ස්පා බෝර්ඩ් එක යට විකිණෙන කාන්තාවෝ

ස්පා බෝර්ඩ් එක යට විකිණෙන කාන්තාවෝ

570 views
0

සමාධි බුදු පිළිමයක රුව ඈත කෙළවරකය. පිත්තල පොල්තෙල් පහනක් නුදුරින් තබා තිබේ. විවිධ සුවදාකාරයන් එක් කල අමුතු සුවද ගණනාවකින් යුක්ත සුවදකූරූ සුවද හමමින් හැම තැනකමය. එක් එක් හැඩයෙන් කළු ගල් අපූරු හැඩයට එක මත එක ඉහළට අසුරා තිබේ. පසෙකට වන්නට සුදු ඇතිරිල්ලක් සහිත සයනයක වැතිරුණු යුවතියකි. ඉහපතට වැටෙන ඖෂධීය ශාඛසාර සහිත තෙල් ගොට්ටයක් හිසට ඉහළින් ඉල්ලා තිබේ. මේ සියල්ල මැද නිස්කලංක පරිසරයක සිරියාව අත්විඳිය හැකිය.

ස්පා (Spa) හෙවත් සුව ශෝභාගාරය යන නාමය ලොව ප‍්‍රචලිත වන්නේ 1326 දී එනම් මධ්‍යකාලීන යුගයේදීය. ඖෂධීය ගුණයකින් යුතු දිය ස්නානය කිරීම ස්පා (Spa) යන්නෙහි තේරුම විය.

රුව ලස්සන වන්නට සිහින මවන කොයි කාටත් මේ දසුන් හිත් සනසා වශී කරන සුළුය. ඇතැම් නගර වල සිල්ලර බඩු කඩ වලට වඩා මෙවැනි පුවරු සහිත විවිධ හැඩයෙන් විවිධ ප්‍රමාණයේ ගොඩනැගිලිය. විටෙක සටහන්ව ඇත්තේ ස්පා (Spa) නම් පුවරුවක් පමණය. ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන හෝ ස්පා වෙත ගොස් ශාඛ සාර බෙහෙත් සත්කාර මගින් රුව වර්ධනය කොටගෙන සෞඛ්‍ය සම්පන්නව සිටිය හැකි බවට ඕනෑම කෙනකුට සිතිය හැකිය.

මෙහිදී ස්පා යනුවෙන් බොහෝ බටහිර මිනිසුන් හඳුනාගෙන තිබුණේ දියඇළි වලින් ගලා එන ස්වාභාවික ජලය ස්නානය කිරීම, ස්වාභාවික උණු දිය උල්පත්වලින් ගලා එන ජලය ස්නානය කිරීම සහ මුහුදු ජලයෙන් ස්නානය කිරීම, ආදී ඖෂධීය ස්නානයන්ය.

එලෙස ස්වාභාවික ඖෂධීය ජල ස්නානායන් කිරීමෙන් පුද්ගලයා ශාරිරිකවත්, අධ්‍යාත්මිකවත් පිරිසිදු වන බව ඔවුහු විශ්වාස කළහ.

ග්‍රීක  සහ රෝමානුවන්ගේ කාලයේදී මෙලෙස ප‍්‍රචලිත වෙමින් තිබූ ස්පා ක‍්‍රමය රෝග නිවාරණයටත්, නිරෝගිකම ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් 16 වන සියවස වන විට එංගලන්තය දක්වාම ව්‍යාප්ත වී ගියේ. මෙහි සැබෑවටම ඖෂධීය ගුණයක් තිබූ නිසා විය හැකිය. රතු ඉන්දියානුවන්, පර්සියානුවන්, බැබිලෝනියානුවන්, ග‍්‍රීකවරුන් සහ රෝමවරුන් විසින් මෙලෙස ලොව පුරා ව්‍යාප්ත කෙරුණු ඖෂධ ස්නානය පසුකාලීනව ආගම් ඇදහීමේදී පිරිසිදු වීමේ අභිචාරි ක‍්‍රමයක් ලෙසට භාවිත වූ බව ඉතිහාසයේ සඳහන්.

නමුත් අවාසනාවකට වර්තමානයේ බොහෝ විට ස්පා නම භාවිත කරනුයේ සම්බාහන මධ්‍යස්ථානවලටය. ආයුර්වේදීය නාමයට මුවා වී සිදු කරණා බොහෝ මෙවැනි ස්පා මධ්‍යස්ථාන වලින් ශරීර සම්බාහන, අත්පා සම්බාහනය, මුහුණ සම්බාහනය, ලිංගික උත්තේජනයන් ලබා දීම හැරෙන්නට, ආයුර්වේද ප‍්‍රතිකාර කිරීමක් සිදුවන්නේ නැත

නිරෝගී පුද්ගලයන්ගේ නිරෝගිකම ආරක්‍ෂා කර ගැනීමටත්, රෝගීන්ගේ රෝග සමනය  සඳහාත් වසර දහස් ගණනකට පෙර සිට පැවත එන ආයුර්වේදයේ ඇතැම් පංචකර්ම චිකිත්සා මධ්‍යස්ථානවලට අද අත් වී ඇත්තේ මෙවැනි අවාසනාවන්ත ඉරණමකි.

