පසුගාමී විපක්ෂයේ දෘෂ්ටි ඌනතාව සහ පාරිහානික සමාජය

පසුගාමී විපක්ෂයේ දෘෂ්ටි ඌනතාව සහ පාරිහානික සමාජය

238 views
0

කවුරු කෙසේ තර්ක කළද මෙරට බහුතර ජනතාව ගේ දේශපාලන අවබෝධය ඉතා අවම මට්ටමක පවති.කලින් කලට හමන දේශපාලන සුළි ධාරා වලට හමුවන ඔවුන් ඉබාගාතයේ ගසා ගෙන ගොස් කොහේ හෝ ඇද වැටේ.
මෙම දේශපාලන සුළි ධාරා වලින් චූන් වන විරුද්ධ පක්ෂ වල නායකයින් ද තමන් ඉතා ඉක්මනින් බලය ලබා ගන්නා බවට වහසි බස් දොඩවමින් වේදිකා දෙවනත් කරනු පෙනේ. මුහුණු පොතෙන් අදිසියේ මතු වන අනාගත වක්තෘවරුන්ද සිය යූ ටියුබ් චැනල් වලින් අසවල් දියසෙන් කුමරු අසවල් දිනයේ රජ වන බවට කැට තබා පවසයි. අවසන රජ වූ දියසෙන් කුමරෙක් ද නැත.රටට අත් වූ සුගතියක් ද නැත .
මේ රටේ මෙම මොහොතේ දේශපාලන යථාර්ථය එයයි. මේ රටේ විරුද්ධ පක්ෂ තම භූමිකාව නිසි ආකාරයෙන් ඉටු කිරීමට අසමත් වී ඇති බව ප්‍රත්‍යක්ෂ ය. ඒ පිළිබඳව අන්වේෂණය කිරීමට ගත් මෙම ප්‍රයත්නය දෙස සියල්ලන්ගේම අවධානය යොමු විය යුතුය . ප්‍රධාන කරුණ නම් දැනට මේ රටේ නිල විපක්ෂයක් තිබේ ද යන්න ය. මේ රටේ දැනට විපක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන්නේ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ය. අනික් පසින් පොහොට්ටුව ද විකල්ප බලවේගය ලෙස ජාතික ජනබලවේගය ද සිටියි. මෙම සියලු කණ්ඩායම් හැරුණු විට එක් පසෙකින් විමල් වීරවංශ ගේ කණ්ඩායම ද අනිත් පසින් ඩලස් අලහප්පෙරුම ගේ කණ්ඩායම ද ඇත . පලාත් පාලන මැතිවරණය පිළිබඳ මැතිවරණ කොමිසම නිවේදනය කිරීමත් සමගම ජාතික ජනබලවේගය ඉතා සීඝ්‍රයෙන් සිය ජනප්‍රියත්වය තීව්‍ර කර ගත් අතර මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂය බවට පරිවර්තනය වෙමින් තිබුණි .
මෙම අතිශය ජනප්‍රියත්වය නිසා කුල්මත් වූ ජාතික ජනබලවේගය අද වන විට වල්මත් වී ඇත . ඔවුන් ඉතිහාසයේ සෑම තීරණාත්මක අවස්ථාවකම අධිතක්සේරුව සහ නොමේරු දේශපාලන තීරණ නිසා බලයට පත් වීම ඔවුන් විසින් ම වලක්වා ගෙන ඇත . ජාතික ජනබලවේගයේ රැල්ල අදිසි හස්තකින් ආපසු හරවා යවා ඇත . ඒ අදිසි හස්තය නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තීරණය පිළිබඳව මුල සිටම ජාතික ජනබලවේගය සිටියේ අවතක්සේරුවක ය. මෙම ණය මුදල අනුමත නොවන බවට හතර අත දිවුරා වේදිකා දෙවනත් කළ ජාතික ජනබලවේගය සුපුරුදු පරිදි සිය දේශපාලන නොමේරු බව ප්‍රකට කළේ ය. සජිත් ප්‍රේමදාස ගේ සමගි ජනබලවේගය මෙම ණය මුදල අනුමත කිරීමත් සමගම ඉතා බරපතළ ඛාදනයට ලක් වී ඇත . එහි මන්ත්‍රීවරුන් බහුතරයක් ආණ්ඩුව ට එක් වීමේ සූදානමක් ඇත . විමල් වීරවංශ ගේ කණ්ඩායම ද ඩලස් අලහප්පෙරුම ගේ කණ්ඩායම ද විසිරී යාමේ ප්‍රවනතාවයක් ඇත . මේ අතර පොහොට්ටුව සුපුරුදු පරිදි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ට සහය පළ කරමින් සිටියි. මේ සියල්ල මෙම මහ පොළොවේ යථාර්ථය යි.
