ආර්ය විනය නොතකන භික්ෂුව

ආර්ය විනය නොතකන භික්ෂුව

191 views
0

ශ්‍රී ලංකාව කියන්නෙ හරි අපූරු රටක්. මොකද මේකෙ කාලෙන් කාලෙට හරි අපූරු දේ සිද්ධ වෙනව. ඒක කාගේ හරි ඇජෙන්ඩා වලට එන රැලි කීවොත් හරියට ම හරි. ජාතිය බේරගන්න, ආගම බේරගන්න, සංස්කෘතිය බේරගන්න, ඉතිහාසේ සංරක්ෂණය කරන්න මේ විදිහට එක එක නාමකරණයන් එක්ක කාලෙන් කාලෙට කඩාපාත්වෙන මෙකී සිද්ධි එකකට එකක් කොහෙන් හෝ සම්බන්ධයක් තියන අදෘශ්‍යමාන හස්තයන් මඟින් මෙහයවන දේශපාලන වෙන ප්‍රපංචයන්. හැබැයි මේ කතාව දිගෑරෙන්නෙ මේ රැලි ගැනවත් ඒවා මෙහෙයවන අතකොළු පිලිබඳවවත් නෙවේ, රැල්ලක් වේෂයෙන් නැගීගෙන එන මාෆියාවක් ගැන කතාකරන්න.
බුද්ධ දර්ශනය ඇරුනම අනෙක් සියලු කරුණු සම්පූර්ණයෙන් ආවරණය කරපු රටක් තමා ලංකාව කියන්නෙ. මේ දිනවල බොහෝ කතාබහට ලක්වුණු මාතෘකා කිහිපයක් තමා කඳු ආක්‍රමණය කරන චෛත්‍යය සංකල්පය, බුදු දහමට අගෞරව කරන වැඩසටහන් මෙහෙයවන කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා, අවිහිංසාවාදයේ ප්‍රතිමූර්තිය වුණු බෞද්ධ රටට දීපු “සක්සුරීන්”වැනි විශේෂ ජීවමය තෑගි ආපහු අරං යන තරමට බෞද්ධ සිද්ධස්ථාන තුළ බලපැවැත්වුණු හානිදායක රැකබලාගැනීමේ ක්‍රමවේද වගේ දේවල්. නමුත් ඉතා ම මෑතක ගිනිගන්න මාතෘකාවක් විදියට සමාජ මාධ්‍යජාලා සහ වෙබ් අඩවි හරහා සංසරණය වන පුවත් මවන සංසිද්ධියක් වුණේ, “චීවරධාරීන් සහ ඔවුන්ගේ අසංතෘප්ත ලිංගිකත්වය”. මේක අයිතිවාසිකම් ඉල්ලා සිදුකරන ලද අරගලයක් නොවන බව මුලින් ම සඳහන් කිරීම වැදගත්. මොකද ලිංගිකත්වය සාමාන්‍ය මනුෂ්‍ය අවශ්‍යතාවයක් වගේ ම අයිතියක්. නමුත් මේ ඊට හාත්පසින් වෙනස් සිදුවීමක්. මේ වෙද්දී ලංකාවෙන් පිට ජීවත් වෙන සිංහල බෞද්ධ පිරිස් අතර පොඩි ට්‍රෙන්ඩ් එකක් යනවා බුදුහාමුදුරුවෝ වගේ කියල හිතාන සමහර ජනප්‍රිය චීවරධාරීන් රට රටවල්වලට ගෙන්නගෙන ආරාම පන්සල් වගේ පොඩි වාසස්ථාන ගොඩනංවලා ඒවගේ වඩාහිදුවලා උපස්ථාන කරන, පුද සත්කාර දක්වන. මේ වගේ ජපානේ ජීවත් වුණු සිවුරක් පොරවගත්තු පුද්ගලයෙක් විසින් ඒ පවුලක ම තරුණයෙක්ව අපයෝජනය කිරීම සඳහා උත්සහ කිරීමක් පිළිබඳ සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් ඉතාම වේගෙන් පැතිරෙනව. ඒ වීඩියෝවෙන් පස්සෙ ඒ පුද්ගලයාට හෝ තරුණයාට හෝ එ සිදුවීම අළලා ගන්නට යෙදුණු ඊළඟ පියවරක් හෝ නීතිමය මැදිහත්වීමක් වාර්තා වෙලා නැහැ. කතාව මේ සිද්ධියට වඩා සංකීර්ණ බව ලංකාව තුළම වාර්තා වුණු සිද්ධි කීපයක් එක්ක පැහැදිලි කරන්නයි මේ උත්සහය.

