“ඉතින්, ඔබේ බිරිද මොකද කරන්නෙ?”

“ඉතින්, ඔබේ බිරිද මොකද කරන්නෙ?”

198 views
0

බිරිදක්, මවක්, ගෘහිනියක් කරනා අත්‍යාවශ්‍ය සේවයට වැටුප් නොලබන කාන්තාව
එක්තරා ආයතනයක ඉහල තනතුරක් දරන පුද්ගලයෙකුට තමන් සේවය කරන ආයතනයේ නිලධාරී නිවසක රාත්‍රී භෝජනයක් සදහා ඇරයුමක් ලැබුණි. මිතුරන්ගේ දැඩි පෙරැත්ත කිරීම් හමුවේ නිලදාරියාට ඔහුගේ බිරිද සාදයට කැදවාගෙන යාමට සිදුවිය. එහිදී අහම්බෙන් හමු උන පාසල් කාලයේ මිතුරෙකු සමග කල කතිකාවත මුලින්ම ඇදී ගියේ ඔවුන්ගේ තනතුරු වෙතටයි. “මං අහවල් ආයතනයේ ප්‍රධාන විධායක නිලදාරියා, ඔයා දැන් මොකද කරන්නෙ” කියලා කීර්ති නැගූ ප්‍රශ්ණයට පිළිතුරු දුන්න පාසල් කාලයේ මිතුරා ඔහු මේ වන විට අංගොඩ මූලික රෝහලේ ප්‍රධාන මානසික වෛද්‍යවරයා විදිහට කටයුතු කරන බව පැවසීය. මේ අතර මානසික වෛද්‍යවරයා “ඔබෙ බිරිද මොකද කරන්නෙ” යැයි නැගූ ප්‍රශ්ණයට පිළිතුරු දුන් කීර්ති, “එයා මොනවා කරන්නද, නිකං ගෙදරට වෙලා ඉන්නවා” යැයි කීය.
මේ ඇසූ කීර්තිගේ බිරිද මදක් ලැජ්ජාශීලි උවද මනෝවෛද්‍ය වරයා ඒ ගැන තැකීමක් නොකර, “ඔබේ බිරිද කීයටද අවදි වෙන්නෙ” යැයි විමසීය. “ඇය උදේ හතරට අවදි වෙනවා, ඇය රැකියාවක් නොකර නිකං ඉන්න කෙනෙක් නිසා” යැයි කීර්ති උත්තර බැන්දේය. වෛද්‍යවරයාගේ ඊලග ප්‍රශ්ණය උනේ ඔබ නැගිටින්නෙ කීයටද යන්නයි. “මං නමය වෙනකොට ඔෆිස් යන්න ඕන නිසා අටට නැගිටිනවා” යැයි කීර්ති පිළිතුරු දුනි. මනෝවෛද්‍ය වරයාගේ ඊලග ප්‍රශ්නය වූයේ “ඔබ අවදිවන තුරු පැය හතරක් පුරා ඔබේ බිරිද මොකද කරන්නෙ” යන්නයි.
“ඇය රාජකාරියක් නොකරන නිසා, උදේ ආහාර සූදානම් කරලා, දරුවන් සූදානම් කරන අතර මගේ රැකියාවට අවශ්‍ය ඇදුම් පැලදුම් සකස් කරනවා. ඉන් පසුව නියමිත වේලාවට දරුවන්ට ආහාර ගැනීමට ඉඩ දී, ඔවුන් පාසල් බස් රථයට නංවා පිටත් කරනවා. ඉන් පසු නැවත පැමිණ ගෙදර හා ගෙවත්ත සුද්ධ පවිත්‍ර කරන ඇය, අටට පෙර මගේ උදෑසන තේ කෝප්පය සමග මාව අවදි කරවනවා.” යැයි කියාගෙන ගියේය.
“ඉතින් ඊට පස්සෙ”
“ඊට පස්සෙ ඇය මට සූදානම් වීමට උපකාර කරනවා. මගේ ටයි පටිය නිවැරදි කිරීම, මගේ සූට්කේසය වාහනය ඇතුලෙන් තැබීම හා වාහනයේ යතුර ගෙනත් දීම හැරුණු කොට ඇයට වෙනත් රාජකාරියක් නැහැ” කීර්ති කිව්වේය.
“ඔබ රාජකාරියට ගිහින් ආපහු එන්නෙ කීයටද” සාමාන්‍යයෙන් හතරට වැඩ අවසන් වන් නමුත්, කාර්‍යබහුල දිනවල හවස හය පහු වෙන බවත්, මිතුරන් සමග සාදයකට යාමට සිදු උවහොත් ඊටත් වඩා පමා වෙන බවත් කීර්ති පැවසීය. ඉන් අනතුරුව මනෝවෛද්‍ය වරයා “ඔබ රැකියාවට ගිහින් එනතුරු ඔබේ බිරිද මොකද කරන්නෙ යැයි ඇසීය. “ඇය හරිම කම්මැලි කෙනෙක්. මල් පැල වලට සාත්තු කරලා, දවල්ට දරුවන් පාසලේ සිට අමතර පංති වලට ගෙන ගොස් ඇරලන ඇය, දරුවන්ගේත් මගේත් රෙදි සෝදා වියලා, නමා නියමිත තැන් වල අසුරනවා. ඉන් පසුව අපේ රාත්‍රී ආහාරය පිළියෙල කරන ඇය, ඒ අතර අමතර පංති අවසන් වූ දරුවන් නිවසට රැගෙන එනවා.