කට්ටඩි සහ තක්කඩි

කට්ටඩි සහ තක්කඩි

186 views
0

කට්ටඩියකු විසින් රෝගී කාන්තාවකට ප්‍රතිකාර කිරීමේදී තැඹිලි ගෙඩි දොළහක් බීමට නියම කර ඇති අතර එම තැඹිලි ගෙඩි දොළහ පානය කිරීමෙන් අනතුරුව ඇය මිය ගියාය. මේ මීට දින කීපයකට පෙර අසන්නට ලැබුණු පුවතකි. මෙම පුවතට කැටයම් දමා ඔප කර රසකතාවක් ලෙස ගොතා රේටිං වැඩි කර ගැනීමේ දීන තරගය ද ඒ මරණයත් සමගම කරලියට එක විය. ඇතැම් මාධ්‍යය වලට මෙවැනි පුවත් රස මසුවලකි. එහෙත් මෙම කටටඩි තක්කඩි ස්වකීය ජාවාරම දිගටම කර ගෙන යන බව නොරහසකි. ධනවාදී පසුගාමී සමාජයක බොරුව සහ මිථ්‍යාව රජ වන බව ද එම මාපියාවේ උච්ච ඵලය මෙවැනි අවාසනාවන්ත සිදුවීම් බවද තහවුරු කර ගැනීම සදහා සුවිශේෂි නුවණක් අවැසි නොවේ.
රෝහලක සාත්තු සේවයේ යෙදී සිටි පුද්ගලයන් පවා සමහර අවස්තාවලදී දොස්තර වී රෝගීන්ට බෙහෙත් ලබා දීම සිදු කරයි. එනයින් බලන කල හොර දොස්තරලා හැම තැනම වැහි වැහැලාය. සමහර හොර දොස්තරලා බෙහෙත් දෙන්නේ තුවාල වලට පමණක් වේ. එසේම උණ සහ හෙම්බිරිසාවට පමණක් බෙහෙත් දෙන හොර දොස්තරලා ද ඇත. මේ අතරට අසවල් ලෙඩේ හොදකරන බව කියමින් අහිංසක ජනතාව මුලා කරන අමුතුම දොස්තරලා වන කට්ටඩියන් හෙවත් යකැදුරන් ද වේ. මෙම කට්ටඩියන් ගේ බෙහෙත් අමුතුම තාලයේ ඒවා වන අතර මෙම නරුමයන් බොහොමයක් ජීවිත බිලි ගෙන ඇත . එහෙත් ආශ්චර්යය නම් මෙම කට්ටඩියන් තවමත් තම ජාවාරම දිගටම කර ගෙන යාමය.
මෙම කට්ටඩියනට අමතරව විවිධ ආගමික විශවාසයන් පදනම් කර ගෙන අනේක විධි හාස්කම් කරන බව ජනතාව මුලාවට පත් කරන මූලධර්මවාදීන් ද ඇත . ගොලුවන් කතා කරවීම,කොරුන් ඇවිදවීම වැනි ආකර්ශනීය ප්‍රලාඵ හරහා අසරණ ජනතාව මුලා කරන මෙම නරුමයන් ද අහිංසක ජීවිත රාශියක් බිළිගෙන ඇත . මේ සියලුම කට්ටඩියන් ප්‍රමුඛ තක්කඩියන ගේ කටයුතු සදහා අනුග්‍රාහකත්වය දක්වන ඔවුන් ගේ ගෝලබාලයන් ද රටේ හැම තැනම ඇත .තක්කඩියන ගේ හාස්කම් ද ඔවුන් ගේ විශ්වකර්ම වැඩ ගැනද ප්‍රචාරක ව්‍යාපෘති පවත්වාගෙන යාමද මොවුන් ගේ එක් කාර්යයක් වේ. සමාජ මාධ්‍යය හරහා සිය ප්‍රචාරක ව්‍යාපෘති ඉතා සාර්ථක ලෙස ගෙන යාමට මොවුන් සමර්ථතාවය දක්වා ඇත .සමාජ මාධ්‍යය ඔස්සේ එන ඕනෑම කුණු ගොඩක් ඉතා සතුටින් භාර ගැනීම ට මෙරට ජනතාව සැදී පැහැදි සිටින බව නොරහසකි .සන්නිවේදනයේ දියුණුව පිළිබඳව පාරම්බාන සන්නිවේදනය පිළිබඳව මහා ආචාර්යවරුන් ට පවා මිථ්‍යාව මෙතරම් රජ වීමට හේතුව සොයා ගත නොහැකිය .එසේ සොයා ගැනීම ට ඕනෑකමක් ද නැත . පුදුමයට කරුණක් නම් මෙම ප්‍රවනතා පිළිබඳව අන්වේෂණය කිරීමට හෝ පර්යේෂණය කිරීම ට ද කිසිදු ප්‍රාඥයකු උත්සුක නොවීමය.

නූතන වෛද්‍ය විද්‍යාවට පවා ඇතැම් රෝග වල ට තවමත් හරියටම බෙහෙත් සොයා ගැනීම ට නොහැකි වී ඇත . එහෙත් වරින් වර එවැනි සුව කළ නොහැකි රෝග වල ට බෙහෙත් සොයා ගෙන ඇති මහා බලසම්පන්න විශ්වකර්ම ප්‍රාඥයන් ප්‍රාතුර්භූත වේ. එම බෙහෙත් පිළිබඳව ද ඉතා සිත ගන්නා සුළු ප්‍රචාරක ව්‍යාපෘති ද සමාජ මාධ්‍යය ,මුද්‍රිත මාධ්‍යය සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍යය හරහා ගෙන යාමට සන්තෝසම් හරහා මාධ්‍යය කරුවන් ද තමන් ගේ සාක්කුවේ දා ගැනීමට මෙම මහා ප්‍රාඥයන් අති දක්ෂය .පුදුමයට කරුණක් නම් මෙම ප්‍රාඥයන් ගේ අති විශිෂ්ඨ බෙහෙත් වලින් සුව පත් වූ පිරිස යැයි කියා ගන්නා අය එම අනගි ඔසුව පිළිබඳව ගුණ වැනීමය.එහෙත් සත්‍යය වූ කලී ඔවුන් කිසිවකු කිසිදු දිනෙක එවැනි රෝගයකට ලක් නොවුණු පුද්ගලයන් වීම ය.
සියල්ල මෙසේ සිදු වෙමින් පවතින අතරතුර අපේ ජනසමාජය නූතන දැනුමෙන් සන්නද්ධ අති විශිෂ්ට උත්කෘෂ්ට ජනසමාජය ක් බව කැට තබා පවසන නරුමයන් පිරිසක් මේ රටේ මහා සම්ප්‍රදායේ සහ චූල සම්ප්‍රදායේ මාධ්‍යය භාවිතා කරමින් චූන් වේ.මොවුන් ගේ චූන් වීම හරහා හුදී ජනතාව ද චූන් වේ.අප හැමදාමත් චූන් වී අවසන විනාශය කරා ඇදී යන අයවලුන් වේ.

එස් .එම්. ජයසූරිය

Your email address will not be published. Required fields are marked *