උරුමය කරුමය කරගත් දෙමාපියන්…

උරුමය කරුමය කරගත් දෙමාපියන්…

700 views
2

වැස්ස බස් නැවතුමේ ටකරන් වහලය මතට කඩා වැටෙද්දී ඇය වෙව්ලන්නට වූවාය. හිස්බඩේ කෙඳිරිය නොසලකා හරිමින් ඇය ඇගේ දෑත් ඇගේ අපිරිසිදු සාය අතරින් තම උදරයට බර කළාය. බෙහෙතක් ගන්නට තවදුරටත් මුදල් නොමැති ඇය, හන්දිපත් රුදාවේ වේදනාව මදක් අඩු කරගැනීම සඳහා හිටි ඇලයෙන් වෙනත් ඇලයකට හැරුණාය.

සීතල කොන්ක්‍රීට් පදිකවේදිකාවේ වැතිර සිටින ඇය, පසුකරගෙන යන වාහනවල දිලිසෙන විදුළිපහන් එලියට දෑස් තදකරගනිමින් තමා මෙතැනට පැමිණියේ කෙසේදැයි කල්පනා කරන්නට වුවාය. ජීවිතය පුරාවටම රැකියාවක් කර තුන්වේල කා නිවෙසෙක ජීවත්වූ ඇය වැන්නියන් මෙලෙස ඉන්න හිටින්නට  තැනක් නොමැතිව මහ මගට වැටුනේ කෙසේද?

ඇගේ රැලි වැටී එල්ලා වැටුණු කම්මුල් දිගේ කඳුළු බිඳු කිහිපයක් ගලා ගියේය. ඒ අතරමං ව පාරට වැටී ඇතිනිසා නොව, ඇගේම ලෙයින් බිහිවූ කුඩාකල තම සුලැගිල්ලේ එල්ලී පාසැල් ගිය දරුවා, උපාධිය ලබනවිට ඇය ආඩම්බරයෙන් බලාසිටි දරුවා, උදෑසනම නැගිට රැකියාවට යෑමට බත්පත ඔතාදුන් දරුවා, වයසට යද්දී ඇය ලෙසින්ම ආදරයෙන් රැකබලා ගනිවී යැයි සිතූ දරුවාම ඇය මහ මගට ඇද දමා තිබූ හෙයිනි.

කවදා හෝ දිනෙක තම දරු දැරියන් තමන් බලන්නට පැමිනේවියයි යන බලාපොරොත්තුවෙන් මහමගට හෝ වැඩිහිටි නිවාස වලට වී හුල්ලමින් බලාසිටින මා පියන් හිමි සංස්කෘතියකට අප දැන් උරුමකම් කරන්නේය. දකුණු ආසියාවේ සීග්‍රයෙන් වර්ධනය වෙන වයස්ගතවන්නන් ගේ සංඛ්‍යාව හිමිවන්නේද ශ්‍රී ලංකාවටය.

මිලියන 22ක්වූ ශ්‍රී ලාංකිකයින්ගෙන් 16%ක් ම වයස අවුරුදු 60ට වැඩිවුණු අය වෙන අතර වසර 2041දී මෙම සංඛ්‍යාව 25%ක් දක්වා වර්ධනය වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වර්ථමාන ආර්ථික අර්බුදය හමුවේ දිනෙන්දින අඝාදයට ඇදෙමින් පවත්නා පවුල් සංස්ථාව තුල වියපත් වන්නන් අමානුෂික ලෙස තම නිවෙස් වලින් බැහැර කරලීමට ඔවුන්ගේම දරුවන් පියවර ගනු ඇත. වැඩිහිටි නිවාස අධිකාරීන් සහ බොහෝ පුණ්‍යායතන මෙම ගැටලුව විසඳීමට රජයට මැදිහත්වනසේ ඉල්ලා සිටියද, රජය මෙම ප්‍රශ්නයට තබා මුලික අයිතීන් සුරැකීමට වත් හැකියාවක් හෝ උනන්දුවක් වත් දක්වා නොමැත.

