සිංගල් පේරන්ට් කෙනෙක් කියන්නෙ කවුද

සිංගල් පේරන්ට් කෙනෙක් කියන්නෙ කවුද

203 views
0

ශ්‍රීලංකා මාතාවගෙ දරුවන්ට ආවේණික පුරුද්දක් තියෙනවා මිත්‍රවරුනි මොන වාතාවරණයක් යටතෙ උන්නත් මීම් පෝස්ටර් එකක් හදල සෝෂල් මීඩියා අප්ලෝඩ් කරන එක . ඒක ඉතිං අධික වර්ෂාව උනත් , යුද්ධයක් උනත් , කොරෝනා උනත් වෙනසක් නෑ . මීම් නම් හැදෙනවා මදි නොකියන්න . ඔය මීම් හැදිල්ලෙ හොඳ නරක ගැන නම් මම කතා කරන්න යන්නෙ නෑ . ළඟදි දවසක ශෙයා උන මීම් එකක් ගැන ගැන තමයි මේ කතාකරන්න හදන්නේ . 

ඒ මීම් පෝස්ට් එකෙ හිටියා ගැහැණියක් පිරිමියෙක්ගෙ අතින් අල්ලගෙන කුණු පිරුණ තැනක ඉන්නවා . ඒ පින්තූරයට උඩින් තියෙනවා single mother කෙනෙක් ඔබට විවාහයට ආරාධනා කළ විට කියල පුංචි වැකියක්  . ඉතිං මේ පෝස්ටර් එකෙ සරල අදහස තමයි සිංගල් මදර් කෙනෙක් එක්ක විවාහ ජීවිතයකට යන්න උනොත් කුණු ගොඩකට වැටුණා වගෙ තමයි කියන එක . මේත් එක්කම ටිකක් දිග හෑල්ලකුත් අටවල තිබ්බ සිංගල් මම් කෙනෙක් බැන්දොත් එයා කලින් සැමියා සමග ඔබව කම්පෙයා කරනවාය , සෙක්ස් ලයිෆ් එකේදි පවා සංසන්දනය කරනවාය ආදි ලෙසට කරුණු රාශියක් . 

ඇත්තටම ලංකාව ඇතුළෙ මේ සිංගල් මදර් , සිංගල් ඩෑඩ් එහෙම නැත්තන් සිංගල් පේරන්ට් කියන කන්සෙප්ට් අර්ථකතනය කිරීමෙ දුර්වලතාවයක් විදියට තමයි මම මේ මීම් පෝස්ට් එක දකින්නෙ . ලංකාව ඇතුළෙ බිහි වුණ සිංගල් මම් යැයි කියාගන්නා ඇතැම් උදවියගේ ක්‍රියාකලාප මෙ පෝස්ට් එකට සමහරවිට හේතුවක් වන්නටද ඇති . ඒ නිසා මේ සිංගල් පේරන්ට් කන්සෙප්ට් එක ගැන පුංචි හරි දැනුවත්භාවයක් ලබාදෙන එක තමයි මේ ලිපියෙ අරමුණ . 

සිංගල් පේරන්ට් කියන්නෙ කාටද ? 

සිංගල් පේරන්ට් එහෙම නැත්නම් තනි මාපියන් කියල අපි මෙයාලව හදුන්වනවා . මේ කොටස් දෙක තමයි සිංගල් මම් සහ සිංගල් ඩෑඩ් කියල කණ්ඩනය වෙන්නෙ . එක්සත් ජනපදයෙ සංගණන වලට අනුව තනි මාපියන් යටතේ ජීවත් වන දරුවන් මිලියන ගානක් ඉන්නව වගෙම . මෙතනින් 80% ක් සිංගල් මම් ලා , 20% ක් සිංගල් ඩෑඩ්ලා . සිංගල් කියන්නෙ තනි කියන එකනෙ , ඉතින් එතකොට තනි මව හෝ පියා ජීවත් වෙන්න ඕන තනියම ම තමයි . එතකොට තමයි ඇය හෝ ඔහු සිංගල් පෙරන්ට් කෙනෙක් වෙන්නෙ . 

සිංගල් පේරන්ට් කෙනෙක් වෙන්න ආවට ගියාට බෑ !

මම කලිනුත් කිව්වනෙ ලංකාවෙ මෙ සිංගල් පේරන්ට් කියන කන්සෙප්ට් එක හරියාකාරව නිර්වචනය කරගෙන නැහැ කියල . සමහර සිංගල් පේරන්ට්ල ට පාට්නර්ලා ඉන්නවා , සමහර සිංගල් පේරන්‍ට්ලා ඩිවෝස් වෙලා නෑ වෙනම දරුව එක්ක ජීවත් වෙනවා ඒත් සිංගල් පේරන්ට් . ඔන්න ඕකයි ලංකාවෙ තත්වය . හොදට මතක තියගන්න සිංගල් පේරන්ට් කෙනෙක් වෙන්න නිකන් බෑ . ඒ සඳහා කොන්දේසි කීපයක්ම තියෙනවා . 

  • සිංගල් පේරන්ට් සෑම විටම තම නිවසේ ජීවත් වන සහකරුවෙකු නොමැතිව දරුවා හෝ දරුවන් ඇතිදැඩි කරමින් සිටිය යුතුයි .
  • සිංගල් පේරන්ට්ලා දික්කසාඳ , වැන්දඹු , නීත්‍යානුකූලව වෙන් වී හෝ අවිවාහක විය යුතුයි . 
  • දරුවන් නීත්‍යානුකූලව යැපෙන්නන් ( හදවඩා ගැනීමට ගත් ) හෝ ජීවවිද්‍යාත්මක විය යුතුයි . 
  • එසේම ඉහත ලක්ෂණ වලට යටත් ගැඹිනි කාන්තාවන්ද සිංගල් පේරන්‍ට් යටතට ගැනේ . 