ලංකාවේ පැවිදි කිරීම සඳහා නිශ්චිත වයස් සීමාවක් නැහැ. නිශ්චිත හේතුවක් හෝ පිළිවෙතක් ද සඳහන් වන්නෙ නැ. බොහෝ දුරට රැකබලාගැනීමට ආර්ථිකමය අපහසුතා සහිත පවුල්වල පිරිමි දරුවන් මේ විදිහට සාසනයට පූජා කිරිම නූතන සමාජයේ සුලභ වුනත්, ශ්‍රද්ධාව පෙන්නුම්කරන මහා පූජාවලියක් ලෙස කුල දරුවන් සසුන්ගත කිරීම, විහාරාධිපති හිමිවරුන්ට හිමි සඟ සතු දේපළ පිටස්තරයන්ට උරුම වේය යන බිය නිසාවෙන් ඔවුන්ගේම පවුල්වල කුඩා දරුවන් පැවිදි කිරීම, ගමක පන්සල වැසී යනු ඇතැයි බියෙන් කවුරුන් හෝ කුඩා පිරිමි දරුවෙක් මහණ කරවීම ද ඒ අතරින් පතර සිදුවෙනව. මෙ කුමන ආකාරයෙන් වුවත් ඔබ මම බහුලව අත්විඳින කාරණයක් තමයි “සාමණේර හාමුදුරුවෝ ගෙදර යන්න ඕන කියනව”, “පොඩි සාදු සිවුරු ඇරල”, ” පොඩි සාදු පන්සලෙන් පැනලගිහිං” මෙන්න මේ වගේ උදෘතයක් එක්ක ගොඩනැගෙන සිදුවීම්. මෙහෙම වෙන්නෙ ඇයි? ඇත්තට ම ඒ පොඩි සාදුට අම්ම මතක් වෙන නිසා ද, සෙල්ලම් කරන්න ඕන නිසා ද එහෙම නැත්තම් කායිකව සහ මානසික පන්සල් භූමි තුළ සිද්ධවෙන අපයෝජන ක්‍රියාවලියක් නිසා ද. මහණ පිංකමට දක්වන උනන්දුවෙන් ම විමර්ශනය කළ යුතු ගැටලුව එයයි.

ලංකාවෙ 6000කට ආසන්න වුණු බෞද්ධ විහාරස්‍ථාන ප්‍රමාණයක් තියෙනවා. ඇතැම් ඒවා මහා විහාර සහ පිරිවෙන් , තවත් කොටසක් නාමිකවවත් මිනිස්සු නොහදුනන ආරන්‍ය වන අතර, ඉන් තවත් කොටසක් වාණිජමය මූලස්ථාන. මෙම බොහෝ පූජනීය යැයි සඳහන් ස්ථාන ආශ්‍රිතව පැවිදි ජීවිතය ගතකරන පිරිස්වල මෙකී අසංතෘප්ත ලිංගික අවශ්‍යතා විවිධාකාරයෙන් සපුරාගැනීම් සිදුවිය හැකි බව උපකල්පනය කිරීමට බෞද්ධයන් වන අපටත් හැකි නමුත් බහුතරයක් තම ආගමට සහ ජාතියට කැළලක් වේය යන බියෙන් මෙකී කරුණු යටපත් කිරීම සිදුකරනව.