ශ්‍රී ලංකාවේ සංස්කෘතියට අනුව තම විවාහයෙන් පසු දෙමව්පියන් හා වෙසෙන දු දරුවෝ බොහෝය, එය එකවහලක් යට දිවිගෙවන “ප්‍රීතිමත්” පව්ලක් යැයි ව්‍යවහාරයේ ද පවතී. නිවෙස් වල අයිතිය තමන්ගේ නමට හරවාගෙන වැඩිකලක් යන්නට මත්තෙන් තම දෙමාපියන් නිවෙසින් එලියට ඇද දමනා කතාන්තර අප කවුරුත් අසා ඇත්තෙමු.

තමන් ගොඩනැගු ව්‍යාපාර, ඉඩකඩම්, දේපල, මිලමුදල් ගැන සිදුවෙන සෑම කතිකාවක දීම  “කවද හරි දවසක, මේවා ඔක්කොම ඉතින් ඔයාලට තමයි”, ශ්‍රී ලාංකික දෙමාපියන් තම දරුවනට නිතර සිහිපත් කරදෙන වාර අප ඕනෑ තරම් අසා ඇත්තෙමු. අවාසනාවකට මෙන්, දෙමාපියන්ගේ ආදරය තුලින් මෙම අභිනය පැමිණියද, දෙමාපියන්ගේ වදන් සහ ක්‍රියා දරුවන් තුල තම අයිතිය පිලිබඳ හැඟීමක් තහවුරු කිරීමටද එයම පාදක වී ඇත. ඉන්පසු එය ඔවුනගේ ජන්ම අයිතිය යැයි දරුවන් විශ්වාස කරන්නට පටන් ගනී.

මෙලෙස දෙමව්පියන් සතු සියල්ල ඔවුනට ලබාදෙන බවට දරුවන්ට වෙන නිරන්තර සහතිකය හේතුවෙන් දරුවන්ද තමන් උපයා නොගත් උරුමයක් මත තම අයිතිය අපේක්ෂා කරයි. පවුලේ උරුමයන් සහ දේපල දරුවන් වෙත පැවරීම වැරද්දක් නොවෙන නමුදු දරුවෙකු තුල ඔවුන් උපයා නොගත් යමකට අයිතිය සහ අපේක්ෂාව පිලිබඳ හැඟීමක් ඇතිකිරීම බරපතල වරදකි. මේ හේතුවෙන් වගකීමෙන් තොර ආත්මාර්ථකාමී ලක්ෂණ වලටද නිතැතින්ම උරුම කම් කියනා මෙවැනි දරුවන්, වයසින් මුහුකුරා යෑමත් සමගම එය ඔවුනගේ අයිතියක් ලෙසම ස්ථාපිත කර ගනී.

වසන් කල නොහැකි සත්‍යය නම් තම දරුවන්ගේ අයිතිය පිළිබඳ හැඟීමට ශ්‍රී ලාංකික දෙමාපියන් අනිවාර්යයෙන්ම වගකිව යුතු බවයි.

කුඩාකල සිටම හිමිවීමේ අයිතිය රෝපණය කිරීමේ හේතුවෙන් මුහුකුරා ගියපසු එම අදහස ඔවුන්ගේ සිතුවිලි වලින් ඈත් කිරීමට කිසිවෙකු සමත් නොවෙනු ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනා අන්දමට, අවශ්‍ය තරම් වැඩිහිටි නිවාස නොමැතිකම හේතුවෙන් වයෝවෘද්ධ දෙමාපියන් රැක බලා ගැනීමට ඔවුනගේ  දරුවන් ව දිරිමත් කිරීම හැර වෙනත් විසදුමක් අප අතර නොමැති බවය.

නමුත් මෙම තත්වය යටතේ එයටම ආවේනිකවූ වෙනත් ගැටළු රාශියක් මතුවී ඇතිබව ලෝක සෞඛ්ය සංවිධානය ප්‍රකාශ කරයි.

