“ඇඳුම මිනිසුනට වටිනාකමක් දෙන්නේ නැත”

“ඇඳුම මිනිසුනට වටිනාකමක් දෙන්නේ නැත”

346 views
0

ඔයා ජෑම් බලපු කෙනෙක් නම් උඩ වචන ටික මේ වෙනකොටත් අහල ඇති . දැන් ඔයාලා අනිවාර්යෙන් හිතනවා ඇති මම මොකද මිනිස්සුයි ඇදුමයි ගැන කතාවක් පටන් අරන් තියෙන්නෙ කියලා . ඔව් ඔව් හිත වගේම අද කතා කරන්න යන්නේ වස්තරේ ගැන තමයි . ඔය වස්තරේ ගැන කතා කරනකොට ලංකාවේ එක එක  කාලවලදී එක එක විදිහට පැන නගින ගැටලුවක්නෙ ඇඳුම් පිළිබඳ වාද විවාද කියන්නේ . බාල මහලු තරුණ කොයි කාටත් වස්තරේ ගැන ප්‍රශ්න නම් කවදාවත් ඉවර වෙන දෙයක් නෙවෙයි . අමුඩෙ ඉදන් බ්‍රෑන්ඩඩ් සූට් වෙනකන් තියෙන ඇඳුම් මිනිස්සු එදිනෙදා අදින දේවල් . ඇත්තටම ඇඳුම් ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද කියන කාරනාව ගත්තොත් ඒක තමයි රටක් ඇතුළු මුල් බැහැගෙන තියෙන උපසංස්කෘතිය කියල කියන්නේ . 

ලාංකිකයා කියන්නේ සංස්කෘතික සදාචාර සභ්‍යත්වයෙන් පරිපූර්ණ අංග අංගසම්පූර්ණ ජාතියක් නිසා අඳින්න ඕනේ ඇග වැහෙන ඇදුම් ය  , ඔසරි , සාරි , ගවුම්, සරම් , කලිසම් ය කියලා විශ්වාස කරගෙන මතිමතාන්තර දරාගෙන ඉන්නවා . ඒ උක්ත ඇඳුම් වලත් ගැහැණු ළමයෙක් නම් දණිහෙන් පහළට දික් වෙන්නෝන අත් වැහෙන්නෝන ආදී නා නා ප්‍රකාර සීමා මායිම් පනවාගෙන ඉන්නවා . 

සංස්කෘතිය ගැන අණබෙර ගහුවට ඔය එකක්වත් ලංකාවට ආවේණික ඇඳුම් නෙවෙයි . සරලවම කිව්වොත් අපි අඳින්නේ අපේ නොවන අපේ ඇඳුම් . උඩරට මුල් ඇඳුම පවා නායක්කර් වංශිකයන් ගෙන් තමයි ලංකාවට සංක්‍රමණය වුණෙ. පහුගිය කාලෙක ගුරුවරුන්ගේ සාරිය පිළිබඳ ප්‍රශ්නයක් ආවා නේ , ඉතින් සාරිය කියන්නෙත් ලාංකීය අනන්‍යතාවය පෙන්නුම් කරන ඇඳුමක් නෙවෙයි . කවුරුහරි හිතනවනම් අපි ඔසරියක් සාරියක් ඇන්දම සංස්කෘතිකමය වශයෙන් පොහොසත් කියලා , ශිෂ්ට සම්පන්නයි කියලා ඒක ඇත්තටම මතභේදාත්මක කරුණක් . 

මේ ළඟදී දවසක ඔය වස්තරේ ගැන ප්‍රශ්නෙ ආයේ මතු වෙන්නේ මාස්ටර් පොටර්ගෙ ෂෝට හරහා . මාස්ටර් පොටර්ගෙ ෂෝට නිසා පිරිසකට රිදෙන්නත් තවත් පිරිසක් උප සංස්කෘතියට පහර ගහන්නත් පෙළඹිලා තිබ්බා . ඒත් එක්කම ඇඳුම ගැන යම්කිසි කතිකාවතක් සමාජය තුළ ඇති වෙලාත් තිබ්බා . ඒ නිසාමයි අද මේ කාරණාව මාතෘකාවක් කරගත්තේ ඔයාලත් එක්ක කතා කරන්න . 