සුදුසුකම් නොලත්, විෂය ප‍්‍රගුණ නොකළ වෛද්‍යවරයෙකුට හෝ අවම වශයෙන් පාරම්පරික වෙදමහතෙකුට හෝ පංචකර්ම ප‍්‍රතිකාර කිරීමට නොහැකිය. එහෙත් මෙවැනි වෛද්‍යවරුන්ද පංචකර්ම ප‍්‍රතිකාර වල නිරත වනු දැකිය හැකිය.ආයුර්වේදයේ පංචකර්ම ප‍්‍රතිකාර කරනා මුවාවෙන් පවත්වගෙන යන බොහොමයක් සම්බාහන මධ්‍යස්ථාන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති අතර, එහි සේවා සපයන තෙරපිවරියෝ හා තෙරපිවරු මනා පුහුණුවක් ලැබුවෝ නොවෙති.

විශේෂයෙන්ම ආයුර්වේදය පොත්පත්වල සඳහන් වන ආකාරයට පංචකර්ම කිරීමේදී වෛද්‍යවරයාට සහයක කාර්යය මණ්ඩලයක්ද  සිටිය යුතු අතර සහයක කාර්ය මණ්ඩලයක්ද පුුහුණුවලත් අය විය යුතුය.

බොහෝ ආයුර්වේද පංච කර්ම මධ්‍යස්ථානවලින් සිදුවන්නේ රෝගීන්ට අවශ්‍ය පංචකර්ම ප‍්‍රතිකාර නොව ‘පූර්ව කර්ම’ ප‍්‍රතිකාරය. පූර්ව කර්ම යනු පංච කර්ම කිරීමට පෙර රෝගියා සූදානම් කිරීමය. උදාහරණයක් ලෙසට නස්නයක් කිරීමට පෙර රෝගියා ඊට සූදානම් කරනුයේ තෙල් ගා, ශරීරය හොඳින් සම්බාහනය කිරීමෙන් අනතුරුවය.

වර්තමානයේදී ඇතැම් හෝටල් ආශ‍්‍රිතව මෙන්ම හන්දියක් හන්දියක් ගානේ ඇති ස්පා මධ්‍යස්ථානවලින් හුදෙක් සිදුකරනුයේ කාමුක ආශාවන් සංසිඳවා ගැනීමට පාරිභෝගිකයා පෙළඹ වීමය. පුවත්පත් සහ සඟරා දැන්වීම් පළකර, පාරිභෝගිකයන් ගෙන්වා ගැනීම සිදුවන අතර බොහෝ සම්බාහන මධ්‍යස්ථානවලට පැමිණෙන පාරිභෝගිකයන්ට, මුදල් ගෙවා තමා වඩාත් සිත් ගන්නා රූමත් කාන්තාවන් ලවා ශරීරය සම්බාහනය කරවා ගැනීමටත්, මධුවිත පානය කරමින් තමන් කැමති කාලයක් ගත කිරීමටත් අවකාශය සලසා තිබේ. ආයුර්වේද සම්ප‍්‍රදාය අනුව රෝගී හෝ වේවා, නිරෝගි හෝ වේවා පුරුෂයෙකුට තෙල් ගැල්වීම හෝ ශරීර සම්බාහනයෙන් සිදු කරනුයේ පුහුණුවලත් තෙරපිවරුන්ය. කාන්තාවකට එම කාර්යය ඉටු කරනුයේ තෙරපීවරියන්ය.

නමුත්, ලිංගික සේවාවන් සැපයීම මූලික කරගත් සම්බාහන මධ්‍යස්ථානවල සහ ඇතැම් පංචකර්ම මධ්‍යස්ථානවල දී සිදුවන්නේ විරුද්ධ ලිංගිකයන් යොදවමින් සේවාවන් ලබාදීමය. සියලූම රෝග සඳහා ප‍්‍රතිකාර කරන බව සඳහන් කළද හුදෙක් මෙවැනි ආයතවලින් සිදුවන්නේ පංචකර්මයට කිසිසේත්ම අදාළ නොවනා ප‍්‍රතිකර්ම කිහිපයකි.

මේ ආකාරයට නගර මංමාවත් දෙපස දකින්නට ලැබෙන නවමු ආරක් ගත් නවීන සම්බාහන මධ්‍යස්ථාන දකින්නට ලැබේ. ඒ බැව් එකහෙලාම හුවා දක්වන්නට එම මධ්‍යස්ථාන හිමිකරුවන් උත්සාහ කරන බවද ප්‍රචාරණ ක්‍රියාවලිය අනුව දැකිය හැකිය. එවැනි අනර්ඝ හා වටිනා ප්‍රතිකාර ක්‍රම දේශීය ආයුර්වේදයේ පැවතියත් ඊට මුවා වන සමහරුන් අද දිවයින පුරාම ලිංගික වෙළෙඳාම සිදුකරන බව ප්‍රසිද්ධ රහසකි. ආයුර්වේද සම්බාහන මුවාවෙන් කොළඹ ඇතුළු තදාසන්න නගර ආශ්‍රිතව ගණිකා ජාවාරම සිදුකරන බව නොරහසකි.

