කාන්තා ශක්තිය මාර් තු අටෙන් ඔබ්බට

කාන්තා ශක්තිය මාර් තු අටෙන් ඔබ්බට

232 views
0

කාන්තා දිනය සැමරීම වෙනුවෙන් ගුවන් නියමුවන් ඇතුළු සියලු ගුවන් කාර්යමණ්ඩලය  කතුනගෙන් සමන්විත  ගුවන් යානයක් කටුනායක ගුවන් තොටෙන් ට්‍රිඩ් බලා පියාසර කරවූ බව පුවත් පතක සඳහන් විය.

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව වුයේ “ස්ත්‍රි පුරුෂ සමානාත්මතාව සඳහා නවෝත්පාදන සහ තාක්ෂණය” වුව, මෙරට කාන්තා ළමා හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය කාන්තා දින තේමා පාඨය වශයෙන් ගෙන තිබුණේ, ” ඇය දැයේ අභිමානයයි.” යන්නය. මෙරට බලධාරින් එ වැනි තේමාවක් කාන්තා දිනයට තෝරා ගන්නට අදහස් කළේ, ස්ත්‍රි පුරුෂ සමානාත්මතාව, නවෝත්පාදන, තාක්ෂණය වැනි දේ ලාංකේය කාන්තාවට අදාළ නොවේ යැයි සිතන නිසාදැයි නිශ්චිතව කිය නොහැකිය. එහෙත්, මේ රට තුළ කාන්තාවගේ අභිමානය සත්‍ය ලෙස ම ආරක්ෂා වී තිබේ ද යන්න විමසා බැලීමට සහ මෙරට කාන්තාවන්  තමන් සතු ශක්තිය සැබෑ ලෙස අවබෝධ කර ගෙන සිටී ද යන්න විමසා බැලීමට මේ කදිම අවස්ථාවකි.

මෙරට ජනගහනයෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයක් එනම් 52.09% ක් කාන්තාවෝ වෙති. ශ්‍රී ලංකාව අත්සන් කර ඇති කාන්තාවන්ට එරෙහි සියලු වෙනස්කම් දුරු කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය මගින් කාන්තාවන්ගේ සමාන දේශපාලන සහභාගිත්වය හා නියෝජනය තහවුරු කර ඇති නමුත් මෙරට පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය 5.8% පමණක් බව මැතිවරණ කොමිසමේ දත්ත අනුව පැවසේ. මෙරට ඡන්ද දායකයන් ගෙන් 56ක් කාන්තාවන් ගෙන් නියෝජනය වන නමුත් 1989න් පසු කිසිම අවස්ථාවක පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 13 ඉක්මවා නැත. පාර්ලිමේන්තුවේ අතිශය කුඩා කාන්තා නියෝජනය පවා සමන්විත ව ඇත්තේ සමානාත්මතා පදනම අනුව නොව පවුල් දේශපාලන පදනම මත ය. විශේෂයෙන් ම පවතින දේශපාලනය තුළ කතුනට දේශපාලනයේ යෙදෙන්නට සුදුසු තත්ත්වයක් නැත. පාර්ලිමේන්තු මන්ත්‍රිවරියනට පවා පාර්ලිමේන්තුව තුළම වාචික  හිංසනයට ලක් වන්ට  සිදු වන අවස්ථා නිතර දක්නට ලැබේ. මෑත දිනෙක එක්තරා අමාත්‍යවරයෙක් මන්ත්‍රීවරියකට කතා කළ ආකාරය පාර්ලිමේන්තුව තුළ පවා කාන්තා අයිතිවාසිකම් සහ කාන්තාවගේ ගෞරවය ආරක්ෂා කරන ආකාරය අවබෝධ කර ගන්නට ප්‍රමාණවත් ය.

පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජන කෝටාවක් නීතිගතකර තිබුණ ද එමගින් පවා ගුණාත්මක කාන්තා නියෝජනයක් පළාත් පාලන ආයතන තුළ ඇති කරන්නට හැකි වී ඇති බවක් පෙනෙන්නට නැත. එසේම, පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ සඳහා අනිවාර්ය කාන්තා නියෝජනය සම්බන්ධ නියමයක් නො තිබීම ද ගැටලුවකි.