එනම්, පසුගිය වසර තුල පමණක් වයස අවුරුදු 60ට සහ ඊට වැඩි පුද්ගලයින් 6 දෙනෙකුගෙන් 1 අයෙකු යම් ආකාරයක ශාරීරික, ලිංගික, මානසික හෝ මුල්‍ය අපයෝජනයට ලක්වී ඇතිබවයි. පවතින ආර්ථික අර්බුධය හේතුවෙන් ඖෂධ, ආහාර සහ අනෙකුත් මූලික අවශ්‍යතා දරා ගැනීමට අපහසු වී ඇති අතර වැඩිහිටියන් රැකබලාගන්නවුන් සහ ඔවුනගේ භාරකාරයන් ඔවුනට ඇතිවී ඇති පීඩනය වියපත් මාපියන් පිට පටවා ඔවුන් නිරන්තර පිඩනයට පත් කර ඇතිබවද වාර්තාවී තිබේ. මේ අතර වාර්තා වී ඇති අපයෝජන වලින් 64.2%ක් ම සිදුකර ඇත්තේ වැඩිහිටි නිවාසයන්හී කාර්යය මණ්ඩලය විසින් යැයි ලෝක සෞඛ්ය සංවිධානය ප්‍රකාශ කරයි.

එසේ නම් මෙම තත්වය විසඳිය හැකිද? රජය විසින් වයස්ගත සියල්ලන්ටම විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක කර නොමැත. රජයේ අනුග්‍රහය ලත් වයෝවෘද්ධ රැකවරණ මධ්‍යස්ථාන ගොඩ නැංවීමක් ද නැත. වයස්ගතවූවන් රැකබලා ගන්නට පුහුණුව ලත් සේවකයින්ද නොවේ. මේවා සැපයුවද, මෙයින් තාවකාලික විසඳුමක් ලැබෙන මුත්  මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් සොයා ගැනීම පෙනෙන මානයක නොමැත.

ස්ථිර සාර විසඳුම ලඟා කරගත හැකි වන්නේ අපි අපේ මානසිකත්වය වෙනස් කරගැනීමෙන් පමණි. එය ලඟාකර ගත හැක්කේ අපි මහන්සියෙන් උපයාගත් දේපල මිල මුදල් වල උරුමය දරුවන්ට පවරා නොදී සිටීමෙන් නොවේ. ඔවුන් දැන් භුක්ති විඳිනා සැනසීම ලබා දීමට අප වෙහෙස මහන්සි වී වැඩ කළ බව තේරුම් ගත හැකි අන්දමේ දරුවන් ඇති දැඩි කිරීමෙනි.

හිසට වහලක් තනා ගැනීමට අප දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වූ බව. අපේ අනාගතය, රැකියාව අපම ගොඩනගාගත් බව. මේ තත්වයට පැමිණීමට සහ ගෞරවාන්විතව ජීවත්වීමට අනෙක දුක් විඳි බව හා කිසිවක් මාපිය උරුමයෙන් දේපල ලෙස නොලැබූ බවත්, එලෙසම අපසතු  කිසිවක් ඔවුනට දේපල ලෙස නොලැබෙන බවත්ය.

මේ විසඳුම දැනටමත් වැඩිහිටි නිවාස වල සහ මහපාරේ දිවිගෙවන වැඩිහිටියන්ට ප්‍රමාද වැඩිවුවද අප අතර වෙසෙන බොහෝ වැඩිහිටියන්ට මෙය උපකාරයක් වෙනු ඇත.

සමාජය තුල තමන්ගේ තත්වය සහ තරාතිරම තමන් විසින්ම උපයා ගන්නා, දෙමව්පියන්ගේ වටිනාකම හොඳින් අවබෝධ කරගත්, ඔවුන් තමනට බරක් සේ නොදකින, සැමවිටම ඔවුනට ආදරය කරන දරුවන් ඇතිදැඩි කිරීමට අපි සියල්ලෝම උත්සාහ ගත යුතුය. එසේම ඔබ ජිවිතයක් පුරා උපයාගත් දේ ඔවුනගේ ජන්මයෙන් ලද උරුමය නොවෙන බවද ඔවුනට වටහා දිය යුතුය. මින් බොහෝ ගැටළු නිරාකරණය වෙනවා මිස උද්දීපනය නොවෙනු ඇතැයි අප විශ්වාස කරමු.

~ තාරිකා සුරන්දි ~

Comments

Your email address will not be published. Required fields are marked *