පික්පොකට් – කාලීන ස්වයං රැකියාවක් විය?

පික්පොකට් – කාලීන ස්වයං රැකියාවක් විය?

114 views
0

මා සදාදර මිතුරු මිතුරියනි පොදු ප්‍රවාහනය කිව්වම ඔයාට මතක් වෙන්නේ මොකක්ද ? පොදු ප්‍රවාහනය නිරන්තරයෙන් භාවිත කරන්නෙක් විදියට මට මතක් වෙන්නේ රතුපාට ලංගම බස් එකයි , නිල් පාටයි සුදු පාටයි මිශ්‍ර වෙච්ච කෝච්චිය යි . මං හිතනවා ඔයාටත් ඔය වගේ මොනයම් හෝ පොදු ප්‍රවාහන සේවයක් ගැන එක පාරට චිත්තරූප මැවෙන්න ඇති කියල . මේ පොදු ප්‍රවාහනයත් එක්ක අපිට විවිධාකාරී  අත්දැකීම්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා . මොකද අපිට විෂමාකාර සමාජයක් තමයි බස් රථයක් ඇතුලෙ හරි දුම්රියක් තුළ හරි ගැටෙන්නෙ . බස් එකේ එහා සීට් එකේ එකේ ඉදන් යන මනුස්සයා අපි වගේම සිතුම්පැතුම් තියෙන අපි වගේම චිත්තාවේග තියෙන මනුස්සයෙක් වීමේ සම්භාවිතාවය ගොඩක් අඩුයි . දුම්රියේ වුණත් ඔයා දැක්ක පාපුවරුවේ එල්ලිලා ගියපු මනුස්සයාගේයි ඔයාගෙයි මානසිකත්වය චිත්තාවේගය එකිනෙකට වෙනස් . ඔහොම විෂම වෙච්ච මිනිස්සුන්ගෙන් ගහන වෙච්ච බස් එකක් ඇතුලේ දුම්රියක් ඇතුලේ නිතරම අහන්න හම්බවෙන අදෝනාවක් තමයි පික් පොකට් ගහනවා කියලා කියන්නෙ . 

පික්පොකට් ගහනවා කියලා කිව්වහම සමහර වෙලාවට මේ වෙද්දිත් ඔයාගේ ඔළුවට අතීතයෙ මුහුණ දීපු අත්දැකීමක් මතක් වෙලා තියෙන්නත් පුළුවන් . එහෙම නැත්තං ඔයා දැකපු යම් සිද්ධියක් මතක් වෙන්නත් පුළුවන් . සරලවම ගත්තොත් පොදු ප්‍රවාහනය යන සියල්ලන්ටම පොදු දෙයක් තමයි මේ පික්පොකට් වලට හසුවීම කියලා කියන්නේ . ඉතින් ඔයාටයි මටයි පුළුවන් මෙතන ඉඳන් අපේ අත්දැකීම් සුමිත්‍රයන් දෙන්නෙක් විදිහට බෙදාගන්න . 

පික් පොකට් ගහනවා කිව්වම සමහරුන්ට හිතෙනවා මේක මේ ලංකාවට විතරක් ආවේනික වෙච්ච දෙයක් කියලා . එහෙම නෑ මිත්‍රවරුනි පික්පොකට් ගහනවා කියන එක ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙ ඕනම රටක සිද්ධවෙන සහ සිද්ධ වෙන්න හැකියාවක් තියෙන දෙයක් . ඒකට හේතුව විදිහට අපිට දක්වන්න පුළුවන් සමහර වෙලාවට මනුස්සයෙක් තමන්ගෙ ජීවිකාව සරි කර ගන්න ඒ ක්‍රියාව කරනවා කියලා . හැබැයි එතනදී සාධාරණ ගැටලුවක් පැන නගිනවා පික් පොකට් ගහන එකෙන් සිද්ධවෙන්නේ තව මනුස්සයෙක් තමන්ගේ ජීවිකාව සරිකරගන්න මහන්සියෙන් උපයාගත් මුදල් පසුම්බිය කිසිදු වෙහෙසකින් තොරව තව කෙනෙක් ගැටකපන එක ගැන . තව කොටසක් ඉන්නව තමන්ගෙ පැෂන් එකට පික් පොකට් ගහනවා . තව කොටසක් ඉන්නවා ඒක තමන්ගෙ ප්‍රොෆෙෂන් එක කරගත්තු . තව කොට්ටාසයක් ඉන්නව කරන්න දෙයක් නැති තැන පික්පොකට් ගහන . ඔය මොනයම් හෝ හේතුවක් නිසා උනත් පික්පොකට් ගහනවා කියන්නෙ හොරකමක් . නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් . 