ඔන්න ඔය කිව්ව කුලක වලට යටත් වෙනවා නම් විතරයි සිංගල් පේරන්ට් කෙනෙක් වෙන්න හැකියාව තියෙන්නෙ . ලෝකෙටම ඇහෙන්න සිංගල් මම්, සිංගල් ඩෑඩ් කියල කෑ ගැහුවට වැඩක් නෑ ඔයා මැරීඩ් නම් ,ඔයා මේ වෙන කොටත් ඉන් අ රිලේෂන්ශිප් නම් . 

සිංගල් පේරන්ට්ලා වීමට හේතු ?

මේ කියන සිංගල් පේරන්ට්ලා බිහිවෙන්න හේතු මෙන්න මේවාය කියල නිශ්චිතව කියන්න බැරි උනත් , මේ වෙනකොට තනි දෙමාපියන් බිහිවීමට මුලිකව හේතු කීපයක්ම ඉදිරිපත් කරල තියෙනවා 

  • මරණය 
    වසර සිය ගණනාවකට පෙර සිටම තනි මාපියත්වයට ප්‍රබල හේතුවක් වූයේ එක් මාපියෙක්ගේ මරණයයි . අදටත් තනි මාපියන් සඳහා එක් මාපියෙකුගේ මරණය හේතුවක් වුවද එය කලිනට වඩා කුඩා ප්‍රතිශතයකි 
  • දික්කසාදය 
    දික්කසාද වන විවාහක දෙමාපියන් තනි මාපියන් බවට පත්වීම සඳහා සැළකිය යුතු හේතුවකි . යුවළක් වෙන් වූ විට සෑම විටම දරුවාගෙ භාරකාරිත්වය ඉන් එක් අයෙකුට ලබා දෙන අතර ඉන් අනතුරුව ඔවුන් නීත්‍යානුකූල තනිකඩයන් ලෙස හඳුන්වනු ලබයි .
  • අවිවාහක මාපියන්
    දෙමාපියන් විවාහ වී නොමැති නමුත් දරුවන් සිටී නම් ඒ දරුවා රැක බලාගන්නේ තනි මාපියෙක් විසින් නම් ඔවුන්ද මෙහිදී තනි මවක් හෝ තනි පියෙක් ලෙස සළකනු ලබයි . 
  • වෙනත් සාධක 
    මත් ද්‍රව්‍ය හෝ යම් යම් දෑ නිසා මානසික සෞඛ්‍ය පිරිහීමට ලක් වී දරුවා සුරක්ෂිත නොවනවා යැයි සළකා එක් මාපියෙක් යටතේ වැඩීමට සැලැස්වීමද තනිමාපියන් වීම සඳහා බලපානු ලබයි .

තනි මාපිය පවුලක බලපෑම් … 

තනිමාපියන් සිටින පවුලක ධනාත්මක බලපෑම් වලට වඩා සෘණාත්මක බලපෑම් වැඩි වශයෙන් දක්නට ලැබේ . මාපියන්ට සහ දරුවන්ට ඇති වන බලපෑම් කුටුම්භයකින් කුටුම්භයකට වෙනස් බවද දත්ත පෙන්වා දෙයි .

තනි මාපිය පවුලක දී ඇතිවන සෘණාත්මක බලපෑමක් වන්නේ දික්කසාදය ට පසු දරුවාගෙ භාරකාරිත්වය ලබන්නා දරාගත නොහැකි පීඩනය නිසා සියදිවි නසාගැනීම් , මත්ද්‍රව්‍ය සඳහා නතු වීම ආදී දේ නිසා දරුවන්ට ඇති කරන බලපෑමයි . 

මෙහිදි ඇතිවන ධනාත්මක බලපෑමක් වන්නේ තනි මාපියා අතර දරුවා සමඟ ඉතා ශක්තිමත් සබදතාවයක් ගොඩනැගීමයි . ඔවුනට ආත්මවිශ්වාසය සහ පෞරුෂයත්ව සංවර්ධනය සඳහාද මෙම තනි මාපිය පවුල් උපකාරි වන බව දත්ත මගින් පෙන්වා දෙනු ලබයි . 

මේ කරුණු කාරණා දිහා බැලුවම සිංගල් පේරන්ට් කෙනෙක් කියන්නෙ කවුද , ඇය හෝ ඔහු සතු  විය යුතු දේවල් මොනාද කියල අවබෝධයක් ලැබෙන්න ඇති . නමුත් ලංකාව තුළ විශාල වශයෙන් සිංගල් පේරන්ට් කන්සෙප්ට් එක විකුණන් කෑම තමයි දක්නට ලැබෙන්නෙ . කාලයක් සිංගල් පේරන්ට් කෙනෙක් වෙලා ඉදලා හෙට ඔයා විවාහ වෙනව නම් අද තමයි ඔයා සිංගල් පේරන්ට් කෙනෙක් විදියට ඉන්න අවසන් දවස වෙන්නේ . සිංගල් පේරන්ට් කෙනෙක් වීම සමාජයේ කැපී පෙනීම උදෙසා භාවිතා නොකර හරි ආකාරයට අවබෝධ කරන් ඒ තුළ හැසිරීම නම් ගොඩක් වටින බව සඳහන් කළ යුතුමයි . 

පවනි වාසනා

Your email address will not be published. Required fields are marked *