සිනමා සහ ටෙලිනාට්‍යය කර් මාන්තයේ ලිංගික සූරාකෑම

සිනමා සහ ටෙලිනාට්‍යය කර් මාන්තයේ ලිංගික සූරාකෑම

165 views
0

සිනමාව හෝ ටෙලිනාට්‍යය පිළිබඳව කතා කරන විට වාණිජ සහ කලාත්මක ලෙස කොටස් දෙකකට වර්ගීකරණය කර කලාත්මක ටෙලිනාට්‍යය සහ කලාත්මක සිනමා කෘති පිළිබඳව ඇගයීම්, ප්‍රශස්ති සහ සම්මාන උළෙල පැවැතිවීමට විවිධ සංවිධාන සහ ආයතන උත්සුක වී ඇත. එහිදී නළු-නිළියන් ගේ රංගන කුශලතාවය සම්බන්ධව සම්මාන සහ ප්‍රශස්ති වැනුම් දැකිය හැක .

එහෙත් අප මේ තැත් කරන්නේ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නොව මෙම කර්මාන්තය යටින් දිවෙන ඇතැම් ටෙලි නාට්‍යය සහ සිනමා නිෂ්පාදකයන් සහ අධ්‍යක්ෂවරුන් යටතේ පවත්වාගෙන යන විසදුමක් සෙවීම කෙසේ වෙතත්, සමාජ කතිකාවක් වත් නැති ලිංගික සූරාකෑම පිළිබඳව විවරණය කිරීමටය. අපේ රටේ සිටින වෘත්තීය නිළියන් ගේ සැබෑ ජීවිතය පිළිබඳව විවරණය කිරීමට ය. තරුණියක් සිය සහජ දක්ෂතාව හදුනා ගන්නේ පාසල් වේදිකාවේ දී ය නැතහොත් ගමේ දහම් පාසලේදී ය. ඉනික්බිති පුවත්පත්වල හෝ අන්තර් ජාලයේ හෝ මුහුණු පොතේ ඇති දැන්වීම් වලට අනුව නළු-නිළියන් ගේ සම්මුඛ පරීක්ෂණ සදහා ඉල්ලුම් පත්‍ර දමයි. නියමිත පරිදි සම්මුඛ පරීක්ෂණය ට සහභාගි වන මෙම තරුණිය සම්මුඛ පරීක්ෂණයේදී ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිළියක් ලෙස තෝරා ගෙන ඇති බව දැන්වීමෙන් ඉමහත් සතුටට පත් වේ.

තමන් ප්‍රධාන නිළියක් ලෙස තෝරා ගෙන ඇති බව තම මවටද දුරකථනය හරහා කියන්නේ සතුට වැඩිකම නිසා ය.
මේ අතර තරුණිය කැදවාගෙන ගොස් නිෂ්පාදක හෝ අධ්‍යක්ෂ වෙත භාර දෙන අතර ඉන් පසුව ඇරඹෙන්නේ තරුණිය වෙත විවිධ කොන්දේසි පැනවීමය.ටෙලියේ රගපෑමට නම් තමන් සමග රැයක් යහන්ගත විම හෙවත් එකම ඇදේ බුදියා ගැනීම එක කොන්දේසියක් බව ලැබෙන තොරතුරු අනුව පැහැදිලිවේ. තරුණිය මෙම කොන්දේසිය ට එකග නොවන්නේ ටෙලිනාට්‍යය රගපෑම පසෙකලා ගෙදර ඒමට සිදු වේ. ටෙලි නාට්‍යය හෝ සිනමා පටය වාණිජ ටෙලිනාට්‍යය ක් හෝ සිනමාපටය ක් ද නොඑසේ නම් කලාත්මක එකක් ද යන්න මෙම කාරණය ට කිසිදු ලෙසකින් අදාළ නොවේ. එසේ ම නිෂ්පාදකවරයා හෝ අධ්‍යක්ෂක සාමාන්‍ය පෙළ සමතෙක් ද නැතහොත් ආචාර්ය ,මහාචාර්ය කෙනෙක් ද යන්නත් මෙයට අදාළ නොවේ.මේ මේරටේ උක්ත කර්මාන්ත වල සදාතනික ලිංගික සූරාකෑම පිළිබඳව විෂම චක්‍රයේ සැබෑ ස්වරුපය යි.
තමන් සමග එකම යහනේ සැතපීමට කැමැත්ත ප්‍රකාශ කරන නිළියකට උපරිම මූල්‍ය පහසුකම් මෙන්ම අති සුඛෝපභෝගී ජීවන රටාවක් උරුම කර දීමට මෙම ඊනියා නිෂ්පාදකයන් සහ අධ්‍යක්ෂවරුන් සැදී පැහැදී සිටින බව ප්‍රකට සත්‍යයක් වේ.
ධනවාදී සමාජයක සකලවිධ සූරාකෑම නියත වන අතර ශ්‍රමය සූරා කෑමට වඩා මෙම ලිංගික සූරාකෑම උග්‍ර වන්නේ ඉන් ලාංකීය සමාජයේ බහුතරය වන ස්ත්‍රීයට පමණක් නොව මුළු මහත් සමාජයටම බරපතළ සමාජ ව්‍යසන ඇති වන බැවිණ. සැබවින්ම මෙය බරපතළ ලෙස ප්‍රකම්පනයට පත් වන කරුණක් වන අතර “අපේ ටෙලිතරු” ලෙස බෞතීස්ම කර රූපවාහිනී චැනල වලට මොවුන් ගෙන්වා ඔවුන්ගේ අසන තොදොල් ප්‍රශ්න හරහා මෙම නාලිකා සමාජයට ඒත්තු ගැන්වීම ට උත්සුක වන්නේ මෙම නිළියන් පූර්ණ තෘප්තිමත්ව සහ සතුටින් ජීවත් බවයි . මෙම මාධ්‍ය මාපියාව මේ සිදු කරන්නේ තව දුරටත් මෙම ලිංගික සූරාකෑම ත්‍රීව්‍ර කිරිමට සහ ඇතැම් විට සාධාරණීකරණය කිරීමට ය .

