන පනත ප්‍රකාරව පිහිටවල තියෙන ළමා ආරක්ෂණ අධිකාරියට 1929 අංකය අමතර ඕනම ළමා හිංසනයක් පිළිබඳ පිළිබඳ දැනුම්දීම කරන්න පුළුවන් . ළමා හිංසනයන් පිළිබඳ ක්‍රියාත්මක වීම , ඊට අදාළ නීතිය ක්‍රියාත්මක කිරීම සහ නියාමනය කිරීම සියලු බලතල මේ ළමා ආරක්ෂණ අධිකාරිය සතු වෙනවා . 

 ඔයා මේ වෙනකොටත් ඔයාගේ ගෙදර ඇතුළෙම හිංසනයට ලක් වෙන පුංචි ළමයෙක් නම් , එහෙම නැත්නම් වෙනත් කිසියම් හෝ බාහිර පාර්ශවයක් මගින් යම්කිසි හිංසනයක් ඔයාට සිද්ධ වෙනවා නම් කලින් කිව්ව විදියට ළඟම තියන පොලිස් ස්ථානයට ගිහිල්ලා දැනුම් දෙන්න හරි එහෙම නැත්නම් ළමා ආරක්ෂණ අධිකාරිය අධිකාරිය දුරකතන මාර්ගයෙන් අමතන්න හරි පුළුවන් . ඉන්පස්සෙ ඔයා මොනවද කරන්න ඕන කියලා ඔවුන් උපදෙස් ලබා දෙයි . 

ඒ ක්‍රියාමාර්ග දෙකම ගන්න බැරි තරම් පුංචි වයසක නං ඔයා ඉන්නේ , එහෙම නැත්තං ඒ වගේ දෙයක් කරන්න ඔයා බයයි නම් ඔයාට පුලුවන් වගකිවයුතු වැඩිහිටියෙක් ඔයාගේ ගුරුවරයෙක් හරි , බාහිර පාර්ශවයකින් යම් අකටයුතකමක් සිද්ධ වෙනවා නම් ඔයාගේ අම්මට තාත්තට හරි , එහෙම නැත්තං ඔයාට විශ්වාසවන්ත වැඩිහිටියෙක් ට ඒ ගැන කියන්න . 

ඔයා හොදට මතක තියාගන්න ඕන දෙයක් තමයි , කායිකව මානසිකව හෝ වාචිකව ඔයාට කිසිම පීඩනයත් බලපෑමක් එල්ල කරන්න වෙන කාටවත් බැහැ කියන එක . ඒ කෙනා ඔයාගේ අම්මා තාත්තා උනත් වුණත් ඒක එහෙමමයි . ඔයාට පුලුවන්නම් අම්මයි තාත්තයි එක්ක කතා කරලා ඒ ගැටලුව නිරාකරණය කරගන්න ඒක ගොඩක් හොඳයි . 

ඒ වගේම තමයි හැම අම්මෙක්ටම තාත්තෙක්ටම පුලුවන්නම් තමන්ගේ දරුවා කැමති මොනාටද , එයා කරන්න කැමති මොනාද , එයා කන්න කැමති මොනාද ,  අඳින්නෙ කැමති මොන විදියටද , එයා ඉගෙන ගන්න කැමති මොන විෂයයන් ද , කියලා කතාබහ කරලා එයත් එක්කම එයාගේ තීරණ වලට සහයෝගයක් ලබා දෙන්න දෙමාපියන් සහ ළමයා අතර තියෙන සහ සහසම්බන්ධය ගොඩක් ලස්සන එකක් වේවි .

පවනි වාසනා 

Your email address will not be published. Required fields are marked *