ආණ්ඩුවේ උපක්‍රමික සැලසුම් සියල්ල ඉතා සාර්ථක ලෙස ඉදිරියට ගමන් කරයි. ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසුමේදී ද විපක්ෂය මෙම දේශපාලන ඌන දෘෂ්ටිය මැනවින් ප්‍රදර්ශනය කළ අතර අවසානයේ දී රනිල් වික්‍රමසිංහ මහතා එම ඡන්ද විමසුමේන් ජයග්‍රහණය කළේ ය..
.
ආණ්ඩුවේ නව ලිබරල් ප්‍රතිපත්ති කිසිදු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යන අතර මේ වන විට රාජ්‍ය ව්‍යවසායන් බහුතරයක් සදහා පෞද්ගලික අංශයේ දොර විවෘත කර ඇත . මෙයට ප්‍රතිවිරුද්ධ සිටින වෘත්තීය සමිති වල ප්‍රතිවිරෝධතාවයන් මේ වන විට නිෂේධණය වී ඇති බව යථාර්ථය යි. ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ක්‍රියාධරයන් විස්සක ට අධික සංඛ්‍යාවක් මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇත . මේ සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂ ගත් සාධනීය ක්‍රියාමාර්ගය කුමක් ද? මෙරට විපක්ෂය ට ඇති බරපතළ ඌනතාව නම් නිවරැදි වැඩපිළිවෙළක් ,අරමුණක් සහ උපක්‍රමික සැලසුම් නොමැති බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂ වල ස්ථාවරය පැහැදිලි නැත .මෙම නොපැහැදිලිබව ඔවුන් ගේ දේශපාලන ඉදිරි ගමන ට බලවත් බාධාවක් වී තිබේ . මූල්‍ය අරමුදලේ යෝජනා නොපිළිගත ගත හැකි නම් විපක්ෂය ට ඒ සදහා විකල්ප වැඩපිළිවෙළක් හෝ යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීමට හැකි විය යුතුය . සැබැවින් ජනතාව ඒ දෙස බලා සිටි අතර විපක්ෂයේ ඇතැම් යෝජනා ඇන්ඩර්සන් හාන්ස් ක්‍රිස්ටි ගේ සුරංගනා කතා වලට සර්ව සම විය.

මෙම ආර්ථික අර්බූදය හමුවේ ජනතාව ට දැන් අවශ්‍ය වී ඇත්තේ ඔවුන් ගේ ආර්ථික ද්‍රරිද්‍රතාවයෙන් ගොඩ ඒමය. ලිබරල් ප්‍රතිපත්ති, පෞද්ගලිකකරණය, මූලික අයිතිවාසිකම්, වෘත්තීය සමිති අයිතිවාසිකම් යන මේ සියල්ල මෙම අවස්ථාවේ මේ රටේ පොදු ජනතාවට ද්විතීයික කරුණු වේ. එහෙත් මෙම කරුණු වටහාගත හැකි මානසික මට්ටමක් මෙරට විපක්ෂයට නැත . අවම වශයෙන් දැනට විපක්ෂය නියෝජනය කරන මංත්‍රීවරුන් ගේ සංඛ්‍යාව පිළිබඳවත් විපක්ෂය සබුද්ධික නැත . එවන් විපක්ෂයකින් රටේ ජනතාව ට අයත් වන සුගතියක් ද නැත .

එස් .එම්.ජයසූරිය

Your email address will not be published. Required fields are marked *