ආර්ථික හා දේශපාලන ඝාතක රටක මරණමංචකයෙදී දුටු සිහිනය

ආර්ථික හා දේශපාලන ඝාතක රටක මරණමංචකයෙදී දුටු සිහිනය

212 views
0

ඊයේ රෑ මම අපූර්ව එහෙත් බියජනක සිහිනයක් දුටුවෙමි. මැදියම් රැය පසුවෙනවාත්  සමගම කාල වර්ණ යක්ෂයෙක් මා ඉදිරියේ  ප්‍රාතුර්භූත විය .ඔහු මගේ ගෙල මිරිකමින් මෙසේ ප්‍රකාශ කළේය .

“මම තමන් ට වරම් දෙකක් දෙනවා . තමන් ට ඕන නම් ලංකාව ,සිංගප්පූරුවක් කරන්න පුලුවන් .එහෙම නැත්නම් සිංගප්පූරුව, ලංකාවක් කරන්න පුලුවන්. හැබැයි මේ දෙකෙන් එකක් විතරයි තෝරා ගන්න ඕන.මොකක් ද තමා තෝරා ගන්නේ?වහාම උත්තර දෙනවා .”යක්ෂයා මගේ ගෙල තව දුරටත් සිර කරම්න් ගර්ජනා කළේය .

“සිංගප්පූරුව ලංකාවක් කරනවා “මගේ කටට ආ උත්තරය එලියට දැම්මෙමි.එම පිළිතුරෙන් බලවත් කෝපය ට පත් වූ යක්ෂයා මගේ හිස කීප වතාවක් ඇදවිට්ටමේ ඇන ක්ෂණිකව අතුරුදන් විය .

මේ රටේ බහුතරයක් ජනයා මාද ඇතුළුව ලංකාව සිංගප්පූරුවක් කිරීමට උත්සාහයක් නොගන්නා අතර එසේ කිරීමට මැලි කමක්ද දක්වයි. ඒ නිසා යක්ෂයා ගේ කෝපය සාධාරණ ය. නූතන සිංගප්පූරුවේ නිර්මාතෘවරයා වන ලී ක්වාන් යු සිගප්පූරුවේ සුක්කානම අතට ගත් වහාම කළේ රටේ දූෂණය සහ නාස්තිය සහමුලින්ම අතුගා දැමීමය. දූෂණය ට සම්බන්ධ නිලධාරීයකු හෝ වේවා රජයේ ඇමතිවරයකු හෝ වේවා දූෂණ චෝදනාවකට වරදකරු වූවා නම් නීතියෙන් ලබා දිය හැකි උපරිම දඩුවම් ලබා දීමට කැප වූ  ලී ක්වාන් යු ඉතා කෙටි කලකින් සිංගප්පූරුව දූෂිත නොවු රටක් බවට පත් කර විදේශ ආයෝජකයන් ගේ සිත් දිනා ගැනීමට සමත් විය. සිංගප්පූරුවේ සීඝ්‍ර ආර්ථික වර්ධනයේ රහස එයයි.එය එසේ වුවත් ආසියානු කලාපීය රටවල් අතරින් දූෂිත රටවල් වලින් එක් රටක් බවට පත් වීමේ වාසනාව අපට ලැබී ඇත.

රටක යහ පැවැත්ම , මූල්‍ය විනය, ජීවත් වීමට යෝග්‍යතාව වැනි කරුණු පිළිඹිබු වන්නේ එම රට සම්බන්ධව ඉදිරිපත් කර ඇති ජාත්‍යන්තර දර්ශක මගිනි . 2020 ගෝලීය සාම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ලබා ඇති අගය 2.003 කි. එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව සිටින්නේ 77 වන ස්ථානයේ ය. එම දර්ශකයේ පළමු තැන හිමිකර ගන්නේ අයිස්ලන්තය වන අතර ආසියානු කලාපීය රටක් වන සිංගප්පූරුව එම දර්ශකයේ හත් වන ස්ථානය නියෝජනය කරයි.

දූෂණ සංජානන දර්ශකය ට අනුව (Corruption perceptions Index- 2021) ශ්‍රී ලංකාව  සිටින්නේ 37 වන ස්ථානයේ ය. ඩෙන්මාර්කය ලකුණු 88 ලබා ගෙන ප්‍රථම ස්ථානය ලබා ඇති අතර නෝර්වේ සහ සිංගප්පූරුව ලකුණු 85 බැගින් ලබා ගෙන ඇත .ඉහත දර්ශක දෙකේදීම පෙන්නුම් කරනු ලබන වැදගත් කරුණක් වන්නේ සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර පවතින පරතරයයි.