පික්පොකට් ගහන්න ලකලෑස්ති වෙලාම බස් එකට නගින උදවියත් ඉන්නවා හිටිගමන් ආතල් එකට පික්පොකට් ගහන උදවියත් ඉන්නවා . ඒ උදවියට බස් එකක් දුම්රියක් මිල දී ගන්න උනත් සල්ලි ඇති මේ වෙද්දි පික්පොකට් ගහලම . 

පික්පොකට්කරුවන් ගැන පොඩ්ඩක් අධ්‍යනය කරාම එකේක කැටගරි වල පික්පොකට් ගහන උන්දැලා ඉන්නවා . 

  • මේ එක වර්ගයක් . මෙයාලා නම් දැක්ක තැන අදුනගන්න පවා ලේසියි . බස් එකට නගින්නෙම හෑන්ඩ් බෑග් එක දිහා නැත්නම් කලිසම් සාක්කුව දිහා බලාගෙන . ෂොට්ටෙක දෙන්න බලාගෙනම නගින මෙයාලා ටිකෙන් ටික ළං වෙලා හැරෙන තැපෑලෙන් පර්ස් එකත් එක්ක මිසිං වෙන්න හරි හපන්නු . 
  • තව සෙට්ටෙකක් ඉන්නවා සීට් එකේ ඉදගෙන හිටන් ඉන්න අක්කලගෙ අයියලගෙ බෑග් උකුලට ගන්න . ඉන් පස්සෙ ඉතිං අයිතිකාරයා බෑග් එක දිහාම බලන් නොහිටින්න ගෙදර යනකොට පර්ස් එක සීට් එකෙ ඉදන් උන්නු තමන්ගෙ බෑග් එක පවා අතට අරන් මගී තදබදය මැද සහය වුණ සද් ගුණවත් උපාසක ගැටකපන්නා එක්ක වෙනම ගෙදරක ගිහින් තියෙන්නත් පුළුවන් . 
  • ටයිකෝට් දාගෙනත් , සාරි ඔසරි ඇදගෙනත් ගැටකපනවා කපනවාමයි . කවුරුහරි හිතනව නම් ටයිකෝට් එකක් දැම්ම පලියට එයා නම් වැදගත් මහත්තයෙක් ය , සාරියක් ඇන්ද පලියට එයා වැදගත් මහත්මියෙක් ය කියල , නෑ මිත්‍රවරුනි එහෙම උදවියත් ඉන්නවා ෂේප් එකේ පොකට් එකට විදගෙන යන . ඒක නිසා අඩුම තරමේ බස් එකක් දුම්රියක් ඇතුළෙදිවත් මිනිස්සුන්ව ඇඳුමෙන් මනින එක නවත්තන්න .
  • පික්පොකට් ගහල අයිඩෙන්ටි කාඩ් එකෙන් ඇඩ්‍රස් එක හොයන් පර්ස් එක ගෙදරට තැපැල් කරන ගැටකපන්නොත් ඉන්නවා මිත්‍රවරුනි . ඒ උදවිය නම් විවිධාකාරයි .කට්ටියක් ඉන්නවා සල්ලිත් සේරම අරන් ක්‍රෙඩිට් කාඩ් එකෙනුත් ඇති වෙන්න වියහියදම් කරල හිස් පර්ස් එකයි කාඩ් ටිකයි ගෙදරට තැපැල් කරන . 

එයාලගෙම තව කොටසක් ඉන්නවා සල්ලි නැති පර්ස් එකක් අහු උනාම ලියුමක් ලියල ” කෝ මනී ? නෝ මනී ! ” වගේ කිණ්ඩි ටෝක් එකකුත් එක්කම ගෙදර ට පර්ස් එක තැපැල් කරන . සමහර ගැටකපන්නො නම් සල්ලි කීයක් හරිත් එක්කම තමා පර්ස් එක තැපැල් කරන්නෙ . මොනා උනත් මම නම් කියන්නෙ ඉතිං බස් වල ට්‍රේන් වල කෝටිපතියො යන සම්භාවිතාව අඩුයි කියල පික්පොකට් ගහන අය උනත් හිතන්නෝන තව ටිකක් .

අනික් කට්ටිය තමා පර්ස් එක අරන් හාවක් හූවක් නැතිව තමන්ගෙ වැඩේ කරන් පාඩුවෙ ඉන්න . 

ඔය විදියට එකේක වර්ගෙ පික්පොකට්කරුවො එදිනෙදා ඔයාට මට බස් එකේ දුම්රියෙ හම්බෙන්න පුළුවන් . තමන් සතු වටිනා කියන දෑ ප්‍රවේසම් කරගන්න එක තම තමාගෙ යුතුකම බව කවුරු කවුරුත් මතක තියාගන්නෝන . 

