විරෝදෙ විරෝදේ පින් කිං ගේ විරෝදේ

විරෝදෙ විරෝදේ පින් කිං ගේ විරෝදේ

238 views
0

අයි ඇම් ඇෆ් ඩොලර් මල්ල ගැන සභාවේ කළ පාරට්ටු කතාව අවසානයේ  ගෙදර එන අතර පින් කිං මහතා ගේ ජංගමයා, අපේක්ෂා රෝහලේ ලෙඩුන් බෙහෙත් ඉල්ලන්නා සේ නොනැවතිල්ලේ හඬන්නට පටන්ගත්තේය.

”  අයිසේ කවුද බලනව!”

පින් කිං මහතා බොඩි ගාඩ් කොල්ලාට ජංගමයා දික්කළේය.

“සර් මේ මෛත්‍රී….!”

“පොළොන්නරුවෙ නම් මම මීටිමක කියනවා”

” සර්, මැඩම් සර්!”

පින් කිං මහත්තයා, ” හලෝ!” කී විට අනෙක් කොනෙන් කීවේ, බල්ලා පිස්සු කෙළින්නට පටන් අරන් බවය.

” වට්ස් ද රීසන්? මාරසිංහ කෙනෙක් ආව ගියා ද?”ඇසූ විට, “ඔයාම අහගන්න”,කියා නෝනා බල්ලාට දුරකතනය දුන්නා ය.

“මොකද බං මේ පිස්සු කෙළිනව කියන්නේ?”

” මොනවද මහත්තයා අපි වත් නො කරන වැඩ කරන්නේ? අල්ලපු ගෙදර ලැසීත් මට කෝචොක් කරනවා. මං…. උපවාසේ” බල්ලා කීවේ ය.

” ඒ මොනවට ද?”

” මහත්තය අයි ඇම් ඇෆ් එකට එකතු වෙලා මල් කැකුළු සෙට් එක හිරේ යවන්න හදන්නෙ? කන්න දීපු අත හපා කන්න හොඳද අපිටත් ලැජ්ජයි!”

”  හිරේ ඉන්න ඕන එකාලත් සභාවෙ ප්‍රධාන සංවිධායකයො කරපු මම එළියෙ ඉන්න උන් හිරේ යවන්නෙ මොකටද බං?”

” එතකොට ලෝකෙ හොඳම දූෂණ විරෝධී පනත ගේනව කීවෙ?”

” කීව තමයි මොකක්ද වැරැද්ද?”

පනත් ගේන්නෙ මල් කැකුළෙ සෙට් එක ඇතුළට දාන්න නෙමේ ද?”

” උන් ඇතුළට දාල කොහොමද බං ආණ්ඩුව ගෙනියන්නෙ? අනික එහෙම කළොත් අනුරගෙයි මගෙයි වෙනස මොකක්ද? උන් හිරේ දානව නම් මහින්දය පනතට හොඳයි කියයි ද?”

” මහින්ද කීවෙ, මයින ද? පොහොර ද?”

” දෙන්න ම බං, දෙන්න ම!”

” එතකොට දූෂණ විරෝධී පනත?”

” පනත දූෂණ විරෝධී වුණාට අපි දූෂණ විරෝධී නැහැ බං, උඔ තියෙන දෙයක් කාල  වෙන දෙයක් බලාන නිදාගනිං.”

” ඒ වුණත් ලොක්කා, ලෝකෙ හොඳම එක නේද ගේනව කිව්වේ?”

” ලෝකෙ නෙමෙයි තුන් ලෝකෙන් ම හොඳ එක ගෙනාවත් ක්‍රියාවෙ යොදවන්නෙ නැත්නම් උඹට ප්‍රශ්නයක් නැහැනෙ? දැං බලාපං තොරතුරු පනත, ඒ පනතෙන් ගන්න බැරි තොරතුරු විතරයි.”

” එක්සත් ජාතීන්ගේ ප්‍රමිතියට ගේනව කීව නේද? මට බයයි.”

” හරි බං, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය එකෙන් ම පිළිගන්න ගමන් මම වසන්ත මුදලිගේ ගෙ මානව හිමිකම් දින සීයකටත් වඩා ආරක්ෂා කරල දුන්න උඹට මතක නැද්ද? ව්‍යවස්ථාවේ තියෙන භාෂණයේ නිදහස ආරක්ෂා කරන්න, එක්ස්පයර් වෙච්ච ටියර් ගෑස් විතරක් නෙමේ අසූචි මිශ්‍ර නැවුම් ජලයත් පාවිච්චි කළා. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න විනිසුරෝ පාර්ලිමේන්තුවට ගෙනෙනවා, සර්ව ජන ඡන්ද බලය තහවුරු කරල මැතිවරණ කොමිසමේ  ස්වාධීනත්වය ආරක්ෂා  කරන්න පුංචි ඡන්දෙට වෙන් කළ සල්ලි කැපුවා.  රැස්වීමේ නිදහස ආරක්ෂා කරන්න දොළහකට වඩා එකතු වුණොත් අත්අඩංගුවට ගන්නවා. උද්ඝෝෂණ වල ආරක්ෂාවට යවන පොලිසිය හමුදාව දැකල අපි හොඳට ම කළා කියල අයි ඇම් ඇෆ් එක ණයකුත් දුන්න, උඹ ලැසී ට කියපං”

” දූෂණය නතර කරනව කියල ලොක්ක කලිනුත් සභාවට පොරොන්දු වුණා නේ?”

” පොරොන්දු වුණාට ප්‍රශ්නයක් නැහැ, ඉටු කළොත්නෙ ප්‍රශ්නෙ. මම උඹල වගේ කිව්වොත් කරන ජාතියේ මිනිහෙක් කියල හිතන්න එපා.1995 ඉඳන් විධායකය අහෝසි කරන්න ඕන කීව මම, පිනට ලැබුණු විධායකේ සාක්කුවේ දා ගත්ත. දහතුන දෙනව කීව, දුන්නෙ නැහැ.  වී සීයට ගන්නව කීවට ගත්තෙත් නැහැ.” පින් කිං මහත්තයා බල්ලාට පැහැදිලි කළේ ය.

” තේරුණේ දැන් තමයි.” බල්ලා කීවේ ය.

” ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා” කියමින් පින් කිං දුරකතනය විසන්ධි කළේ ය.

~ අනුර ~

Your email address will not be published. Required fields are marked *