පුංචි කාලෙ ඉදන් අපිට හරි ලස්සන පාඩමක් උගන්නනවා

පුංචි කාලෙ ඉදන් අපිට හරි ලස්සන පාඩමක් උගන්නනවා

159 views
0

පුංචි කාලෙ ඉදන් අපිට හරි ලස්සන පාඩමක් උගන්නනවා . මුලින්ම ගෙදරින් , ඉන් පස්සෙ පෙරපාසලෙන් , පාසලෙන් සහ අපි මේ වෙනකොටත් සහ සම්බන්ධතා ගොඩනගාගෙන ඉන්න බාහිර සමාජයෙන් පවා අපි ඒ පාඩම ඉගෙන ගන්නවා . තනිවචනෙකින් කියනව නම් ඒ තමයි බෙදාහදාගැනීම . ඔය කියන බෙදාහදාගැනීමත් එක්කම පැන නැගපු ගැටළුව තමයි ගහමරා ගැනීම .
“අක්කට ටොෆියක් වැඩී මට වඩා “
කියල ගෙදර ඇතුළෙන් පටන් ගත්තු ගැටුම මේ වෙනකොට ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙලා ඉවරයි .
” මහා ගොඩක් තියන අපි තමා මහා එවුන් , උබල පොඩි උන් “
” පොඩි උන් පොඩි විදියට ඉදපල්ලා “
ඔන්න ඔහොම තමයි මේ වෙනකොට ඔය බෙදාහදාගැනීම කියන දේ ජාතිකවාදි ගැටුමක් වෙනකන් ව්‍යාප්ත වෙන්නෙ . මේක සරලවම ගිනි පුපුරක් වගෙ . ඇවිලෙන්නෙ නම් නෑ , හැබැයි පුලුන් කෑල්ලක් ලං කරොත් කොයි වෙලේ කොයි තරම් ඇවිලෙයිද කියන්නත් බෑ . ඔය ගැටුම ආයෙ උඩ මතු වුණා එක පුංචි කාරණයක් එක්ක .

ඒ තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ ලෝගො එක එහෙම නැත්තන් සංකේතයෙ විහාරයක් සඳහන් වීම සහ එක්තරා පුද්ගලයෙක් එම ඡායාරූපය ට ” where is Tamil And Muslim representation in the logo ? ” කියන පැනය දක්වා තිබීම .
ඔන්න ඔතනින් තමයි මේ ගිණිපුපුර ආයෙ ඇවිලිලා තිබුණෙ . ඒ ප්‍රශ්නෙට දෙපාර්තමේන්තුවෙ පිළිතුර උනේ නම් හිනාවෙන මුහුණක් . ඒක සාර්ථක පිළිතුරක් කියල කියන්න බැරි උනත් අර අහල තිබුණ ප්‍රශ්නයට පිළිතුර මෙ ලිපිය කියවන ඔයාට දැනගන්න පුලුවන් .

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නෙ ශ්‍රී ලංකාවෙන් හම්බෙන පුරාවස්තු සංරක්ෂණය කරන්නත් ඒ පිළිබදව ජනතාවට අවබෝධයක් ලබාදෙන්නත් පැවරිලා තියන ආණ්ඩුවෙ දෙපාර්තමේන්තුවක්. ඇත්තටම මෙ දෙපාර්තමේන්තුව පිහිටුවන්නෙ මේ වෙනකොට වංසෙ කබල්ගාමින් ඉන්න ශ්‍රී ලාංකිකයන් නම් නෙවෙයි 1890 දි ඉංග්‍රීසින් . ඉතිං ඔය පරදේසක්කාර උන්නැහෙලා ටිකක් මෙහෙ පිහිටවපු දෙපාර්තමේන්තුවක ලෝගො එකකට තමයි මේ උන්නැහෙලා මරාගන්නෙ . පුරාවිද්‍යා ව කියන්නෙ පුරාවස්තූන් සා සම්බන්ධ වුණ විෂයක් කියල මම කලිනුත් සඳහන් කරානෙ . ඉතිං පුරාවිද්‍යා ව කියන්නෙ බෞද්ධ මුස්ලිම් හින්දු ක්‍රිස්තියානි ආගමිකයන්ට ආගම් නියෝජනය කරන්න හෝ ජාතිකවාදය ප්‍රමෝට් කරන්න හෝ ගොඩනැගුණු විෂයක් නෙවෙයි.

ඔය ගැටලුවට හේතු වුණ ලෝගො එක නිර්මාණය වුණ වර්ෂය සදහන් නොවුණත් පැහැදිලිවම කියන්න පුළුවන් එ වෙනකොට සිංහල , දමිළ , කතෝලික කියන ජනවර්ග වලට අයිති මිනිස්සු ජීවත් වුණ කාලවකවානුවක් කියල .

