අරගලය<strong>, </strong>වම සහ දකුණට මැදිවූ ජාතික ජන බලවේගය

අරගලය, වම සහ දකුණට මැදිවූ ජාතික ජන බලවේගය

228 views
2

පලාත් පාලන මැතිවරණය පිළිබඳව මෙතෙක් නිශ්චිත තීරණයක් නොමැති වුවත් ජාතික ජන බලවේගය මැතිවරණය සදහා වන සිය ප්‍රචාරක යාන්ත්‍රණය තව දුරටත් ශක්තිමත් කරමින් පවති. දෘශ්‍යමාන කරුණු වලින්   කිව හැක්කේ  ජාතික ජන බලවේගය මෙතෙක් පැවති සාම්ප්‍රදායික දේශපාලන කදවුරු දෙකම සොලවා ඇති බවයි .හැත්තෑ වසරකට ආසන්න කාලයක් තිස්සේ පැවති තට්ටුමාරු දේශපාලනය මේරටේ බහුතර ජනතාවට තිත්ත වී තිබෙන පසුබිමක ඡන්දදායකයන් ඉතිහාසයේ මෙතෙක් නොගත් තීරණයක් ගැනිමේ ප්‍රවනතාවක් පවති.

මෙතෙක් පැවති දූෂිත දේශපාලන රාමුව තුළ සිදු වූ අනේක විධි ප්‍රෝඩාකාරී එමෙන්ම වංචනික දේශපාලන ගණුදෙනු වලින් පීඩාවට පත් වූ ජනතාව අපේක්ෂා කරන්නේ හොරකම මැරකම,දූෂණය සහ වංචාව පිටු දකින පාලන ක්‍රමයකි.අනාගත ලංකාව කේතුමතී රාජ්‍යය නොවුණත් කේතුමතී රාජ්‍යය ට අලගු තැබිය හැකි පාලන ක්‍රමයක් මෙරට තුළ ස්ථාපිත කරන බවට  ජාතික ජනබලවේගය සපථ කරයි. ඒ සදහා පළමු වෙඩිමුරය පලාත් පාලන ඡංදය බව ඔවුන් ගේ දේශපාලන වේදිකා වලින් ඇසේ.

මාක්ස්වාදී ආස්ථානයක සිට අතීතයේ සිට කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ සිය දේශපාලන සන්නාමය ජාතික ජනබලවේගය ලෙස ජනගත කළේ මීට වසර කීපයකට ඉහතදී ය. මීට කලින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ගේ ආණ්ඩුවේ ද පාලන හවුල්කරුවකු වූ ජනතා විමුක්ති පෙරමුණ ඉන්පසුව 2015 වසරේ දී යහපාලන ආණ්ඩුවේ ද හවුල් කාර පාර්ශ්වයක් විය . යහ පාලන ආණ්ඩුවේ තනතුරු භාර නොගත් නමුත් එහි කාඩරය නියෝජනය කළ බව ප්‍රසිද්ධ රහසකි.

බලය ලබා ගැනීම සදහා ඉදිරිපත් කරන මැතිවරණ පොරොන්දු මේතාක් මැතිවරණයෙන් පසු හිස සහ කිසිදු අර්ථයක් නැති හුදු ලියවිල්ලක් පමණක් වන  බව ප්‍රකට සත්‍යයක් වේ. එම නිසා එම සුරංගනා කතා වලින් ජනතාව රැවටීම කුපකට සෙප්පඩ විජ්ජාවකි. බලයට පත් වූ පසු තමන් අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය සහ පාලන ක්‍රමවේදය පිළිබඳව සෘජුවම අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකී අතිශය සුන්දර වචන මාලාවකින් සමන්විත ප්‍රතිපත්ති ප්‍රකාශන කිසිසේත්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි ඒවා වේ. තවද තමන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති වල ප්‍රායෝගීකත්වය මිනුම් කරන ආකාරය හෝ එම ප්‍රතිපත්ති වල ඵලදායී තාවයක් තිබේද යන්න පුරෝකතනය කළ නොහැකි නම් එම කරුණු වල විශ්වසනීයභාවය පිළිබඳව සැකයක් මතු වේ. මෙයට කදිම නිදසුනක් වන්නේ යහ පාලනය ආණ්ඩුව විසින් දියත් කළ  හොරු ඇල්ලීමේ ව්‍යපෘතියයි. මහා පරිමාණ ප්‍රචාරක යාන්ත්‍රණයක් ද සමග ආරම්භ කළ එම යාන්ත්‍රණය අවම මට්ටමේ හෝ සාධනීය තත්ත්වයක් පෙන්නුම් කළේ නැත .එය අවසානයේ දී හුදු ප්‍රචාරකවාදී කොමිඩියක් විය .

තවද මේ රටේ බහුතර ඡන්දදායකයන් ගේ ආර්ථික, සමාජයීය හා දේශපාලන දෘෂ්ටිය ඉතා ප්‍රාථමික මට්ටමේ එකක් වන අතර ජනතාව ගේ දේශපාලන සවිඥානය වර්ධනය කිරීමේ උවමනාවක් කිසිදු දේශපාලන පක්ෂයකට නොමැත. කෙසේ හෝ බලය ලබා ගැනීම දේශපාලන පක්ෂ වල මුඛය අරමුණ වන අතර බලය ලබා ගැනීමෙන් පසු එම බලය පවත්වාගෙන යාම පිළිබඳව පමණක් සැලසුම් සකස් කරනවා විනා ලබා ගත් බලය ජනතාව ගේ සුබසාධනය සදහා යෙදවීම ඉතා අවම මට්ටමක පවතී.

වරින් වර දේශය හරහා හමා යන දේශපාලන සුළං දහරා වලට හසු වී මෙරට ඡන්දදායකයන් අතිශය රමණීය තවත් විටෙක ත්‍රාසජනක අත්දැකීම් ලබා ගන්නා බවත් ඉනික්බිති එම ප්‍රවාහය සමනය වූ කල පෙර සිටි තැනටත් වඩා පහලට ඇද වැටෙන බවත් කටුක යථාර්ථය වේ. ස්වකීය දේශපාලන ගමන ධනවාදී ද නැතහොත් සමාජවාදී ද යන්න තීරණය කළ නොහැකි දේශපාලන ව්‍යාපාර වල ට අත් වන්නේ ඛේදජනක ඉරණම කි. ධනවාදයේ සහ සමාජවාදයේ අන්තර් සහජීවනය සහිත මැද මාවතක් තිබිය හැකි ද? බොහෝ විට එවැනි මැදමාවතක් පිළිබඳව සිදු කරන කතිකා අවසන් ගමන් යන්නේ ධනවාදයෙන් ය.

මාක්ස් සහ එංගලස් ගේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනයේ මෙසේ සදහන් වේ. “ධනපති පංතිය ආධිපත්‍යය ලැබු හැම තැනකම , සියලුම රදළවාදි , පිතෘමූලික පරමාදර්ශී සබඳකම් විනාශ කළේය . මිනිහකු සහ මිනිහකු අතර නග්න ස්වාර්ථකාමය හැර, අනුකම්පා විරහිත ලෙස මුදල් ගෙවීම හැර වෙනත් කිසිදු සබඳතාවක් ඉතිරි නොකළේ ය”. මෙම යථාර්ථයෙන් බැහැර වීමට ලෝකයේ කිසිදු දේශපාලන පක්ෂයකට නොහැක.

~ එස්. එම්.ජයසූරිය ~

Your email address will not be published. Required fields are marked *