නොදැන counselling කරන්න යන්න එපා !

නොදැන counselling කරන්න යන්න එපා !

195 views
0

” සමහරු පරම පවිත්‍ර ක්‍රමයක් ගැන හීන දකිනවා . ඒ කවුරු වුණත් යම් ක්‍රමයකට දැඩි ලෙස ප්‍රේම කිරීම භයානකයි . මොකද … ඒ ක්‍රමයට ලෝකය අනුගත නොවෙන කොට ඔබට කේන්ති යනවා . ”  මේ විදියට පවසන්නෙ කැනේඩියානු ලේඛිකාවක් වන නයෝමී ක්ලේන් . වර්තමාන ලංකාව දිහාවට ඇස් යොමු කළොත් ඉහත කියමන බොහෝ සෙයින් සමපාත වන කාලවකවානුවක තමයි ඔයයි මමයි දැන් මේ ඉන්නෙ . උද්ධමනයත් එක්ක වැඩි වුණේ බඩු මිල විතරක් නෙවෙයි මෙ රටෙ මිනිස්සුන්ගෙ මානසික හා කායික පීඩනයත් උද්ධමනයත් එක්කම ඉහළ ගියා . මේ කාලය තුළ සිදුවෙන සියදිවි හානිකරගැනීම් , දරුවන් මහ මග දමා යෑම් , අපරාධ  පෙරට වඩා වැඩි වෙලා කියන එක ඔයයි මමයි දෙන්නම දන්න දෙයක්නෙ . ටීවි එක දැම්මත් රේඩියෝ එක දැම්මත් , අහවල් කම්පැනියෙ මනුස්සයෙක් සියදිවි නසාගෙන , අහවල් ප්‍රදේශයේ පාළු පාරක බිළිදියක් දමා ගොසින් , ගැටකපන්නන් මාල කඩන්නන් බහුලව , ආදී විදියට තමයි ප්‍රවෘතියක් උනත් අපෙ කනට ඇහෙන්නෙ . ඇත්තටම ලක්වාසී මහ ජනතාව මේ වෙලාවෙ ඉන්නෙ පිපිරෙන්න ආසන්න ගිණිකන්දක මුදුනෙම කිව්වොත් මම නිවැරදියි . ඔයා , මම සහ ඔවුන් සියලු දෙනා කොයි මොහොතෙ පිපිරීමට ලක්වෙයිද කියන එක නිශ්චිත නෑ . ඒ තරමට බහුතරයක් දෙනාගෙ මානසික මට්ටම හරි ව්‍යාකූලයි . ඉතිං එහෙම වෙලාවක මනෝ උපදේශනය කරා යොමු වෙන එක කොයි තරම් දුරට වටිනවද කියල දැනගන්න අවැසි නම් මම ආදරයෙන් ඔයාට ආරාධනා කරන ලිපිය අවසන් වෙන තුරු හෙමින්සීරුව හොඳින් හිතමින් කියවන්න කියල . 

ජීවිතේ එකවතාවක් හරි මනුස්සයෙක් මානසික පසුබෑමකට , අවපාතයකට , ව්‍යාකූලත්වයකට , අවපීඩනයකට පත් වීම අතිශයින්ම සාමාන්‍යයි . ඉතින් මගේ ආදරණීය පුංචි මිත්‍රයා , එහෙම වාතාවරණයක් ඇතුළෙදි මිනිස්සු ප්‍රකෘති හැසිරීම් රටාවෙන් ඔබ්බට යනවා . මනස නොසන්සුන් උනාම දේවල් කීපයක්ම සිදුවෙනවා . මම ඉන් කීපයක් ඔයාගෙ දැනුවත්භාවය වෙනුවෙන්ම මෙතන අමුණන්න පැකිළෙන්නෙ නෑ .

  • සිතේ නිතර පවතින කනස්සලු ස්වභාවය
  • අන් පුද්ගලයන් නොරුස්සනා බව 
  • සමාජයෙන් සහ පුද්ගලයන්ගෙන් ඈත් විමට කටයුතු කිරීම 
  • ආහාර අරුචිය වගෙම පමණට අධික ආහාර ලබා ගැනීම 
  • මරණය හෝ සියදිවි නසාගැනීමෙ සිතුවිලි 
  • අධික තෙහෙට්ටුව සහ නින්ද නොයෑම
  • නිරන්තරයෙන් කල්පනා කරමින් සිටීම 
  • විනෝදය සඳහා ඇති උනන්දුව අඩු වීම 

