නිදහස් අධ්‍යාපන අයිතිය, නිදහසේ ගසාකෑම 

නිදහස් අධ්‍යාපන අයිතිය, නිදහසේ ගසාකෑම 

121 views
0

අධ්‍යාපනය අයිතියක්. ඉතිං ඔබට, මට පුළුවන් අපේ කැමැත්ත අනුව පෞද්ගලික හෝ රාජ්‍ය යන තෝරාගැනීම් අතරින් එකක් හෝ නැතිනම් දෙක ම ඔස්සේ අධ්‍යාපන අයිතිය ලබාගන්න. පෞද්ගලික ආයතනයකින් හෝ පාසලකින් මෙකී සේවාවට මුදලක් නියම කෙරුනත් රජය මගින් පිහිටුවා ඇති 10155 කට ආසන්න වූ පාසල් අතරින් 1ක් ඒ සඳහා ඔබ තෝරාගන්නේ නම් පූර්ණ වශයෙන් නොමිලේ සේවාවක් ඔබට හිමිවෙනව. ඉන් ඔබ්බට උසස් අධ්‍යාපනය සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාලයක් තෝරාගතහොත් උසස් අධ්‍යාපනය ද හිමිවන්නේ පූර්ණ වශයෙන් නොමිලේ වීම නිදහස් අධ්‍යාපන ලද මේ ලියුම්කරුද ඇතුළුව අප ආඩම්බර විය යුතු කරුණක්. නමුත් ඇත්තෙන් ම ලංකාවේ පාසල් තුළ අධ්‍යාපනය හිමිවෙන්නෙ මේ කියන විදිහට නොමිලේ ද? අද අපි ඒ ගැන කතාකරමු.

ලංකාව තුළ 2023 වසරේ අධ්‍යාපනය වෙනුවෙන් රජය විසින් බිලියන 504ක ප්‍රතිපාදන වෙන් වෙනවා, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්. අධ්‍යාපනය, පාසල් නඩත්තුව, ගුරුවරුන්ගෙ මෙන් ම ශිෂ්‍යයන්ගේ සුබ සාධනය වෙනුවෙන් මෙකී ප්‍රතිපාදන වෙන්වන අතර ම ව්‍යාපෘති, අන්තර්ජාතික සහ ජාතික මට්ටමේ ආධාර හරහා ද රජයේ ඇතැම් පාසල් නඩත්තුව සහ නියාමනය වන බව නොරහසක්. මේ කිසිත් හිමිනොවන, වැසීයාමේ තර්ජනයට පවා ලක්ව ඇති බොහෝ පාසල් ලංකාව තුළ තියෙනවා. ඒ පිළිබඳ ඉදිරි ලිපියකින් සාකච්ඡා කරමු. ඉතිං මේ අයුරින් නඩත්තුවන රජයේ පාසල්වල පාලනාධිකාරිය විසින් පාසල් සංවර්ධනය සහ ශිෂ්‍ය සුභසාධනය උදෙසා විවිධාකාර ක්‍රියාමාර්ග ගෙන ඇති අතර මේවා නොමිලේ අධ්‍යාපනය ලබාදීමේ ක්‍රියාවලියේ මූලික පියවර ලෙස ද ඔවුන් සලකනවා.

පාසල් සංවර්ධන සමිති, ආදි ශිෂ්‍ය සංගම්, සුභ සාධක සමිති යනාදිය මෙකී හෞතික සහ මානව සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රධාන වගකීම් දරණ කණ්ඩායම් ලෙස තමයි අපි දන්නා කාල වකවානුවක ඉදල ම සලකන්නෙ. මේ සමිති සමාගම් තුළ වාර්ෂිකව එක්වන අරමුදල් පාසල්වල යම් යම් සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදාගැනුනේ මව්පියන්ගේ එකතුවෙන් වගේ ම කැමැත්තෙන්. නමුත් වර්තමානය වන විට හුදෙක් මෙම වගකීම පාසල්වල බලධරයන් විසින් නව මුහුණුවරකින් දරුදැරියන්ගේ මව්පියන් මත පටවමින් ඉන්න බව ඔබ විශ්වාස කරනව ද. ඒ සාමාන්‍ය සංවර්ධන සමිති වාර්ෂික මුදල්, සාමාජික ගාස්තු හැරුණුකොට ” මව්පිය පරිත්‍යාග” යන නමින්.