 මෙරට දේශපාලන පක්ෂවල නායකත්ව සංයුතිය ද පුරුෂ මූලිකය. මෙරට නීතිය අනුව ස්ත්‍රියට පුරුෂයන් හා සමාන අවස්ථා සහ අයිතීන් ඇති බව සඳහන් වුවද දේශපාලන පක්ෂ තුළ පවා කාන්තාවන් දෙවන පෙළ පුරවැසියන් පමණි. ක්‍රියාකාරී දේශපාලනයට කාන්තාවන් යොමු වීමේ අඩුව මේ තත්ත්වයට හේතු වී  ඇති සේම කාන්තාවන් දේශපාලනයට යොමු නො වීමට බලපාන සමාජ, සංස්කෘතික, ආගමික හේතු පමණක් නොව දේශපාලන කරුණු ද පවතී.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන ආකාරයට මෙරට ශ්‍රම බලකායේ කාන්තාවන්ගේ පංගුව 36කි. රටේ ආර්ථිකයට ඩොලර් උත්පාදනය කරන ප්‍රධාන බලවේග දෙක වන විදෙස් ගත ශ්‍රමිකයන් සහ ඇඟලුම් කර්මාන්ත ශ්‍රමිකයන් බහුතරය සමන්විත වන්නේ කාන්තාවන් ගෙනි. මෙරට වතු ආර්ථිකයේ හෙවත් වැවිලි කර්මාන්තයේ ප්‍රධාන භූමිකාවක් උසුලනු ලබන්නී ද කාන්තාවය. ගෘහස්ථ හිංසනය සහ ප්‍රචණ්ඩත්වය හේතුවෙන්  කතුන් අතරින් 74දෙනකු 2022 වසරේ මරණයට පත්ව තිබේ.

ලෝක බැංකු දත්ත අනුව 2022 වසරේ මෙරට ශ්‍රම බලකායෙන් මිලියන බාගයකට රැකියා අහිමි වී ඇත. ඒ පිරිසෙන් අඩක් කාන්තාවන් ය. ක්ෂුද්‍ර ණය උගුලේ හසුව සිටින මෙරට ජන සංඛ්‍යාව ලක්ෂ විසි නමයක් බවත් ඉන් අඩක් පමණ කතුන් බවත් කියැවේ. සාගින්නෙන් මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් සහිත මවුවරුන්, යුද්ධයෙන් දරුවන් අහිමි වු මවුවරුන්, යුද වැන්දඹුවන්, යුද්ධය හේතුවෙන් අඩු වයසින් විවාහ වන්නට බල කෙරුණු දැරියන්, ළමා මවුවරුන් ආදි වශයෙන් මෙරට කතුන් ගැන ඍණාත්මක අදහස් දහස් ගණනක් ලියන්නට හැකියාව තිබේ.

සියලු ඍණාත්මක දේ අතර අමතක වන මෙරට කතුන් ගැන ධනාත්මක කරුණු ද රැසකි. මෙරට කාන්තාවන් ගේ සාක්ෂරතාව කලාපයේ අන් රටවලට වඩා ඉහළය. කතුන්ගේ සරසවි පිවිසුම් මට්ටම ඉහළය. සැමියා ගේ මරණය නිසා බිහි වූ ලොව පළමු අගමැතිනිය අමතක කර අපට මාලනී ෆොන්සේකා, අනෝජා වීරසිංහ ඇතුළු කලාවෙන් ලොව දිනූ කතුන් ගැන කතා කරන්නට පුළුවන. එවරස්ට් තරණය කළ ජයන්ති කුරුඋතුම්පොළ, ලොව වඩාත් ම බලපෑම් සහගත කතුන් අතරට එක්වූ ආශ්චර්යා පීරිස්, ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ ද ශ්‍රී ලංකාවේ කාන්තා පරපුරේ පුරුක් ය. මෙතෙක් මෙරට කතුන් තමන් ගේ ඒ සැබෑ ශක්තිය හඳුනා ගෙන දේශපාලන සමාජ ආර්ථික ක්‍රම වෙනසක් සඳහා එම ශක්තිය යොදවන්නට පෙරමුණ නො ගත් නමුත් දැන් දැන් මෙරට කතුන් ගල් ලෙන බිඳ තමන්ගේත් අන් ජනතාවගේත් අභිවෘද්ධිය උදෙසා පෙරමුණට පැමිණෙන බව පෙනෙන්නට තිබේ. ගෝල්ෆේස් අරගලය, බදු බර ජීවන වියදමට විරුද්ධ අරගල අතර පිරිමින් සමඟ උරෙනුර ගැටෙමින් විරෝධතා පාන කතුන් පෙන්නුම් කරන්නේ ඔවුන් තමන්ගේ ශක්තිය සහ සමාජ වගකීම තේරුම් ගෙන ඇති බවය. ක්‍රම වෙනසක් සඳහා නිවැරැදි ඉලක්කයකට ඔවුන්  තමන් සතු ශක්තිය වගකීමෙන් සහ බුද්ධිමත්ව මුදා හරින්නේ නම් ඊළඟ මාර්තු අට අද තරමට කළුවර නො වනවාට සැකයක් නැත.

චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

Your email address will not be published. Required fields are marked *