මේ වගෙ ලක්ෂණ බොහොමයක් මානසික අවපීඩන තත්වයකදි පේන්න තියෙනවා . ඉතිං ඔහොම අවස්ථාවකදි අපි එදිනෙදා සාමාන්‍ය දේවල් වලට කලින් රිඇක්ට් කරපු විදියට වඩා වෙනස් ස්වභාවයකින් තමයි ප්‍රතිචාර දක්වන්නෙ . තවත් සරල විදියට කිව්වොත් මානසික අවපීඩනයක ඉන්නකොට ඇත්තම ඔයා වෙනුවට හැසිරෙන්නෙ ඔයාගෙ මානසික අවපීඩනය . ඔයා ඉක්මන් තීරණ ගන්න පෙළඹෙනවා , හොස්ස ළඟින් මැස්සා යන්න බැරි කුකුල් කේන්තිකාරයෙක් බවට පත් වෙනවා . මේකෙ අවසානයෙ සිද්ධවෙන්න පුළුවන් භයානකම දේ තමයි තමන්ගෙ ජීවිතය නැති කරගන්න හිතෙන එක . එ කියන්නෙ සුයිසයිඩල් තෝට්ස් ඔයාගෙ ඔලුව ඇතුළෙ කරණම් ගහන එක .  

ඔන්න ඔහොම සිටුවේෂන් එකක ඉන්න කෙනෙක් ඇත්තටම මොකක්ද කරන්න ඕන . මගෙ පුංචි මිත්‍රයා අපි ඒකට උදාහරණයක් ගමු . මඩ සහ වැලි මිශ්‍ර වතුර බේසමක අඩියෙ තියෙනවා රතු පාට කුඩා වීදුරු බෝලයක් . ඔයා මේ බේසමේ වතුර වැලි සහ මඩ එක්ක හොදින් මිශ්‍ර කළොත් ඔයාට ඒ වීදුරු බෝලය දකින්න අපහසුයි . හැබැයි මේ කැලතීම නතර කරල ටික වෙලාවකින් වැලි සහ මඩ අඩියේ තැන්පත් උනායින් අනතුරුව ඔයාට අර වීදුරු බෝලය පහසුවෙන් දකින්න පුළුවන් . ඔය වගේ තමයි අපේ මනසත් . අපි නොසන්සුන් මානසිකත්වයක ඉන්න වෙලාවට නිවැරදි තීරණ ගන්න අපිට තියෙන හැකියාව ගොඩක් අඩුයි . අපෙ මනස සන්සුන්  වෙන තුරු අපි කිරියාකරන්නෙ ප්‍රකෘති විදියට නෙවෙයි . ඉතිං මෙහෙම අවස්ථාවක තමයි අපිට මනෝ උපදේශනය
(Counselling ) අවශ්‍ය වෙන්නෙ . 

Counselling ගැන කතා කරනකොට මෙ ගැන නම් අත්‍යවශ්‍යයෙන්ම ඔයාව දැනුවත් කරන්න ඕන මගෙ මිත්‍රයා . මෙ ලිපිය ලියන්න කලින් මම නිකමට Face Book search bar එකේ මානසික පීඩනය කියන වචනය ටයිප් කරා . 

මනෝ විද්‍යාත්මක පවුල් උපදේශනය 
මානසික ගැටලු 
මනෝ උපදේශනය හා මානසික ප්‍රතිකාර 
මානසික පීඩනයට බුදු දහම 
මානසික පීඩනයට ලිංගික සතුට 

මේ වගේ ගොඩක් පේජ සහ ගිණුම් දකින්න පුළුවන් වුණා . මේ පේජ් වලින් ඇත්තටම මානසික සහනයක් හම්බවෙනවද කියල මම ඔයාගෙන් ප්‍රශ්න කරන්න යන්නෙ නෑ . නමුත් මොහොතකට ඔයා හිතල බලන්න ඒ ඒ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඔයාට අවශ්‍ය මානසික සහනය ලැබුණද කියල . පෞද්ගලිකව මට නම් එහෙම සමූහයක ප්‍රසිද්ධියෙ පළ වන ගැටලු කියෙව්වම මුලු දවසම විකාරරූපියි . තව ගොඩක් වෙලාවට එහෙම පේජ සහ සමූහ වලින් තොරව බුකියෙ එක් එක් පුද්ගලයා වශයෙනුත් මේ counseling කරන්න යනවා . ඔය දෙකම පොඩ්ඩක් පැත්තකින් තිබ්බම ෆේස්බුක් එකේ හැම කෙනෙක්ම වගෙ counselor කෙනෙක් වෙන්න උත්සාහ කරනවා . 
” වරෙන් මචං ප්‍රශ්නයක් නම් අපි කතා කරමු “
” ඕන වෙලාවක මට මැසෙජ් එකක් තියන්න මම ඉන්නවා ” 
මේ විදියට හැම මනුස්සයෙක් ම කියන්න පුරුදු වෙලා ඉන්නවා . ඇත්තටම තව මනුස්සයෙක් වෙනුවෙන් පෙනී ඉන්න එක වගෙම උපකාර කරන එක වැරදි නැහැ . හැබැයි මේකෙ භයානක පැත්තකුත් තියෙනව . ගොඩක් අයට ඒක අමතක වෙලා උපදෙස් දෙන්න වගෙම උපදෙස් ගන්නත් යනවා. 

