මුල්‍ය තක්කඩි

මුල්‍ය තක්කඩි

117 views
0

තක්කඩිකම සහ මාපියාව යන දෙවදන අප රටේ ජනතාව ට හොඳටම හුරු පුරුදු ය.ඒ මන්ද යත් අවුරුද්ද මුලුල්ලේම අපේ රටේ ජනතාව තක්කඩියන්ගෙන් සහ මාපියාකරුවන් ගෙන් බැට කන බැවිණි .මූල්‍ය ක්ෂේත්‍රය හා සමග තක්කඩිකම මැනවින් සුසංයෝජනය වී ඇති ආකාරය දැන් රටේ ජනතාව ට සිය ඇස් වලින් බලා ගත හැකි ය.මෙය එසේ මෙසේ තක්කඩිකමක් නොව මහ පොළව නුහුලන අපරාධයකි.ඊටත් වඩා කුපාඩිකමකි.
ශ්‍රී ලංකා මහ බැංකුව මීට සති දෙකකට පෙර පොළි අනුපාත අඩු කළේ ය.එය මහා බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ තීරණය කි.මේ තීරණය සමග මේ රටේ ඇතැම් මූල්‍ය ආයතන එකග වුවද බොහෝ මූල්‍ය ආයතන මුනිවත රැකීමේ මුද්‍රාවක සිටින බව පෙනේ.මේ රටේ බොහෝ මුල්‍ය ආයතන වලට එසේ මුනිවත රැකීමට හැකි වුවත් ඔවුන් ට පතිවත තබා ඇදි වත ද අහිමි බව දන්නෝ දනිති .ඒතරමට කුපාඩිකම ඉහවහා ගොසිනි .මීට කලකට පෙර මහා බැංකුව විසින් පොළී අනුපාතය ඉහල නැංවීම සිදු කළ විට මෙම මූල්‍ය ආයතන ගණුදෙනු කරුවන් වෙත හැරෙන තැපෑලෙන් ලියුම් යවා ණය පොළිය ඉහල දැමීමේ සියයට තිස් දෙක දක්වා ය.විශ්මයට කරුණක් නම් මහා බැංකුව පොළී අනුපාතය අඩු කළ පසුව ද එක්තරා බැංකුවක් ගුරුවරුන් ගේ ණය සදහා පොළී අනුපාතය වැඩි කිරිම ට පියවර ගැනීමයි.මේ තරම් තක්කඩිකමක් තවත් තිබේ ද?මහා බැංකුවේ මූල්‍ය නියමයන් තුට්ටුවකට මායිම් නොකරන බැංකු මේ රටේ පැවතීම අරුමයකි.මෙම කොල්ලකාරි බැංකු මේ ආකාරයේ නොපනත්කම් කරමින් යහතින් වැජ්ඹෙන්නේ කෙසේ ද ?මේවා මහ බැංකුව ට යටත් නොවේද ?
ණය පොළී අනුපාතය ඉහල දැමීමේ තම ක්‍රියාමාර්ග පිළිබඳව සාධාරණීකරණය කරමින් එම බැංකු ඒ දිනවල කියා සිටියේ මහා බැංකුව පොළී අනුපාතය ඉහල නැංවීම නිසා තමන් ද එසේ කළ බවයි .එහෙත් මහ බැංකුව පොළී අනුපාතය අඩු කළ විට සද්දයක් නැත .මෙහි ඇති කුපාඩිකම නම් මහ බැංකුව කොනිත්තන තෙක් සද්ද නැතුව සිටීමය.කෙනෙත්තු පසුව පොළී අනුපාතය අඩු කිරීමට සිතාගෙන සිටිනවා විය යුතුය .ඒ වන විටත් සිය සූරා කෑම අඛණ්ඩව ගෙන යයි.
පොළී අනුපාතය ඉහල යන විට ගණුදෙනු කරුවන් ලබා ගත් ණය සදහා පොළී අනුපාතය ඉහල නැංවීම ගිවිසුම ප්‍රකාරව සිදු කළ බවට තවත් තර්කයක් ඉදිරිපත් කරයි.රටේ මූල්‍ය ක්ෂේත්‍රය යහපත් නම් ඔය කියන තියරිය හරිය.එහෙත් පසුගිය වකවානුවේ පැවති ආර්ථික අවගමනය හමුවේ පොළී අනුපාතය අසාධාරණ ලෙස ඉහළ දැම්මේ මේ රටේ පමණි. ඒ තමන් දකුණු ආසියාවේ ඉහළම ගිණි පොලිකරුවන් ලෙස බෞවුතීස්ම වෙමින්‍ ය.ඉතින් මෙය කුපාඩිකමක් නොවේ නම් අන් කවරක් ද?
තමන් පොඩි මිනිසා ට තැන දෙන බවත් සුළු ව්‍යාපාරිකයනට තැන දෙන බවත් ඉච්ඡා බස් දොඩවමින් මේ රටේ ජනතාව ගොනාට අන්දවමින් මේ කරන නාඩගම කුමක් ද ?
දැන් මහ බැංකුව ඉදිරියේ බරපතළ ප්‍රශ්නයක් ඇත .මේ තක්කඩි මූල්‍ය ආයතන වල ට එරෙහිව ගනු ලබන පියවර කුමක් ද ?මහ බැංකුවේ මැදිහත් වීමෙන් පොළී අනුපාතය අඩු කරායැයි සිතමු.එහෙත් ඔවුන් සිදු කළ වරදට දෙන දඩුවම කුමක් ද?මේ කරුණු පිළිබඳව දැන ගැනීමට මේ රටේ ඕනෑම පුරවැසියකුටම අයිතිවාසිකමක් ඇත .මෙම තක්කඩි මූල්‍ය ආයතන වල මහ පුටුවල ඉන්නේ මහත්වරු නොවේ ද?මෙවැනි කුපාඩිකම් කිරීමට ලජ්ජාවක් හෝ බියක් නැති ද?මෙම තක්කඩිකම නිසා මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය වන බව වගකිවයුතු බලධාරීන් ට නොපෙනේ ද?

එස්.එම්. ජයසූරිය

Your email address will not be published. Required fields are marked *