“අපේම නයි අපිවම කයි”

“අපේම නයි අපිවම කයි”

279 views
0

“උඹ විභාගේ පේල්වෙලා ත්‍රීවීල් පදින්නද හදන්නේ?” “උඹ විභාගේ පේල්වෙලා ගාමන්ට් යන්නද හදන්නේ?” සුවහසක් වැඩිහිටියන් පාසල් දරු දැරියන්ගෙන් නිතර දෙවේලේ අහන ප්‍රශ්නයක් තමයි ඕක. අද වෙනකොට ජනප්‍රිය සංස්කෘතිය තුළ පිරිමි ලකුණ විදිහට ත්‍රීවීල් අයියලා නොහොත් බහුතරයාගෙ කටවහරට අනුව එන ත්‍රීවීල්කාරයාත්, ගැහැනු ලකුණ විදිහට ගාමන්ට් අක්කලත් හඳුන්වනවා. ගිය සතියේ ත්‍රීවීල් අයියලා ගැන ලියල මේ සතියෙත් ත්‍රීවීල් ගැනම ලියන්න යනව කියල හිතන් නැතිව කියවල ඉමු.

මේක ලියන්න කලින් මම කැමැති මගේ මතය ඔබ සතු කරලා ඉන්න. ඇත්තටම මට නම් ත්‍රීවීල්කාරයා කියන්නේ පොරක්. මම එහෙම කියන්න හේතුව ලිපිය අන්තිම වෙනකොට පැහැදිලි කරන්නම්. අද කතා කරන්න වුවමනා වුණේ මේ ත්‍රීවීල් සංස්කෘතිය තුළ තියෙන “වදන්” සංස්කෘතිය ගැන. පරිප්පු නැති හෝටලේකින්, දෙයියො නැති දේවාලෙකින් කිසි ගැම්මක් නෑ වගේ තමා වදනක් නැති ත්‍රීවීල් එකක් හොයා ගන්නත් නැති තරම්. මේ වෙනකොට ත්‍රීවීල් වදන් කියන්නෙත් ට්‍රෙන්ඩ් එකක්.

ඔය ත්‍රීවීල් වදන් ඇතුළේ කොයිතරම් දේශපාලනයක්, කොයි තරම් මානුෂීය බවක්, කොයිතරම් සමාජීය බවක් තියෙනවද කියන කාරණා ගත්තහම මගේ පෞද්ගලික මතය තමයි ඔය අකුරු කිහිපයක් ඇතුළේ ත්‍රීවීල් අයියලා පට්ට සංකීර්ණ කතාවක් කියල තියෙන බව. ලංකාව තුළ නූගතා කියල හංවඩු ගැහෙන ත්‍රීවීල්කාරයා මොළෙන් මේ සොසයිටිය ඇතුළේ ගේමක් ගහන බවට ත්‍රීවීල් වදන් සාක්ෂියි.

“අපේම නයි අපිවම කයි “

ඕක මම ගොඩක් ත්‍රීවීල්වල දැකල තියෙන වදනක්. බහුතර උගත් බුද්ධිමත් පිරිස ඇතුළෙම ඉඳගෙන තමන්ට තමන්ගේ එවුන්ම වින කරනවාය කියල නූගතෙක් තේරුම් ගන්නේ කොයිවිධියටද කියල ඔයා කවදාහරි හිතල තිබ්බද?

ප්‍රේමය, දේශපාලනය, විරහව, පොසිටිව් තින්කින් කියන කාරණා ගණනාවක් මේ ත්‍රීවීල් වදන් ඇතුළෙන් කරලියට නැතිනම් පොදු සමාජ වහරට මුසු වෙනවා. ඔතැනදි මම හරි කැමැති කාරණාවක් තමා පොසිටිව් තින්කින් කියන එක. ඇත්තටම ත්‍රීවීල් අයියලගෙ තරම් පොසිටිව් තින්කින් තොගයක් මම වෙන කිසිම මනුස්සයෙක්ගෙ දැකල නැති තරම්.