‘වරෙන් මචං අපි කතා කරමු ‘ කියල පෝස්ට් එකක් දාන මනුස්සයා , මැසේජ් එකක් එවන මනුස්සයා , ගොඩක් දුරට එහෙම මැසෙජ් එකක් පෝස්ට් එකක් දාන්න හේතු වෙන්නෙ තමන්ටත් ප්‍රශ්නයක් තියෙන වෙලාවට තව ප්‍රශ්නයක් තියෙන කෙනෙක් එක්ක කතා කරල තමන්ගෙ ප්‍රශ්නය සෙට්ල්ඩවුන් කරගන්න . එහෙම නැත්තන් ‘ මට විතරක් නෙවෙ බලන් ගියාම ප්‍රශ්න තියෙන්නෙ ‘ කියල හිත හදාගෙන තමන් තනි නෑ කියල තහවුරු කරගන්න .

ඔන්න ඔය කියන අවස්ථාවෙදි අවංකව හරි සංකීර්ණ බැරෑරුම් ප්‍රශ්නයකින් මානසිකව බැට කන පුද්ගලයෙක් තමන්ට උදව් කරන්න උත්සාහ කරනවා කියල පෙනී ඉන්න ඉස්සෙල්ලා කිව්ව වගෙ කෙනෙක් එක්ක කතා කරොත් වෙන්නෙ ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේම වැඩක් තමයි . මොකද තමන්ගෙ ඔලුව නිදහස් කරගන්න කියල තමන්ගෙ ප්‍රශ්නෙ තවත් ප්‍රශ්න තියෙන මනුස්සයෙක් එක්කම කියල වැඩක් නෑනෙ . එයාගෙ මනසත් මේ වෙලාවෙ තියෙන්නෙ අපි උඩදි කතා කරපු වැලි මඩ කැලතුණු නොසන්සුන් වතුර තියෙන බේසම වගෙ අපහැදිලිව . ඉතිං ඔයා එහෙම කෙනෙක් ගෙන් ඔයගෙ ප්‍රශ්නයට විසඳුමක් හොයන එක එක අතකින් අසාර්ථකයි වගෙම භයානකයි . 

නිකන් හිතන්න මානසික අවපීඩනයේ ඉහළම කොටසෙ ඉන්න පුද්ගලයෙක් ට බුකී කවුන්සිලර් කෙනෙක් උපදෙස් දෙන්න යනවා . ඔහු හෝ ඇයත් ඉන්නෙ මානසිකව අස්ථාවර වෙලා නම් තමන් ඉස්සරහ ඉන්න පුද්ගලයාගෙ ප්‍රශ්නයට විසඳුම විදියට ඕනම දෙයක් ඇක්සෙප්ට් වීම සිදුවෙන්න පුළුවන් . සුයිසයිඩල් මයින්ඩ් එකක ඉන්න පුද්ගලයෙක්ව ජස්ටිෆයි කරන්නත් පුළුවන් ඒ තුළින් ඇති වෙන ප්‍රතිවිපාකය කොයිතරම් බරපතලද කියල බුකියෙන් මනෝ උපදේශනය ගන්න ගිය පුද්ගලයටවත් , බුකී කවුන්සිලර්ටවත් එ මොහොතෙ වැටහෙන්නෙ නෑ . 