භික්ෂූන් යැයි කියාගන්නා මෙම චීවරධාරී පිරිස් මනුෂ්‍යයන් බව සහ ඔවුන්ට ද ලිංගිකත්වය පිළිබඳ ගැඟීම් මෙන් ම ආශාවන් පහළවන බව සැබෑයි. එය සාවධානව සලකාබැලිය හැකි කරුණක් වුවත් බෞද්ධ භික්ෂුවක් ලෙස සිවුරු දරාගෙන එලෙස හැසිරීම පාරාජිකා වීමට හේතුවක් මෙන්ම භික්ෂූ සාසනය අරබයා කෙරෙන මහත් හානියක් ලෙසත් විනය පිටකයේ සදහන් වෙනවා. ඇතැම් භික්ෂූන් තමන් යටතේ වූ පන්සලෙහි වැඩවාසය කරන කුඩා සාමනේර හිමි නම සිය උවමනා වෙනුවෙන් අවභාවිත කරනවා. ඊට අකමැතිවන හෝ ඉන් වැළකීමට උත්සහ දරන කුඩා දරුවන්ට හිමිවන දඬුමව ඇතැම්විට මාරාන්තික වූ අවස්ථා ගැනද වාර්තා වී තිබෙනවා. තවත් සමහරෙක් හට මුදලට සේවය සපයන පිරිස් සිටිතත් ඉන් ඔබ්බට ගොස් පවුලක් සහ බිරිඳක් පන්සලේ සිට නඩත්තු කරන්නන් ද දුලබ නැහැ. නමුත් ඒ නිළ වශයෙන් නොවේ. ඒවා නිළලත් සම්බන්ධතා බවට පත්වන්නෙ දායක සභාවේ ගිණුම් සැලකිය යුතු මට්ටමකට ළඟා වූ අවස්ථාවක හෝ පෙර කී නිළ නොලත් කාන්තා පාර්ශවය ඔවුන්ගේ පවුලට අලුත් සාමාජිකයෙක් එකතු කිරීමට සූදානම් වූ අවස්ථාවක යි. එහිදී ලාභ ප්‍රයෝජන ඉපැයූ චීවරය ඉවත්කොට උපැවිදිභාවය ලබාගැනීම ඔවුන් තෝරාගන්නා එක් ක්‍රමවේදයක්. එනමුත් මෙම ලිපියට පාදක වූ චීවර ධාරී භික්ෂුව සහ ඒ අයුරින් ම හික්ෂූන් යැයි ලේබල් ගසාගත් පිරිස් ආධ්‍යාත්මීය වශයෙන් කෙසේ වෙතත් භෞතිකමය වශයෙ තමන් ළඟා වූ පැවිදි සහ ගිහි ජීවිත ස්තරයන් දෙක ම මනාව හසුරවනු ලබන්නේ අති සුඛෝපබෝගී අයුරින්. දේශපාලනමය වශයෙන් සහ ජාතික, ජාත්‍යන්තර වශයෙන් නීත්‍යානුකූලව සහ එසේ නොවන සබඳතා බොහෝමයක් ද මොවුන් වටා පවුරු බඳින බව ද ප්‍රසිද්ධ රහසක්. ඒ දේශපාලුවන් සහ බල ලෝභීන් රටක් සමඟ රමණයේ යෙදෙන විටත් ආගම සහ දර්ශනය දූෂ්‍ය කරන විටත් සැරියුත් මුගලන් පරපුර නියෝජනය කරන මහා සංඝරත්නයන් ලෙස පෙනී සිටින ගැලවුම්කරුවන් මොවුන් වන බැවින්. ඉතින් බුද්ධ චීවරය ආදායමක් , සූදූවක් සහ පළිහක් කොටගත් චීවරධාරීන් අතරින්, අත්හැරීම මුලික කොටගත්, දුකින් මිදීම ගවේශනය කරන භික්ෂූත්වය සුරැකීමට දායකවීම සැබෑ බෞද්ධයන්ගේ වගකීමක්.

  • D. දිව්‍යාංජලී-

Your email address will not be published. Required fields are marked *