වර්තමානය වන විට සම්බාහන මධ්‍යස්ථාන ලංකාවේ ක‍්‍රියාත්මක වන්නේ ගණිකා මඩම් මට්ටමින්. මෙම ආයතනවලින් ආයුර්වේදයට අදාළ කිසිදු ප‍්‍රතිකාරයක් සිදු නොවන අතර, සිදුවන්නේ මුදල් ලබාගෙන එම ආයතන වෙතට පැමිණෙන පාරිභෝගිකයන්ගේ ලිංගික ආශාවන් ඉටුකිරීම පමණි. මෙය තරුණ වැඩිහිටි මහලු පිරිමින්ගේ එක කාමාශාවන් ඉටුකරගන්නා තිප්පොලක් වී හමාරය.

මේ ආකාරයට නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථාන පවත්වාවෙන යමින් ඒවායෙහි ගණිකා ජාවාරම සිදුකරන බවට මෑත කාලයේ පොලිසිය මගින් වැටලීම් කර ඇත. 

1961 ආයුර්වේද පනත ප්‍රකාරව ආයුර්වේද මධ්‍යස්ථාන, ඔසුසල් ඇතුළු සියලු ස්ථානවලට අවසර ලබාගත යුතුය. ඊට නීත්‍යානුකූලව ක්‍රියාත්මක විය යුතුය. ආරම්භයේදී මෙය ක්‍රමවත්ව සිදු කෙරුණද රටේ පැවති යුද්ධයත් සමඟ සියල්ල අඩපණ වී විදේශ විනිමය ගලා ඒම අවහිරව ගොස් තිබිණ. ඉන්පසුව ආණ්ඩුව මැදිහත්ව සංචාරක හෝටල් තුළ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම ප්‍රචලිත කිරීම සිදුවිය. ඒ විදෙස් විනිමය ඉපැයීමේ අරමුණෙනි. කෙසේ වෙතත් අයුර්වේද පංචකර්ම පසෙකලා පසුව ආයුර්වේද පූරවකර්ම පමණක් සිදුකිරීම වර්තමානයේදි සිදු වේ. එය යුරෝපය හා නැගෙනහිර ආසියාව තුළත් Spa ලෙස ප්‍රසිද්ධය.

පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන්ද උපාධි ලත් වෛද්‍යවරුද මේ සඳහා තෙරපිවරුන් හා වරියන්ද  කටයුතු කරති. කාන්තාවන් සඳහා ආයුර්වේද ප්‍රතිකාර කිරීමට කාන්තාවන් ද පිරිමි සඳහා ප්‍රතිකා ලබාදීමට පිරිමි අයවළුන්ද දෙස් විදෙස් හැඩිදැඩි කාන්තාවන් සඳහා ආයුර්වේද සම්බාහන ප්‍රතිකාර ලබාදීම සඳහා පිරිමි අයද යොදාගනිති.

වර්තමානයේ නීති විරෝධී ලෙස සිදු කරන ස්පා ආයතන විශාල ගණනක් ඇත. ඒ මුදල් අවශ්‍යතාවය මත ස්පා යනුවෙන් බෝර්ඩ් ගසාගෙන ගණිකා ව්‍යාපාරය ජයටම කරගෙන යන ස්පා කඩ බෙහෙවින් ඇත.

ස්පා පවත්වාගෙන යන්නේනම් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහ සංචාරක අමාත්‍යංශයේ නිසි අවසරය මත සිදුකළ යුතුය. දැනට වාර්තා වන පරිදි නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථාන දිවයින පුරා 40,000 ඉක්මවා තිබේ. 

ආයුර්වේදය නම අලෙවි කරමින් කාන්තාවන් අලෙවි කරනා මෙම ස්පා අනාගත තරුණ පරපුර ඇබ්බැහි වීමේ ප්‍රවණතාව වැඩිවෙමින් පවති. තරුණයන් වැඩිහිටියන් ස්පා සම්බාහන වෙත පියමං කරන්නේ තමන් සම්බහනය වීමට නොව ලිංගික ආශාවන් ඉටු කරගැනීමටය. මේ හරහා සමාජ රෝග ඇතුළු බරපතළ රෝග රැසකට වත්මන් පරපුර ස්පා නිසා ගොදුරු වෙමින් බරපතළ ගැටලුවකට මුහුණ දෙයි. 

~ කරුණාරත්න දිසානායක ~

Your email address will not be published. Required fields are marked *