මගෙ මිත්‍රයා ඉතිං මේක එක පාර්ශ්වයක් විසින් විතරක් අවබෝධ කරගෙන වැඩක් නෑ . මානසික අවපීඩනයට ගොදුරු වෙලා ඉන්න කෙනා වගෙම , සමාජ මාධ්‍ය කරහා උපදේශනය දෙන්න යන කෙනත් අවබෝධ කරගන්න ඕන දෙයක් . ෆේස්බුක් , ට්විටර් , ටික්ටොක් , ඉන්ස්ට වැනි සමාජජාලා හරහා counselling කරන්න යන ගොඩක් දෙනා එහෙම කරන්නෙ තමන් තනි නෑ කියල තමන්‍ටම ඒත්තු ගන්වන්න . එ වගෙම තමයි මනෝ උපදේශනය අවශ්‍ය අය ඉන්නව නම් එයාලට තියනවා වගකීමක් තමන්ගෙ ප්‍රශ්නය හෑල්ලු නොකරන , ” මචං මට තියන ප්‍රශ්න එක්ක බලනකොට උබට තියෙන්නෙ ප්‍රශ්නද බන් ” කියල නොඅසන , තමන්ව පහත් නොකරන , වගෙම විශ්වාසයට හානි නොකරන පුද්ගලයෙක්ට තමන්ගෙ ප්‍රශ්නය හෙළි කරන එක . 

හැබැයි සෝෂල් මීඩියා වල ප්‍රශ්න හෙළි කරාට පස්සෙ ගොඩක් දුරට දකින්න තියෙන්නෙ එ පුද්ගලයගෙ දුර්වලකම් අල්ලගෙන මඩ ගහනව බුලි කරනවා වගෙ දේවල් . එහෙම නැත්තන් වැර්දි උපදෙස් ඩිසිෂන් දීලා ඉන්න තත්වෙනුත් පහළට වැටෙන සිද්ධි . ඔයාට ප්‍රශ්නයක් තියෙනකොට තව ප්‍රශ්නයක් තියෙන කෙනෙක් එක්ක කතා කරල විසඳුමක් හොයාගන්න බෑ . ඒ වගෙම තමයි හදිසියෙ ඇතිවන මානසික ව්‍යාකූලත්වයකට ප්‍රතිකාර ගන්න වෘතීමය මනෝ උපදේශකවරයෙක් අවශ්‍ය නැති වෙන්න පුළුවන් . එහෙම වෙලාවට ඔයාගෙ වටා ඉන්න පිරිසෙන් කෙනෙක් තෝරගන්නකොට ඔයා හොදට සැළකිලිමත් වෙන්න . 

ඔයාගෙ ප්‍රශ්නය වවාගෙන කන්නෙ නැති , ඔයාව හෑල්ලු නොකරන කෙනෙක් එක්ක ප්‍රශ්නයක් කතා කරල විසදුමක් හොයන එකෙ ගැටලුවක් නැ  . හැබැයි ඔයාගෙ විසදුම්කාරයා ඉන්නෙත් ප්‍රශ්නයක නම්, එයත් මෙන්ටලි අන්ස්ටේබල් නම් එයාට ඔයාට උදව් කරන්න බැහැ කියල දැන දැනම ඔයා ප්‍රශ්නයක් කතා කරන්න යන එක නිශ්ඵලයි . 

මේ බුකී counselling වල තියෙන භයානකම පැත්ත තමයි , සුයිසයිඩල් මෙන්ටලිටි එකෙ ඉන්න මනුස්සයෙක් ඩිප්‍රෙෂන් උත්කෂයට නගන මනුස්සයෙක් එක්ක තමන්ගෙ ප්‍රශ්න කතා කරන්න යන එක. ඒකෙන් වෙන්නෙ තමන්ට සුයිසයිඩ් කරගන්න මෝටිවේෂන් එකක් ලැබෙන එක මිසක ඔයාගෙ ප්‍රශ්නයට විසඳුමක් නෙවෙ. ලංකාවෙ නීතියට අනුව සිය දිවි තොර කර ගැනීම වරදක් . දිවි තොරකරගන්න වචනෙකින් හරි සපෝට් කරන එකත් වරදක් . ඉතිං බුකී counselling කරන අය මේ ලියමන කියවනව නම් මම ආදරයෙන් මතක් කරනව ඔයා සුයිසයිඩ් කිරීම ජස්ටිෆයි කරල කතා කරනෙකත් වැරැද්දක් බව . ඒත් එක්කම බොහොම ආදරයෙන් ඉල්ලනවා තමන් තමන්ට හරියි කියල හිතෙන හැමදේම අනුන්ට ඇප්ලයි කරන්න යන්නෝන නෑ . එ නිසා නෛතික හෝ සදාචාරාත්මක ගැටලු සහගත දෙයක් තමන් විසින් හරියි කියල හිතාගෙන ඉන්නව නම් ඒක අනික් අයට ඇප්ලයි කරන්න හෝ තව කෙනෙක් ඒක කරනකොට ජස්ටිෆයි කරන්න හෝ යන්නෙ පරිස්සමෙන් . මොකද ඒකෙන් නැතිවෙන්නෙ හෝ හානි වෙන්නෙ ඔයාට අයිති නැති ජීවිතයකට . 

