ගෝලීය බල අරගල ගිරය සහ ලංකාව

ගෝලීය බල අරගල ගිරය සහ ලංකාව

203 views
0

මීට සති දෙකකට පමණ පෙර ජපානයේ, හිරෝෂිමා හි පවත්වන ලද G 7 සමුළුව අවසානයේ දී ඉදිරිපත් කළ ඒකාබද්ධ ප්‍රකාශනය ඉතා වැදගත් ය. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් අත්සන් කළ එම ඒකාබද්ධ ප්‍රකාශනයෙන් කියවෙන හරය නම් ලෝකයේ සාමයට,ප්‍රජාතන්ත්‍රවාදයට සහ ගෝලීය ආර්ථිකය ට ඇති ප්‍රබල තර්ජනය චීනය බවයි. G7 සමුළුව අවසානයේ දී බ්‍රිතාන්‍ය අගමැති වෙනම පුවත් පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ චීනය ලෝක ආරක්ෂාව ට ප්‍රබල තර්ජනයක් බවයි. මේ සියල්ල ඉතා බරපතල ප්‍රකාශ වේ.

මේ අවස්ථාව වන විට යුක්‍රේන් යුද්ධය උච්ච සහ තීරණාත්මක සන්ධිස්ථානයක් කරා ලගා වී තිබේ.මෙය නියෝජිත යුද්ධයක් (Proxy war) බවට පරිවර්තනය වෙමින් පවතියි.නියෝජිත යුද්ධයක දී එක් පාර්ශවයක් කෙලින්ම යුද්ධය සදහා සහභාගි වන අතර අනෙක් පාර්ශ්වය එයට සහභාගි වන්නේ නියෝජිතයකු ලෙස ය.එම නිසා මෙය තවදුරටත් රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධයක් නොව රුසියාව සහ නේටෝව අතර යුද්ධය කි.මෙහිදී යුක්‍රේනය සදහා ආයුධ සැපයීම සිදු කරන්නේ නේටෝව නියෝජනය කරන ඇමෙරිකානු ප්‍රමුඛ බටහිර රටවල් බව නොරහසකි .

මේ අතර ඇමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය දින වල ජපානය සහ පිලිපීනය යන රටවල් සමග ද්විපාර්ශවීය සබඳතා වර්ධනය කර ගත්තේ ය.පිලිපීනයේ දැනට තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු වල ට අමතරව තවත් හමුදා කඳවුරක් ස්ථාපිත කිරීම ට පිලිපීනයේ ජනාධිපති මාකෝස එකග වී තිබේ. ඇමෙරිකාවේ ප්‍රකාශයට පත් කරන Foreign Policy නම් සඟරාවේ අලුත්ම කලාපයෙන් ඉදිරිපත් කර ඇති බරපතළ ප්‍රකාශනය නම් චීනය ලෝක සාමයට දිගුකාලීන තර්ජනයක් බවයි. චීනය මුල් පළමු පෙළ ආර්ථික බලවතකු වන බවට ලොව ආර්ථික විශේෂඥයන් මේ වන විට පුරෝකථනය කර ඇත.2040 හෝ එයට පෙර චීනය ඇමෙරිකාව අභිබවමින් ලෝකයේ ආර්ථික බලවතා වීම ස්ථිර බව ඔවුන් ගේ තක්සේරුවයි.

G 7 සංවිධානය ආරම්භ කළේ 1973 වසරේ ය. එඅම වකවානුවේ G 7 රටවල් වල තිබුණු ආර්ථික ශක්තිය මේ වන විට සියයට තිහක් දක්වා අවගමනය වී ඇත.මෙය ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වල ට කිසිසේත්ම දරාගත හැකි ප්‍රවනතාවයක් නොවේ.මේ අතර ඇමෙරිකානු ඩොලරය බලවත් තර්ජනයකට ලක් වී ඇත .

G 7 සංවිධානය ට විකල්ප බලවේගය ක් ලෙස ඉස්මතු වූ බ්‍රික්ස් සංවිධානය සමන්විත වන්නේ රුසියාව, චීනය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය යන රටවල් වලිනි. මෙම රටවල් මෑතකදී රැස් වී ගත් ඉතා වැදගත් තීරණයක් නම් ඇමෙරිකානු ඩොලරය ට විකල්පයක් ලෙස වෙනත් ජාත්‍යන්තර මුදල් ඒකකයක් භාවිතා කළ යුතුය යන තීරණය යි.මෙම තීරණය ප්‍රකාශයට පත් වීමත් සමග ලෝකයේ රටවල් 40 කට අධික සංඛ්‍යාවක් බ්‍රික්ස් සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සදහා අයදුම් කර ඇත.මෙම ප්‍රවනතාව හමුවේ අනාගත ලෝකයේ ඇමෙරිකානු ඩොලරය බරපතළ පසුබෑමකට ලක් වන බව නිසැකය . අනිත් අතට චීනය සහ තායිවානය අතර බරපතළ මතභේදාත්මක තත්ත්වය මේ වන විට තීව්‍ර වී තිබේ. එය දෙවන යුක්‍රේනය ක් බව ට පරිවර්තනය වීමට ද ඉඩ ඇත .

1991 දී සෝවියට් දේශය බිද වැටීමත් සමග පසු තනි සුපිරි බලවතා (Sole Super Power) බව ට පත් වූ ඇමෙරිකාව එක් අතකින් රුසියාව නැවත ප්‍රබල රාජ්‍යයක් බවට පත් වීම .චීනය සහ රුසියාව අතර ඇති වී තිබෙන දැඩි සබඳතා ,ඩොලරය පසුබැස්ම හරහා නිර්මාණය වෙමින් පවතින ආර්ථික අවගමනය යන සාධක හමුවේ ඉතා බරපතළ අර්බූදයක් වෙත තල්ලු කර ඇත .

මෙම වෙනස් වන ලෝක ප්‍රවනතා හමුවේ අප වැනි රටවල් ගත යුතු සාධනීය ක්‍රියාමාර්ග පිළිබඳව මේ වන විට කිසිදු වියත් කතිකාවක් නිර්මාණය වී නොමැත.මෙය බරපතළ ඌනතාවයක් වේ.
ගොලීයවම අනිෂ්ට ප්‍රතිවිපාක ළගාකල නිරවි යුද්ධයක් අවසානයේ තවත් නිරවි යුද්ධයක් (Cold War) නිර්මාණය වෙමින් පවතින බව ඉතා පැහැදිලි ය. අප වැනි රටවල් මෙහිදී ස්වකීය නොබැඳි විදේශ ප්‍රතිපත්තිය අකුරට පිළිපැදීමට වග බලා ගත යුතුය . අප ට මේ කිසිදු පාර්ශවයක පාර්ශවකරුවෙකු විය නොහැකි අතර මෙම වෙනස් වන ගෝලීය ප්‍රවනතා අවබෝධ කර ගනිමින් නැවතත් බරපතළ ආර්ථික අවගමනය ක කරා රට තල්ලු වීම වලක්වා ගැනීමේ වගකීම ආණ්ඩුව ට තිබේ.

එස් .එම්.ජයසූරිය

Your email address will not be published. Required fields are marked *