දැන් අපි යමු මේ ලෝගො එකෙ ස්ථූපයක් තියෙන්නෙ ඇයි කියන කාරණාවට . රජකාලෙ ඉදන් මේ වෙනකන් බෞද්ධයාට පාලන තන්ත්‍රයේ මුල් පුටුව හිමිවෙලා තිබුණා . එ කාලෙ රජවරු වෙහෙර විහාර දාගැබ් ගව්වක් ගව්වක් ගානෙ නිර්මාණය කරපු බව පොත පත කියවන ඕන කෙනෙක් මේ වෙනකොටත් දන්නවා . පුරාවිද්‍යා පරීක්ෂණයක් කියල ගොඩැල්ලක් හෑරුවත් ස්ථූපයක් මතු වෙන තරමට ප්‍රමුඛව මේ විහාර ඒ දවස් වල ඉදන්ම ගොඩනැගිලා තිබුණා . ඉතිං පුරාවිද්‍යාව තුළදි ප්‍රමුඛවම මේ ස්ථූප හමුවෙන එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා , ඉතිං එහෙම අවස්ථාවකදි සංකේතයට ස්ථූපයක් යොදාගැනීම සාමාන්‍ය දෙයක් . එ වෙනකොට රට පාලනය කරේ ඉංග්‍රීසි ආණ්ඩුවකින් බව කලිනුත් සඳහන් කරානෙ . 1948 ලංකාව නිදහස් රටක් වෙනකන්ම බ්‍රිතාන්‍යයන් භාවිත කරපු බ්‍රිටිෂ් සිලෝන් කොඩියෙ හිටියෙත් ඇතෙක් සහ ස්ථූපයක් . යම්කිසි විදියකින් ඉංග්‍රීසින් සමය තුළ නිර්මාණය වුණා නම් මෙම ලාංඡනයත් ඔවුන් ස්ථූපයක් යොදාගන්න සම්භාවිතාවක් තියෙනවා කියල හොදට ම පැහැදිලි යි .

අනෙක් කාරණාව තමයි ස්ථූපය කියන්නෙ සිංහල මිනිස්සුන්‍ට විතරක් අයිති දෙයක් නෙවෙයි . ජාතික රාජ්‍ය පිහිටුවන කාලෙ ඉදලම ලංකාවෙ දෙමළ බෞද්ධයොත් හිටියා . 12 , 13 සියවස් වල හමුවෙන වේලයික්කාර ලිපිවල සඳහන් වෙනවා විහාර කරපු වේලෙයික්කාරයන් ගැන . එහෙම හිටිය චෝළ එහෙම නැත්නම් දමිළ බෞද්ධයොත් වන්දනා කරේ ඒ ස්ථූපම තමයි . දැන් තමයි පන්සල කියන්නෙ බෞද්ධ අයගෙ දෙයක් විතරයි කියල ජාතික අනන්‍යතාවයක් දීලා තියෙන්නෙ . ඉතිං මේක සිංහල බෞද්ධ හෝ මුස්ලිම් ජාතිවාදයක් විදියට පේන්නේ ඇත්තටම ඒ මත ඉන්න අයට .

ඒත් එක්කම ලෝගො එකකින් සිද්ධවෙන්නෙ සංකේතාත්මක නිරූපණයක් විතරයි කියල තේරුම් ගන්න තරම් බුද්ධිමට්ටමක් ඕනම මනුස්සයෙක්ට තිබිය යුතුයි . මොකද සංකේත සංකේතාත්මකයි . ඉතිං එහෙම සංකේතයක් ඇතුළෙ සිංහල , දෙමළ , මුස්ලිම් , බර්ගර් , LGBTQ + , LTTE , බොදු ගොවි , රොඩී වගේ හැම ප්‍රජාවක්ම නිරූපණය කරන්න හැකියාවක් නැහැ . උදාහරණ කීපයක් අරන් මේ ගැන විස්තර කළොත් ,

ශ්‍රී ලංකා වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ නිල ලාංඡනයෙ ඉන්නෙ ඇතෙක් . වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නෙ ශ්‍රි ලංකාවෙ ජාතික උද්‍යාන හා ස්වභාවික රක්ෂිත පවත්වාගෙන යාම සම්බන්ධව වගකිව යුතු රජයේ දෙපාර්තමේන්තුව . ඉතින් මෙතනදි අදාල රක්ෂිතයේ හෝ උද්‍යානයේ තියන කුප්පමේනියා , නිදිකුම්බා පැලේ ඉදන් අලි , කොටි වලස්සු වෙනකන් හැම ශාක සහ සත්ව ප්‍රජාවක්ම අයිතියි . හැබැයි ලෝගො එකෙ ඉන්නෙ ඇතෙක් විතරයි . ඔය කියන විදියට හැම ප්‍රජාවක්ම නිරූපණය කරන්න උනා නම් ඒක සංකේතයක් නොවී සමනල්ලු පියාඹන , මාලු පීනන නරි හූ කියන සත්තුවත්තක පෝස්ටරයක් වෙන්න තිබුණා . ඉතිං ඇතා කියන එක සතෙකුගෙන් ඔවුන් සමස්ත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවම නියෝජනය කරනවා සංකේතාත්මක කරනවා . පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ ස්ථූපය ට කෑ ගහන උදවියට පුලුවන් අසාධාරණයට ලක් වෙන අනෙක් තිරශ්චීන ගතයින් වෙනුවෙනුත් පෙනී ඉන්න .

