ණයට ක කා විකුණනවා, විකුණ විකුණ ණය වෙනවා පින් කිං

ණයට ක කා විකුණනවා, විකුණ විකුණ ණය වෙනවා පින් කිං

268 views
0

පින් කිං මහතා සමඟ, නමට ස්වාධීන නාලිකාවේ ප්‍රවෘත්ති නරඹමින් සිටි බල්ලා බඩ අල්ලා ගෙන සිනාසෙන්නට පටන්ගත්තේය.
” මොකෝ බං උඹට ජලභීතිකාව හැදිලද?”
නාලිකාව ඔස්සේ නළවමින් දෙන ආණ්ඩුවේ වර්ණනාවෙන් කුල්මත් ව දෙපා වනමින් සිටි පින් කිං ඇසුවේ, බල්ලාගේ හිනාවෙන් ආතල් කැඩුණු නිසාය.
“ජලභීතිකාව නෙමෙයි ලොක්කා මේ කියන කතා වලට විජලන භීතිකාවත් හැදෙනවා.” බල්ලා කීවේය.
මේ කියන මොහොතේ රූපවාහිනියෙන් විකාශය කරමින් තිබුණේ, මල් කැකුළු පක්ෂයේ මහ ලේනා ගේ ප්‍රකාශයකි.
” මොකක්ද දැං උඹට මෙතන හිනාවෙන්න තියෙන කාරණාව?”
” ගෝඨා ඍජු තීරණ ගත්තෙ නැහැ. තමුන්නැහේ බලයට ගෙනාවෙ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ය කියල මහ ලේනා කියද්දි හිනා නොවී වෙන මොනවා කරන්නද ලොක්කා?” බල්ලා ඇසුවේය.
” උං කියන කතා ගණන් ගන්න එපා බං, හෙට මාව එළවලා කැලණි හිඟන්නෙක් ජනාධිපති කළත්, රනිල් ඍජු තීරණ ගත්තෙ නැහැ, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කැලණි හිඟන්නෙක් ජනාධිපති කළා කියල ඔය මෑන් ම කියයි.” පින් කිං කීවේය.
” පීටීඒ එක වෙනුවට ඒටීඒ එකක් ගේන්න යන්නේ ත්‍රස්තවාදයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න නෙමේද?”
” පිස්සුද බං? අලුත් ත්‍රස්ත පනත ගෙනෙන්නේ මාමා කියපු වැඩේ කරන්න.” පින් කිං කීවේය.
” කවුද මාමා?”
” ශ්‍රීමත් අතිගරු යැංකි ඩිකී උතුමාණන් වහන්සේ මිස වෙන කවරෙක්ද? ඒ උත්තමයා කියපු දේ උඹට මතක නැද්ද?”
” මට රකින්න පරපුරක් නැත, ඔටුනු පලඳවන්න කුමාරයෙක් හෝ කුමාරිකාවක් නැත. ඒ කතාව ලොක්කට හරියට ම සෙට්.” බල්ලා කීවේය.
” මොකද බං මට රකින්න පරපුරක් නැත්තෙ? මයිනගෙ, කපුටගෙ පරම්පරාව රකින්නෙ උඹද?” පින් කිං ඇසුවේය.
” මොකක්ද එතකොට යැංකි ඩිකී ගෙ කතාව?”
” තමන්ගේ ආරක්ෂාව තමන් ම සලසා ගත යුතුයි.”
” නොට් අන්ඩස්ටූඩ්.” බල්ලා කීවේය.
” කොල්ලොයි, බල්ලොයි යුනියන්කාරයොයි පාරට බැහැල කෑ ගහන විදියට මගේ ආරක්ෂාව සපයන්න කමල් ට, ෂවේන්ද්‍ර ට නෙමේ ශක්‍රයා ටත් බැරි වෙන දවසක් එනවා. එදාට තමයි උඹටත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත් කෙටුම්පතේ වටිනාකම තේරෙන්නෙ.”
” ඒත් ලොක්කා, කොල්ලො කියන්නෙත් ඔයා 1998 කාලෙ කියපු කතාවමනෙ?” බල්ලා කීවේය.
” මම අනූ අටේ කීව කතාව මොකක්ද?”
” බල්ලන්ටත් ලැජ්ජා හිතෙන ප්‍රශ්න අහන්න එපා ලොක්කා. චෞර රැජිනගෙ කාලෙ එයාර් ලංකා, සිමෙන්ති සංස්ථාව, ෂෙල්, ටෙලිකොම්, එළිසබෙත් ජැටිය විකුණද්දි දිනේෂ් ලොක්කා මහ බැංකු හොරා කියල කෑගැහුවටත් වඩා සද්දෙට කෑගැහුව මතක නැද්ද? රාජ්‍ය දේපළ විකුණනවාට විරුද්ධව අලි පක්ෂෙන් දෝෂාභියෝගයකුත් ගෙනාව නේද?”
” ඒ විරුද්ධ වුණේ චෞර රැජින විකුණනවට. එයා වික්කම මට විකුණන්න ඉතිරි වෙන්නෙ මොනවද? අනික, එයාලා විකුණද්දි අපි විරුද්ධ වෙනවා, අපි විකුණද්දි එයාලා විරුද්ධ වෙනවා. දෙගොල්ලම මාරුවට රට විකුණනවා.”
” අලුත් ත්‍රස්ත පනත සම්මත වුණොත් ඊළඟ ආණ්ඩුවක් යටතෙ විකිණීමට විරුද්ධව පාරට බහින්න ලොක්කට බැරි වෙනවා නේද? පාරට බැස්ස ගමන් ත්‍රස්තවාදියෙක් කියල අත්අඩංගුවට අරන් ඩීඅයිජී කෙනෙකුට දාල රැඳවුම් නියෝගත් ගහයි.”
” උඔට මංඤංද එහෙම වෙන්නෙ නැහැ.” පින් කිං කීවේය.
” හේතු මොනවද?”
” හේතු දෙකයි! දැන් බලාපං, මහ බැංකු කොල්ලෙට, පාස්කු ප්‍රහාරෙට, හම්බන්තොට වික්කට මාව හිටුවපස් ගහනව කියපු එවුන් මම ජනාධිපති කරගෙන මට ප්‍රශස්ති ගායනා කරනවා. උඹට නොතේරෙන ඇත්ත ඒකයි. මගේ ආණ්ඩුවෙන් උන් ආරක්ෂා කරනවා, උන්ගෙ ආණ්ඩුවෙන් මා ආරක්ෂා කරනවා.”
” දෙවැනි හේතුව?” බල්ලා ඇසුවේය.
” තව කෙනෙකුට විකුණන්න දෙයක් මම ඉතුරු කරන්නේ නැහැ. යන්න කලින් පාර්ලිමේන්තුවත් සේල් එකට දානවා. පින් කිං කීවේය.
කේවට්ට.

Your email address will not be published. Required fields are marked *