මගෙ පුංචි මිත්‍රයා ඔයාට සුයිසයිඩල් තෝට්ස් එනව නම් ඔයා කරන්නෝන යාලුවන්ට ප්‍රශ්න කියල ෆන් ගන්න එකවත් , සෝෂල් මීඩියා වල හෑලි අප්ලෝඩ් කරන එකවත් , හදිසි තීරණ ගන්න එකවත් නෙවෙයි . ඉක්මනින් , ඉක්මනින් සහ ඉක්මනින්ම ඔයා වෘතීමය මනෝ උපදේශ්කවරයෙක් මුණ ගැසිය යුතුයි කියල මම යෝජනා කරනවා . 

” එන්න අපි කතා කරමු කියල ” , තමන් තනි නැති බවට සත්‍යාවබෝධය කරගන්න යන , ඩිප්‍රෙෂන් උත්කර්ෂයට නගන , ” උබේ තීරණය ඒක නම් , ගනින් මචං ” කියල සුයිසයිඩ් එකක් ජස්ටිෆයි කරන කෙනෙක්‍ට ඔයාගෙ ප්‍රශ්න හෙළිකරන එකෙන් වෙන්නෙ ඔයාව මහ විශාල ආගාධයකට ඇදගෙන වැටෙන එක විතරයි . අතිශය මානූෂීයයි , මානවවාදීයි කියල ලේබල් අලවගෙන ඉන්න එහෙම මිනිහෙක්ට වඩා ඔයාගෙ කනට ගහල හරි , බාර් එකකට ඇදගෙන ගිහිල්ලා හරි ඔයා කරන්න යන විනාශය වළක්වන මනුස්සයෙක්ටම විතරක් විවෘත වෙන්න . එහෙම මනුස්සයෙක් ඔයා අවට නැත්නම් මම කලින් කිව්වා වගේ කරන්න තියන සුදුසුම දේ තමයි professional Counsellor කෙනෙක්ව මුණගැහෙන එක . 

මේ වෘතීමය මනෝ උපදේසකයන් තෝරගනිද්දි පවා ගොඩක් සැළකිලිමත් වෙන්න . ඒ ඇයි කියනව නම් මෙ රටෙ හැමෝටම මාස තුනෙන් Counsellor කෙනෙක් වෙන්න පුළුවන් කෝස් ලංකාවෙ වැහිවැහැලා . ඉතින් I am a Counsellor කියල පට්ටම ගහගෙන ඉන්න හැම කෙනෙක්ටම අහුවෙන්න යන්නෙපා . ඒ උපදේසකවරයගෙන් කලින් treatments අරන් තියන අයගෙ අදහස් ගැන පවා සැළකිලිමත් වෙන්න . මොකද සමහර ඩබල් ඩිග්‍රි ගත්තු Counsellor ල ඉන්නවා මනුස්සයෙක්ට හරියට ට්‍රීට් කරන්න දන්නෙ නැති . තමන්ව හම්බවෙන්න ආව පුද්ගලයට මෙන්ටල් ඉල්නස් එකක් තියෙනව කියල හංවඩු ගහන . එ නිසා එඩියුකේෂන් කොලිෆිකේෂන්ස් වගේම සර්විස් එකෙ හොද නරක ගැනත් සැළකිලිමත් වෙලා ඔයා Counsellor ව සම්බන්ධ කරගන්නත් මතක තියාගන්න . 

එහෙනම් මගෙ ආදරණීය පුංචි මිත්‍රයා ටොක්සික් ෆෑන් බේස් එකක් ඉන්න බුකී Counsellors ලට අහු වෙලා ඔයාගෙ ජීවිතෙන් වන්දි ගෙවන්න යන්නෙ නැතුව , ඔයාගෙ ප්‍රශ්නයක් කතා කරල විසදුමක් හොයාගන්න පුළුවන් කෙනෙක් එක්ක කතා බහ කරන්න . ඒත් එක්කම මිත්‍රයා මම ආයෙත් මතක් කරනවා ඔයාට කලින් කිව්වා වගේ සුයිසයිඩල් තෝට්ස් එනව නම් ඉක්මනින් ඔයා වෘතීමය මනෝ උපදේශකවරයෙක් මුණ ගැසිය යුතුයි කියලා .

පවනි වාසනා

Your email address will not be published. Required fields are marked *