ඉනිදියාවෙ කොඩිය දැකල ඇති නේද හැමෝම , අඩුමතරමේ මැච් බලනකොට ඉබේටම පෙනිලා හරි ඇති . පාට තුනක කොඩිය මැද තියෙන්නෙ ධර්මචක්‍රය . ලංකාව වගෙම ඉන්දියාවත් බහුවාර්ගික රටක් . ලංකාවෙ නම් අත් දෙකෙ ඇගිලි වලින් වර්ග ගණන් කරල ඉවර කරන්න පුළුවන් . හැබැයි ඉන්දියාවේ ජන වර්ග දෙදහකට අධිකයි . ඒ ජන වර්ග සියල්ලම ඔවුන් එක කොඩියක් තුළින් නියෝජනය කරන්න යන්නෙත් නෑ , කොඩියෙ අපේ කොටස දියව් කියල ජාතිවාදය අවුලුවමින් රටේ පැවැත්මට තර්ජනයක් ඇති කරන්නෙත් නෑ .

ශ්‍රී ලංකා පරිසර සංරක්ෂණ අධිකාරියෙ ලාංඡනයෙ තියෙන්නෙත් ජලය , ගස සහ හිරු විතරයි . පරිසරය කිව්වම ගස , හිරු සහ ජලය විතරක් අයිති නොවෙන බව ඕනම කෙනෙක් දන්නවානෙ . හැබැයි සංකේතයක් තුළට මේ පරිසර සංරක්ෂණය කියන සංකල්පය ගේනකොට ඔවුන් සංකේත රූප තුනකට සීමා වෙලා තියනව .

ඇත්තටම කොඩියකට, ලාංඡනයකට, ජාතික ගීයකට ගහමරාගැනීම තුළින් පිළිඹිබු වෙන්නෙ ජාතික අනන්‍යතාවය නෙවෙයි සමස්ත ජාතීන්ගෙ මුග්ධ බව. දෙමළ මුස්ලිම් විතරක් ජාතිවාදය නෙවෙයි , අන් ජාතියක් මත ඉදල සිංහල ජනතාව පහත් කරල සැලකීම නිගා කිරීම කියන්නෙත් එක්තරා ජාතිවාදයක් තමයි . මධ්‍යස්තව නොයිද යම්කිසි ආගමික හෝ ජාතික අන්තෙකට සීමා වෙලා උන් උන්ට ඇගිලි දික් කර ගැනීමම ජාතිවාදයක් තමයි .

උතුරුකරේ දමිළ මිනිස්සුන්ට තියන ඇත්තම ප්‍රශ්නෙ පුරාවිද්‍යා ලෝගො එකේ ඔවුන්ගෙ හින්දු ත්‍රිශූලේ හෝ ශිවලිංගෙ නැති එක නෙවෙයි . එ මිනිස්සුන්ට ඊට වඩා ප්‍රශ්න තියෙනවා . ඒ ගැන සාවධාන වෙනවා මිසක ලෝගෝ එකකට නහින එක නිශ්ඵල ක්‍රියාවක් .

සිංහල දෙමළ මුස්ලිම් උනත් තම තමන්ගෙ පැවැත්ම උදෙසා ජාතිවාදය වවාගෙන කන මිනිස්සු අර වගෙ පුංචි රූපයකින් උනත් මහ විශාල ගිනිජාලාවක් ඇති කරල ඔවුන්ගෙ පැවැත්ම බලාපොරොත්තු වෙනවා . සමහරවිට ඔවුන් එ කරන්නෙ ඔවුන්ගෙ ස්වයං වින්දනයක් , ආත්ම තෘප්තියක් වෙනුවෙන් වෙන්නත් පුළුවන් , එහෙම නැත්තන් දේෂපාලනික ගේම් වල ප්‍රොජෙක්ට් වල කොටස් වෙන්නත් පුලුවන් . එ කොහොම උනත් උසස් මනසක් ඇති නිසා මිනිසා යැයි නම් ලද ඔබ පරිස්සමෙන් මේ ජාතිවාදී ප්‍රතිපත්ති සහ ජාතිවාදය උලුප්පන මිනිස්සු සමග කටයුතු අරන්න . එහෙම නොවුණොත් වැඩිකල් නොගිහින් අපි හැමෝම ඔවුන්ගේ ඉත්තන් බවට පත් වෙලා තියෙයි .

පවනි වාසනා

Your email address will not be published. Required fields are marked *