සේනක බිබිලේ, ඖෂධ මාපියාව සහ සන්තෝසම්

සේනක බිබිලේ, ඖෂධ මාපියාව සහ සන්තෝසම්

232 views
0

අපගේ වාසනාවට හෝ කරුමයට හෝ වරින්වර මේ රටේ යුගපුරුෂයෝ බිහිවෙති. එසේ බිහිවෙන ඒ මිනිස්සු අකල්හි, අභිරහස් ලෙස මිය යති. 1920 වසරේ බිබිල, බිබිලේ වලව්වේ උපන් සේනක බිබිලේ ඖෂධවේදය පිළිබඳව මෙරට ප්‍රථම මහාචාර්ය වරයා වන අතර 1977 දී ගයනාවේ දී මිය යන්නේ අභිරහස් ලෙසයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ප්‍රථම සභාපති වූ හෙතෙම මිය යන විට සමස්ත ලෝකයටම ඖෂධ ප්‍රතිපත්තියක් හදුන්වා දුන්නේය. ලෝක සෞඛ්‍ය සංවිධානය ඔහුගේ ඖෂධ ප්‍රතිපත්තිය ඉතා ඉහලින් පිළිගත් අතර ලෝකයේ බොහොමයක් රටවල් බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය රටේ ජාතික ප්‍රතිපත්තිය කර ගෙන තිබේ. රටකට අවශ්‍ය ඖෂධ වර්ග ඇත්තේ ඉතා සීමිත සංඛ්‍යාවක් බව විද්‍යත්මකව පෙන්වා දුන් බිබිලේ ඖෂධ වෙළෙඳ නාමයෙන් නොව විද්‍යත්මක නාමයෙන් හැඳින්විය යුතුය යන්න අවධාරණය කළේ ය. ඖෂධ ආනයනය කිරීමේදී මිල ගණන් කැඳවීම විද්‍යත්මක නාමයෙන් කළ යුතුය යන්න ඔහුගේ ඖෂධ ප්‍රතිපත්තියේ තවත් සාධනීය අංගයකි. එසේ හෙයින් ලෝකයේ බොහොමයක් අප්‍රිකානු, ආසියානු ,ලතින් ඇමෙරිකානු රටවල් මෙන්ම යුරෝපීය රටවල් ද සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරයි. එපමණක් නොව එම ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳව රටේ දරුවන් ට කියා දෙයි.

එය එසේ වුවද අපේ රටේ පාඨශාලීය පොතකවත් සේනක බිබිලේ කෙනෙක් ගැන සඳහනක් සදහනක්වත්
නැත . සේනක බිබිලේ පිළිබඳව අසා තිබේ ද යන්න විටෙක මා පාසල් සිසුවෙක් ගෙන් විමසූ විට ඔහු පෙරළා මගෙන් ඇසුවේ ඔහු නිළියක ගේ ස්වාමි පුරුෂයෙක් නේද යන්නයි.ඒ තරම් හොඳටම සේනක බිබිලේ ගැනැත් ඔහුගේ ඖෂධ ප්‍රතිපත්තිය ගැනැත් අපි සිසුන් දැනුවත් කර ඇත.
ඒ විතරක් නොවේ අපි අද වන විට සේනක බිබිලේ සහමුලින්ම අමතක කර දමා රෝහල් වල එල්ලා තිබුණු ඔහුගේ ඡායාරූප ද ගලවා විසිකර ඇත .ඔහුගේ ඖෂධ ප්‍රතිපත්තිය පසෙකලා ඖෂධ ජාවාරම්කරුවන් ගේ ප්‍රතිපත්ති වක්‍ර ලෙස නියෝජනය කිරීමක් පෙනෙන්නට තිබේ.ඒ සදහා දේශපාලකයින් ද ඇතැම් නිලධාරීන් ද ඇතැම් දොස්තර සංගම් ද අනුග්‍රාහකත්වය දක්වන් බව රහසක් නොවේ. පසුගිය සමයේ සියලුම ඖෂධ වර්ග වල මිල තුන් ගුණයකින් ඉහළ ගියේ ය.එහෙත් ඩොලරය ඉහළ ගියේ දෙගුණයක් පමණි.අද වන විට ඩොලරය කිසියම් මට්ටමක පහල බැසීමකට ලක් වී තිබුණු ද තුන් ගුණයකින් ඉහළ ගිය බෙහෙත් මිල එසේමය.රටක ආණ්ඩුවක් සිටින්නේ මේවා පාලනය කිරීමට ය..එහෙත් ඖෂධ ජාවාරම්කරුවන් සිය සූරා කෑම අඛණ්ඩව කර ගෙන යන බව තේරුම් ගැනීම ට මහ මොළයක් අවශ්‍ය නැත.මොළයක් තිබුණත් සන්තෝසම් වලින් සියල්ල සිර කර ඇත.

සේනක බිබිලේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වේ නම් සුදුසුකම් සහිත ඖෂධවේදීන් ගෙන් තොර පාමසි රට පුරා ඇරෙන්නේ නැත.ඖෂධවේදීන් ගෙන් තොරව මේ පාමසි ක්‍රියාත්මක වන්නේ කිසිදු බාධාවකින් තොරව නම් එතැන රහසක් ඇත.පාමසි නියාමනය කරන ඇතැම් ප්‍රාදේශීය බලධාරීන් ගේ වත්කම් බැරකම් පරීක්ෂා කළහොත් රහස හෙළිදරව් කර ගත හැකි ය.
සේනක බිබිලේ ගේ ඖෂධ ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව කියාත්මක කිරීමට අවශ්‍ය ශක්තිය සෞඛ්‍යය බලධාරීන්ට තිබේ ද යන්න අපි නොදනිමු.සේනක බිබිලේ අපේ කෙනෙක් නිසා ඔහුට හෝ ඔහුගේ ප්‍රතිපත්තියට ගෞරව කිරීමට මැලි කමක් දක්වන්නේද යන්න ප්‍රශ්නාර්ථයක් වේ.රටට අනවශ්‍ය ඖෂධ ගෙන්වීම සහ බෙදා හැරීම නියාමනය කිරීමට සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම බාධාවක් වන්නේ ද යන්නත් අපි නොදනිමු.මේ සියල්ල හුදී ජනතාවගේ ප්‍රශ්න ය.ඒවා ට පිළිතුරු සැපයීමේ වගගීමක් බලධාරීන්ට ට ඇත.තමන් සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ට පෞද්ගලිකව කැමති නැතිවා විය හැක.නමුත් රටේ පොදු ජනතාවගේ යහපතට එය කළ යුතුය .
එසේ නම් එය කලයුත්තේ සේ ද?පිළිතුර ඉතා සරලය.සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තු පනතක් මගින් නීතිගත කිරීමය.එය මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් ගනු ලබන ප්‍රගතිශීලී පියවරක් පමණක් නොව සේනක බිබිලේ ට කරනු ලබන ඉහළ ම උතතමාචාරය ද වේ.

එස්.එම්.ජයසූරිය

Your email address will not be published. Required fields are marked *