මෙවැනි අතවර වලට මුහුණ දෙන තරුණියන් ගේ ජීවිතාබෝධය ඉතා අල්පය .අනිත් අතට ඔවුන් මනුෂ්‍යයකු වශයෙන් තමන් ට ඇති අයිතිවාසිකම් පිළිබඳව කිසිවක් නොදනී.බටහිර රටවල වල තරුණියක් දෙස නොමනා ලෙස බැලීමද අපරාධමය වැරැද්දක් වේ. අපරට තුළ ද දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන වලට අනුව අපයෝජනය සහ අතවර වලදී ස්පර්ශ කළ බව ඔප්පු කිරීම අවශ්‍ය නොවන අතර තරුණියකට ඇසක් ගැසීම පවා අතවරයක් ලෙස සැලකිය හැක .එහෙත් මෙම නෛතික රාමුව පිළිබඳව මෙම සිනමා සහ ටෙලි නාට්‍යය කර්මාන්තයේ ගොදුරක් බවට පත් වී සිටින තරුණියන් බහුතරයකට අවබෝධයක් නොමැත . මෙවැනි අපචාර ක්‍රියාවන් වලට ලක් වන අහිංසක තරුණියන් තමන් ට සිදු වූ ලිංගික අතවරය පිළිබඳව ලැජ්ජාව නිසා වගකිව අංශ වෙත පැමිණිලි කිරීමෙන් වැලකී සිටීම ද මෙවැනි ගැටලු උත්සන්න වීම සදහා බලපා ඇත .

පසුගාමී , පාරිහානික නොදියුණු ධනවාදී සමාජයක ස්ත්‍රීය ද වෙළදපොලේ තවත් එක් භාණ්ඩයක් පමණි .එහෙත් මෙම සමාජ ක්‍රමය තුළ වුවත් මෙම ලිංගික සූරාකෑම පිළිබඳව කතිකාවක් නිර්මාණය කිරීමට බාධාවක් නොමැත.
අවාසනාවකට අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තුළ ලිංගික කරුණු පිළිබඳව දැනුවත් කිරීම අවම මට්ටමක පවතියි. එසේ ම අයුතු ලිංගික යෝජනා වලදී තමන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ද දැනුවත් භාවයක් ද නැත .
කාන්තා කටයුතු පිළිබඳව වෙනම අමාත්‍යාංශයක් පවතින මේ රටේ අදාළ බලධාරීන් මෙවැනි අතිශය සංවේදී ගැටලු පිළිබඳව කිසිදු අවධානයක් යොමු කරන්නේ නැත .අවම වශයෙන් එවැනි ගැටලුවක් තිබෙන බව වත් කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය හදුනා ගෙන නොමැති බව අපගේ නිරීක්ෂණය යි. එසේ හෙයින් දැන්වත් මේ පිළිබඳව සමාජ කතිකාවක් ආරම්භ කිරීම කාලීන අවශ්‍යතාව ක් වේ.

එස් .එම්.ජයසූරිය

Your email address will not be published. Required fields are marked *