පොදු ප්‍රවාහනේදි පික්පොකට් ගහන එක ගැන අපිට වඩා ලොකු අවබෝධයක් දැනුමක් රියදුරු මහත්වරුන්ට කොන්දොස්තර මහත්වරුන්ට තියන නිසාම අහඹු ලෙස මම ගිය බස් දෙකක රියදුරු මහත්මයෙක් සහ කොන්දොස්තර මහතෙක්ගෙන් අදහස් විමසීමක් කරා . මගේ ප්‍රශ්නය වුණේ මෙන්න මේක . 

‘ බස් එකක් තුළ පික්පොකට් ගහන එක සම්බන්ධව ඔබේ අදහස සහ එවන් අවස්ථාවක ඔබ ක්‍රියාකරන්නේ කොහොමද ? ‘

මේ තියෙන්නෙ මට ලැබුණ උත්තර .

” අපි බස් එකේ පික්පොකට් ගහනෙක ගැන දැනුවත් කරනවා . හයර් එකෙන් හයර් එකට ඒ ගැන දැනුවත් කරන්න බැරි නිසා නෝටිස් එකක් ගහල තියනව බස් එකේ . ඒක ගැන දැනුවත් වෙලා තමන්ගෙ පරිස්සම සලසගන්නෝන තමන් ඉතිං . 

පික්පොකට් ගහල අහු උනොත් හරි කාගෙහරි බඩු මුට්ටුවක් හොරකන් කරල හරි බස් එකේදි අහු උනොත් අපි පොලිසියට බාර දෙනවා . නැත්නම් අපි බස් එක පරික්ෂා කරන්න පොලිසිය ට ඉඩ දෙනවා . සමහරු ඉන්නව හොදට ඇද පැළදලා පවා පික්පොකට් ගහන්න එන . අපි ඉතිං බස්සෙකේ දුවලම පුරුද්දට අඳුනගත්තොත් බස්සනවා කලින්ම එහෙම අයව . ඒ ටික තමා ඉතිං අපිට කරන්න පුළුවන් . ඒ ඇරෙන්න බස් වල යන කාටත් කියන්න තියෙන්නෙ පරිස්සම් කරන්න ඕන දේවල් පරිස්සම් කරන් බස් වල යන්න කියල “

  • ශ්‍රීලංගම බස් රථ කොන්දොස්තර මහතෙක් –

” ඔවා ඉතිං එදිනෙදා අද සමාජෙ නිතරම වෙන සිද්ධි . මම හිතන්නෙ ඒ ගැන නොදන්න කෙනෙක් ඉන්න විදියක් නෑ . ඒ ගැන දැනුවත් වෙලා යන එක තමා හැමොම කරන්නෝන . පික්පොකට් ගහනෙක දැන් සාමාන්‍ය වෙලා . අපිට වගකීමක් ගන්න බෑ එ වෙලාවට ඉතිං පොකට් ගහන කෙනා අහු උනොත් පොලිසියට බාර දෙනවා ඇරෙන්න . 
අද සමාජෙ ගැන තේරුම් අරන් පාරක තොටක යනකොට උනත් යන්නෝන . ” 

  • පෞද්ගලික බස්‍ රථ රියදුරු මංජුල පිහිල්ලෙගෙදර –

මේ කරුණු කාරණා එක්ක ගත්තම තමන්ගේ පරිස්සම සලසාගන්න ඕන තමන් ම බව මගෙ දයාබරිත සුමිත්‍රයන්ට පැහැදිලි ඇති . බස් එකෙ උනත් දුම්රියක උනත් යනකොට ඔයා වටිනා කියන දෑ අරගෙන නම් යන්නෙ පරිස්සමෙන් යන එක කරන්න ඕන ඔයාමයි . එහෙම වගකීමක් අරගන්න බැරි නම් ඔයාට පුළුවන් පොදු ප්‍රවාහනය වෙනුවට පෞද්ගලික ප්‍රවාහන මාර්ගයක් තෝරගන්න එක තමා සුදුසුම .
ඔයාගෙ බෑග් එකක් , ලැප්ටොප් එකක් , පර්ස් එක්ක් පික්පොකට් ගහපු වෙලාවක නම් ඔයාට පුලුවන් බස් රථයෙ රියදුරුට දන්වලා ඒ ගැන පරීක්ෂා කරන්න . එහෙම පරීක්ෂා කරන්න බැරි අවස්ථාවක නම් පොලිසියට පැමිණිලි කරන්න . 

ඉතිං මගේ මිත්‍රයා මම ආයෙත් මතක් කරනවා ඔයාට පොදු ප්‍රවාහනයේ යනකොට පරිස්සමෙන් !

පවනි වාසනා

Your email address will not be published. Required fields are marked *