ඇයට ඊටත් වඩා යමක් කරන්න නැහැ” කීර්ති කියාගෙන ගියේ බිරිදට අපහාස කරන අටියෙනි. එහිදී හෙලි වූ ආකාරයට, උදෑසන අවධි වූ තැනේ සිට, රාත්‍රී ආහාරයෙන් පසු බදුන් සෝදා, මුලුතැන්ගෙය පවිත්‍ර කොට රෑ නින්දට යාම දක්වා , කීර්තිගේ බිරිද කිසිදු විවේකයක් ලබාගෙන නොමැත.
නමුත් මේ කතාවට අනුව ඔබට මට පැහැදිලි එක් දෙයක් තිබේ. එනම් රාජකාරියට යන එන කීර්ති මෙන බොහෝ ගුණයක රාජකාරි ප්‍රමාණයක් ඉටු කරන ඔහුගේ බිරිද යනු, කීරිතිට අනුව නිකං ඉන්න ජීවියෙකි. උදෑසන අවදි වූ තැන පටන් තමන්ගේ පවුල වෙනුවෙන් අමිල සේවයක් කරන ගෘහණිය, වැටුප් නොලබන සේවිකාවකි. ලෝකයේ ඕනෑම රැකියාවක් සදහා අනුමත නිවාඩු ප්‍රමාණයක් ඇත. නොඑසේ නම් අසනීප දින වලදී හෝ විවේකයක් ලැබේ, නමුත් වැඩක් පලක් නොකරන ගෘහණිය කිසිදු විවේකයකින් තොරව අඛණ්ඩව වසර ගණනාවක් පුරා සේවය සපයන අතර, දරුවන් සහිත ගෘහණීයක්, අම්මා යන තනතුරට උසස් වීම් ලැබීමත් සමග ඇයට ලැබෙන සියළු වරප්‍රසාද නොසලකා හැරිය හැකිවන අතර, සැමියා හෝ දරුවන් අසනීප වූ දිනෙක පැය විසිහතරක් දක්වා නිදිවර්ජිතව අඛණ්ඩ සේවයක් ලබා දීමට කැපවී සිටී. නිවසේ සිදුවන සියළු කටයුතු මැනවින් කලමණාකරනය කරගන්නා ඇය, සමාජය හමුවේ ගරු බුහුමන් ලබනු වෙනුවට තාඩන පීඩන විදදරා ගැනීමට සිදුවීමේ සම්භාවිතාව වැඩිය.
ශ්‍රී ලංකාව තවමත් පීතෲ මූලික සමාජයක් පවතින බව පොත පතේ පවතින සත්‍යයකි. කෙසේ නමුත් ගෘහණිය යනු ලැජ්ජාවට පත් විය යුතු හෝ අවමන් ලැබිය යුතු භූමිකාවක් නොවේ. ඔබේ බිරිද, අම්මා, සොයුරිය හෝ දියණිය මුදල් ඉපයීමෙන් වැලකී සිටීමෙන්ම පමනක් ඇය කාලකණ්නි ගෘහණීයක් බවට පත් නොවේ. ඔබට තවදුරටත් රැකියාවට යාම සදහා පිරිසිදු ඇදුම් නොලැබෙන විට, ඔබ අවදිවන විට ඔබේ තේ කෝප්පය පිලියෙල වී නැති දිනෙක, ඔබේ නිවසේ ආලෝකමත් බව තවදුරටත් නොපවතින දිනෙක, ඔබේ දරුවන්ගේ කටයුතු සොයා බලා කරදීමට කිසිවෙකු වැටුප් ගෙවා තබා ගැනීමට සිදුවන දිනක, කාන්තාවක් නිකරුනේ ගෙදරට වී සිටීමේ වැදගත්කම ඔබට වැටහෙනු ඇත. ඒ නිසා ශ්‍රී ලාංකීය ගෘහණියකගේ භූමිකාවේ ඇති වැදගත් කම ගැන දැනුවත් වීමට හා ඇගේ ඇයට නිසි ගෞරවයක් ලබා දීමට තරම් ආකල්පමය වෙනසක් සිදුවීම අගනේය.
කතාව අවසානයේ කීර්ති මනෝවෛද්‍ය වරයාගෙන් මෙසේ විමසීය. “ඉතින්, ඔබේ බිරිද මොකද කරන්නෙ?”
“ඇත්තෙන්ම ඇයත් ගෘහණියක්, මාවත් මගේ දරුවන් සහ දෙමාපියන්වත් හැකි උපරිමයෙන් බලා කියාගන්නා අතර, මගේ පවුලේ වඩාත්ම වැදගත් රාජකාරිය කරන පුද්ගලයා ඇයයි.”

~මහේෂි දසනායක~

Your email address will not be published. Required fields are marked *