ඇඳුමකින් මනුස්සයෙක් මනින්න පුලුවන්ද ? ඇතැම් කෙනෙකුට මේකට ඔව් කියන උත්තරය දෙන්නත් පුළුවන් තවත් කෙනෙකුට මේකට බැහැ කියන උත්තරය දෙන්නත් පුළුවන් . කොහොම වුණත් මේ දෙපැත්ත ගැනම අපි කතා කළ යුතුයි . මොකද ඇඳුමක් කියන්නේ ඇත්තටම මනුස්සයෙක් මනුස්සයෙක්ගේ පෞරුෂත්වයට බලපාන දෙයක් . හැබැයි ඒක සාරියද කලිසම ද කමිසය ද අමුඩයද කියලා තීරණය කරන්න ඕන ඒ ඇඳුම ඇගලා ගන්න පුද්ගලයා . කෙනෙක් හිතනවා නම් එකම ඇඳුම ඇන්දහම හරියට පාසලක නිල ඇඳුම වගේ , සමානාත්මතාවය සංවර්ධනය වෙලා රටේ සියලු දෙනාම එක සමාන වෙනවා කියලා ඒක ඇත්තටම මුග්ධ දෙයක් .

තමන් කැමති ඇඳුමක් කඩේකට ගිහිල්ලා මිලදී ගන්න තමන් කැමති ඇඳුමක් අඳින්න ඕනම කෙනෙක්ට අයිතියක් තියෙනවා. මනුස්සයෙක්ව අඳින ඇඳුමෙන් අපිට මනින්න පුළුවන් කමක් නැහැ ඇත්තටම . ඒ මනුස්සයාගේ ස්ටේටස් එක ගොඩනැඟෙන්නේ ඇඳුම් මත නෙවෙයි . ඒ පුද්ගලයාගේ අධ්‍යාපන සුදුසුකම් , ඇබිලිටීස් , ස්කිල්ස් , ජයග්‍රහණ වලින් තමයි ඕනම මනුස්සයෙක් ගොඩනැඟෙන්නේ. ඒ වෙලාවෙදි ඒ පුද්ගලයා අදින ඇඳුම ගැන ප්‍රශ්නයක් ඇති වෙන්නෙ සංස්කෘතික ජීවියාට විතරයි . 

එතකොට ඔය ඇඳුම ගැන ප්‍රශ්නයක් ඇතිවෙන්නේ කොහොමද කියන කාරනාව ගැන කතා කළොත් , මාස්ටර් පොටර් ෂෝට් එකක් ඇඳගෙන කොහේ ගියත් කාටවත් ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ .නමුත් ඔයා ෂෝට් එකක් ඇඳගෙන ඉන්ටව් එකකට ගියොත් ඔයාට ලැබෙන ප්‍රතිචාරය ගොඩක් වෙනස් වෙන්න පුළුවන් . උප සංස්කෘතියට ඔයා මහ විශාල පහරක් ගහනවා කියලා කෙනෙක් ඔයාට දෝෂාරෝපණ එල්ල කරන්නත් පුළුවන් .

එතනදි ඇත්තටම ගැටලුව ඇවිල්ලා තියෙන්නෙ , ඇඳුම මත නෙවෙයි පුද්ගලය ප්‍රතිරූපය එක මත කියලා ඔයාට වැටහෙනවා ඇති . නිතරම සෝෂල් මීඩියා වල වස්ති අනුෂ්ක කියන දෙයක් තමයි කොහේ ගියත් ෂෝට ඇදන් යනවයි කියන කතාව . මාස්ටර් පොටර් වත් අනුශ්කවත් ෂෝට ඇදන් ගියාට මේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඇති නොවුණට ඔයා ෂෝට ඇදගෙන යන එක තුළින් කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් . ගොඩනැගිච්ච මනුස්සයෙක් මොකක් ඇන්දත් ප්‍රශ්නයක් නොවුනට ගොඩනැගෙමින් ඉන්න මනුස්සයෙක් අඳින ඇඳුම ගොඩක් වෙලාවට හැමෝටම වගේ ප්‍රශ්නයක් වෙනවා , සමාජ ප්‍රතිරෝධයක් එල්ල වෙනවා. 

සරල කාරණාව තමයි ගොඩ නැගුණු මනුස්සයෙක් අපේ භාෂාවෙන් කිව්වොත් කැරැක්ටර් එකක් නිරුවතින් පාරෙ ගියත් සමාජ පිළිගැනීම දෙන උදවිය ඉන්නව.හැබැයි  ගොඩන්ගෙන කාලෙදි කවුරුහරි ඇඳුම ගැන හිතන්නෙ නැත්නම් ඒක විශල ප්‍රශ්නයක් වෙනවා . තමන් තමන්ව මෙෂර් කර නොගත්තට සමාජය විසින් ඔබ මෙසේ විය යුතුයි කියල මෙෂර් කරන්න ජජ් කරන්න පටන් ගන්නව . අන්න එතනදි තමන් අදින ඇඳුම ගැන සැළකිල්මත් වෙන එක තම තමන්ගේ නුවණ අනුව විමසා බලා තේරුම් ගන්න ඕන දෙයක් . 