“මොනවා වුණත් අපි කෙළින්”

“වයසට ගියත් හවසට ගෙදර”

“අපි ළඟ උඹල පදිරියි බන්”

ඔන්න ඔහොම වදන් නම් අනන්තවත් ත්‍රීවීලර් පිටිපස්සෙ.

සමහර තැන්වලදී මේ ත්‍රීවීල්කාරයා කියන කාරණාව කොයි තරම් දුරට අවතක්සේරු කරල තියෙනවාද කියනෙක යම් යම් විධියට ඔවුනට බලපාල තියෙනවා කියල සමහර වදන්වලින් පේන්න තියෙනවා.

“ඇති දාට රූම් නැති දාට බ්රුම්”
“බොක්කෙන් ලව් කරපු කාලේ කෙක්කෙන් පොල් කැඩුවා නම් අපි අද කෝටිපතියො”

ඔන්න ඔය වගේ යම් කිසි පසුගාමී වදන් පවා සමහර ත්‍රීවීලර්වල කොටල තියෙනවා.

මේ සියලුම වදන් ගත්තම ඒ හැම කාරණාවකම වගේ දේශපාලනික කියවීම ගත්තම “මම පොරක්, මට උඹ නතිං” වගේ ෆීලින්ග් එකක් එන්නේ. ඇත්තටම මට නම් ඒක මාරයි. පොර දන්නවා තමන්ට සල්ලි නැති බවත් ඒ වුණාට තමන්ම තමන් කොයි තරම් පොරක්ද කියල කියන්න තරම් විශාල කන්ෆිඩන්ස් එකක් මේ ත්‍රීවීල් අයියලට තියෙනවා.

සමහර තැන්වලදී සියුම් උපහාසයක් එක්ක තමගේ ජීවිතෙන් කොටසක් මේ ත්‍රීවීලර් පිටිපස්සේ ගහන උදවියත් ඉන්නවා.

“රත්ති බිව්ව මට කොත්තු නතිං නංගියා”

“වේළි වේලි ගියත් හාල් කෑලි නම් දාන් යන්නෑ”

“සල්ලි තියෙනවනම් කෙල්ලො වඳුරන්ටත් ලව් කරයි”

ඔය වගේ උපහාසාත්මක කතා මැදින් වුණත් මේ ත්‍රීවීල් අයිය මතු කරනවා එයා කොයිතරම් පොරක්ද කියල.

“මල් තිබ්බට වැඳ වැටුණට

මම තනියම බුදු පුද ළඟ

සෙරෙප්පු දෙක රහත් වෙලා

මට කලියෙන් පඩිපෙළ ළඟ”

ජීවන පහන් තිළිණ

“සතා කියා ඉඳහිටකදි ඇහුණාට

කතා හදන උන් සේරම බෝසත්ද”- ටිම්රාන් කීර්ති

සමහර ත්‍රීවීල්වල ඔය වගේ හරි ලස්සන නූතන කවීන්ගේ පද්‍ය කොටස් මේ වෙනකොට දකින්න තියෙනවා. සමහරවිට පොර කවදාවත් ඒ පොත කියවල නොතියෙන්න පුළුවන්. හැබැයි හරිම පොයින්ට් එක උස්සල අරගෙන ත්‍රීවීල් එකේ කොටන තරමටම මේ ත්‍රීවීල්කාරයාගෙ දෘෂ්ටිය හරි යුනික්.
මේ සියල්ල දිහා බැලුවම මම ආයෙත් කියනවා ත්‍රීවීල්කාරයා කියල ඔබ හඳුන්වන මිනිසා මට පොරක්. ත්‍රීවීල් පදින එක පැෂන් එකක්. මම දැකල තියෙනවා තමන්ගේ රාජකාරිය කකුලේ කුරහන්ගල ගැටගහගත්තු ගවයො වගේ කරන උදවිය. නමුත් මේ ඔයා මම කතා කරන ත්‍රීවීල්කාරයා කවදාවත් අකැමැත්තෙන් ත්‍රීවීල් පදිනවා මම දැකල නෑ. පොරට ඒක පැෂන් එකක්. ත්‍රීවීල්කාරයා ලංකාවට අයිකොන් එකක්.

පවනි වාසනා

Your email address will not be published. Required fields are marked *