දූෂණය සහ නාස්තිය අප රටේ මුල් බැස ගෙන ඇත්තේ කෙසේ යත් ඇතැම් විට දූෂණය සාධාරණීකරණය කිරීමට ද කරුණු ඉදිරිපත් කරයි.මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම වලදී යෝජනා ක්‍රමය අනුමත කර ගැනීමට   සමහර බලධාරීන්  ලබා ගන්නවා යැයි කියනු  ලබන   සියයට දහයක   කොමිස් මුදල සදහා ද සුජාතක බවක් ආරෝපණය කිරීමට තරම් ඇතැම් දේශපාලන පක්ෂ උත්සුක වී තිබේ . මහා පරිමාණයේ යෝජනා ක්‍රම වලින් කොමිස් මුදල් ලබා ගැනීම නීත්‍යානුකූල බවට මතයක් ප්‍රචාරණය කරමින් පවති. නීති විරෝධී ජාවාරම් වලින් සහ අයෝජන මෙන්ම සංවර්ධන යෝජනා ක්‍රම හරහා උපයා ගනු ලබන මුදල් විශුද්ධිකරණය කිරීමට ද විවිධ උපක්‍රම භාවිතා කරනු ලැබේ . වංචාව ,දූෂණය සහ නාස්තිය සාමාන්‍යකරණය වී ඇති සමාජයක දූෂණ විරෝධය හුදු අතලොස්සක් ජනතාව ගේ ආත්ම ප්‍රකාශනයකට පමණක් සීමා වී තිබේ. දූෂණය පිළිබඳව පුවත් වලට අප රටේ මාධ්‍ය ආයතන දක්වන්නේ ඇල්මැරුණු ප්‍රතිචාරයකි. මෙවැනි කරුණු වලදී  අදාළ දූෂණය ට සම්බන්ධ පුවත සංක්ෂිප්ත වාර්තාකරණය ට ලක් කිරීම නිසා පුවත පිළිබඳව සම්පුර්ණ විස්තරය ජනතාව අතට ගමන් නොකරයි. මෙය ඉතා බාල ,අවර ගණයේ  මාධ්‍ය පරිචය කි.

අනිත් අතට දූෂණය ට එරෙහිව කටයුතු කිරීම සදහා ශක්තිමත් නෛතික රාමුවක් අප රටේ නොමැත. අප රටේ රාජ්‍ය අංශයේ ආයතන විගණනය කිරීමට විගණකාධිපති  දෙපාර්තමේන්තුව ට බලතල තිබුණු ද ඒ සම්බන්ධව වාර්තා නිකුත් කිරීම හැරුණු විට දූෂිතයන් ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම ට බලයක් නොමැත. දූෂණය හමුවේ විරුද්ධ වීම අතහැර දමා එම දූෂණ උපේක්ෂාවෙන් ඉවසා සිටිමේ ප්‍රවනතාවක් ද පොදු ජනතාව අතර දක්නට ඇත .

දූෂණය මෙන්ම වංචාව ද ,අල්ලස ද ,රාජ්‍ය නිලධාරීන් රාජකාරි පැහැර හැරීම  ද ,නිලධාරීන් ගේ බලවත් නොසැලකිල්ල නිසා ද සිදු වනපාඩු වලට ද වංදි ගෙවීම ට සිදු වන්නේ රටේ පොදු ජනතාවයට ය .

මේ සියල්ලම පාරිහානික රාජ්‍යයක පොදු සාධකයන් වේ. මේ සියල්ලෙන් රාජ්‍යය ට සිදු වන හානියට අවසන් වශයෙන් මුහුණ දෙන්නේ මේ රටේ පොදු ජනතාව ය. ඉන් බහුතරයක් ජීවිතයේ කිසිම දිනක කිසිදු සොරකමකට සම්බන්ධව නොවු අතිශය අවංක පුද්ගලයන් වීම කෙතරම් අභාග්‍යක් ද ? මේ සියලුම අකටයුතුකම් ඉවසා වදාරා සිටිමෙන් ඇති වන සුගතියක් ද නැත . ලංකාව ,සිංගප්පූරුවක් කරන්නේ ද නැතහොත් සිංගප්පූරුව , ලංකාවක් කරන්නේ ද යන්න තීරණය කිරීම පොදු ජනතාව ට භාරය.

~ එස්.එම්.ජයසූරිය ~

Your email address will not be published. Required fields are marked *