ගොඩක් වෙලාවට අපිව නොදන්න පුද්ගලයා මුලින්ම මනින්නෙ අපෙ බාහිර ස්වරූපය මගින් . ඔයා රටක් දන්න ලෝකයක් දන්න පුද්ගලයෙක් නම් එහෙම වෙන්නෙ නෑ . හැබැයි ඔයා බිල්ඩප් වෙමින් ඉන්න සාමාන්‍ය මනුස්සයෙක් නම් ඔයාගෙ ඉස්සරහට හමුවෙන මනුස්සයා ඔයාගෙ කොණ්ඩ විලාසිතාව ඇඳුම පැළඳුම වගෙ බාහිර ස්වරූපයන්ගෙන් ඔයාව මෙෂර් කරගන්නෙක අතිශය සාමාන්‍ය දෙයක් . ඒ වෙලාවට ඔයාට බැහැ වලට බලපෑම් කරන්න ” මාව මගේ ඇඳුමෙන් මනින්න එපා ” කියලා .  

උප සංස්කෘතියක වහල්ලු බවට පත්වෙලා එක දිගට තමන් අකමැති ඇඳුමක් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන එකත් , පට්ට ඕපන් මයින්ඩඩ් මනුස්සයෙක් වෙලා බිකිනිය ඇඳන් පාරේ ගියත් ප්‍රශ්නයක් නැහැ කියලා හිතනවනම් ඒ දෙකම එකම ප්‍රස්තුතයක් ඔස්සේ ගොඩනැඟුණු  අන්තවාද දෙකක්. නිතරම ඔයා ඇඳුමක් අදින්න වෙලාවට කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා ඔබ මෙසේ අන් අයට පෙනේ යැයි කියල හිතන්න . තමන්ට ගැලපෙන ඇඳුම් ගැලපෙන විදිහට තෝර ගන්න එක තමන්ගේ වගකීමක් . 

ඇඳුම් මත පදනම් වෙලා මිනිස්සුන්ව අතිශය දරුණු විදිහට විදියට විවේචනය කරනවා නම් , විනිශ්චය කරනවා නම් ඒක ඇත්තටම යහපත් දෙයක් නෙමෙයි . නවීන පන්නයේ විලාසිතාවක් උත්සාහ කරන කෙනෙක් දිහා සමාජය බලන්නේ සමහර වෙලාවට ගොඩක් පහත් විදියට . යම් කෙනෙක් තවත් කෙනෙකව ඇඳුම මත පදනම් වෙලා අන්තවාදී විදිහට අතිශය දරුණු විදිහට යම් කිසි  විවේචනයන් එල්ල කරනවා නම් ඒ කෙනා පෞරුෂය ආබාධයකින් හෝ හීන මානයකින් පෙළෙන කෙනෙක් විදියට හදුන්වන එක වඩා නිවැරදියි .

ඇඳුමක් දිහා බලලා කෙනෙක්ව ජජ් කරන එක වැරදියි කියන්නේ , ඕන තැනකට ඕන ඇඳුමක් ගැලපෙනවා කියන එක නෙවෙයි . අපි පාසලට ඇඳපු ඇඳුම යි, රෑට නිදාගන්නකොට අඳින ඇඳුමයි , වෙඩිං එකට අඳින ඇඳුමයි සාපේක්ෂව එකිනෙකට වෙනස් නේ . ඉන්දියානු කතාමාලා වල වගේ සාරි ඇදගෙන වේෂ්ටි ඇදගෙන නිදාගන්න උදවිය ලංකාවේ ඉන්නවාය කියලා මං හිතන්නේ නැහැ . අන්න එතනදී අපි අවස්ථානුකූලව අපේ ඇඳුම මොකක් විය යුතුද කියලා තීරණය කරලා ඉවරයි .  

ඇඳුම කියන්නේ කෙනෙක්ට තමන්ගේ තමන්ගේ ස්ටේටස් පෙන්නන තියෙන තවත් විදියක් වෙන්න පුළුවන් . ඇඳුම් අඳින එක තමන්ගේ පැෂන් එක කරගත්තු උදවිය පවා ඉන්නවානෙ . ඒ කොහොම වුණත් ඇඳුමක් අදින මනුස්සයාව ජජ් නොකර ඉන්න එක වගෙම තැනට ගැළපෙන සුදුසු ඇදුමක් අදින එකත් කරන්න ඕන දෙයක් . එහෙම කරහම වස්තරය ගැන ප්‍රශ්න ඇති වෙන එක ගොඩක් දුරට අඩුයි . 

උප සංස්කෘතියට ආවඩන පිරිසට මං ආයෙත් මතක් කරන්න කැමතියි , 

“මිනිසුන් අදින ඇඳුමට වටිනාකමක් දිය යුතු මිස”

පවනි වාසනා 

Your email address will not be published. Required fields are marked *