ඔව් එහෙම කියද්දි මේ ලිපිය කියවන ඔබටත් ඔබේ පසුම්බියෙන් බලෙන් පරිත්‍යාග වුණු මුදල මතක් වෙනව ඇති. නෛතික වශයෙන් පාසලක පහසුමක් සහ සේවා ගාස්තු වශයෙන් රුපියල් 60ක මුදලක් හැරුණුකොට වෙනත් කිසි දු මුදලක් අයකිරිම තහනම් බව දන්වමින් චක්‍රලේඛ නිකුත්කරල තියනවා. එහෙම උනාට නීතියෙන් ගැලවිලා ගිණුම්වල ශේෂය වැඩිකර ගැනීමේ අලුත් ම ක්‍රමය තමයි මේ මව්පිය පරිත්‍යාග කියන නමින් හඳුන්වලා දෙන්නෙ. මේ විදිහට මුදල් ගැරීමේ ක්‍රමවේදය ප්‍රධාන වශයෙන් අවස්ථා 3ක් ඔස්සේ මේ වෙද්දිත් සක්‍රීයව පාසල්වල ක්‍රියාත්මකයි.

  1. පළමුවන ශ්‍රේණියට දරුවෙක් ඇතුළත්කර ගැනීමෙදී.
  2. පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් පසු හයවන ශ්‍රේණිය සඳහා නව බඳවාගැනීම් සිදුකිරීමේදී.
  3. සාමාන්‍යපෙළ විභාගයෙන් පසු උසස්පෙළ විභාගය සඳහා සිසුන් බඳවාගැනීමේදී.

එසේ ම නොවැළක්විය හැකි හදිසි හේතුවකදී සිදුකරන නව ඇතුළත්කිරීම් වලදී (උදාහරණයක් විදිහට මව්පියන්ට වෙනත් ප්‍රදේශයකට ලැබෙන රැකියා ස්ථානමාරුවීමකදී දරුවන්ට වෙනත් පාසලක ඇතුළත්විමට සිදුවීම වැනි අවස්ථාවලදී) මෙම පරිත්‍යාගමය සූරාකෑම බහුලව සිද්ධවෙනවා.
ගොඩක් වෙලාවට සිද්ධවෙන්නෙ මේ පරිත්‍යාග විදිහට විදුහල්පතිවරයා හෝ වෙනත් පරිපාලනමය ව්‍යුහයේ ඉහල සිටින පුද්ගලයෙක් විසින් යම් මුදලක් නිශ්චය කිරීම. ඒකට මේ පවතින ආර්ථිකමය අර්බුද, අම්මලා තාත්තලාට ඇති රැකියා හො වෙනත් පෞද්ගලික ගැටලු අදාළ වෙන්නෙ නෑ. පාසලේ ජනප්‍රියත්වය, තත්ත්වය අනුව ඇතැම් විට මෙලෙස නිර්දේශ කරන මුදලේ වටිනාකම වැඩිවෙන ඉඩකඩ හරිම සුලභයි. ඒ වගේ ම මේ ලබාගන්නා මුදල් වෙනුවෙන් ලිඛිතමය සාක්ෂියක් හෝ ආධාරකයක් හිමිවෙන්නෙත් නෑ මොකද මේ “පරිත්‍යාගයක්”. බටහිර රටවල් වල – උදාහරණයක් ලෙස ඕස්ට්‍රේලියාවේ ඩොලර් දෙකකට වැඩි ඕනෑම පරිත්‍යාගයක්, වාර්ෂිකව ඉදිරිපත් කරන අයබදු වාර්තාවේ සදහන් කොට සහනයක්ද ලබාගත හැකියි.

නමුත් මේ වෙද්දී පාසලේ හෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සංවර්ධනය පොඩ්ඩක් අමතක කරලා මේ පරිත්‍යාග වෙනම පැත්තකට දෝලනය වන බව හොඳ සිහියෙන් ඉන්න ඕන ම කෙනෙකුට තේරෙනව. මේ මූල්‍යමය පරිත්‍යාග, ද්‍රව්‍යමය පරිත්‍යාග බවටත් එයින් නොනැවතී පෞද්ගලික පරිහරණයට අවශ්‍යවන ගෘහභාණ්ඩ, රෙදිපිළි, බඩු බාහිරාදිය මෙන් ම වෙනත් ඉල්ලීම් දක්වා ද දුරදිග යන අවස්ථා වාර්තා වීම කණගාටුවට කාරණයක්.

කිසිදු ආකාරයකින් පාසලකට අවශ්‍ය නොවන ඉල්ලීම් මෙලෙස ඉදිරිපත් වෙද්දී ඒව අධ්‍යාපනය වෙනුවෙන් අයකරන අල්ලසක් කියල තේරුම්ගන්න වෙනත් සාක්ෂි අවශ්‍ය වෙන්නෙ නෑ. එහෙම වුනත් දරුවන්ගේ අනාගතය සහ අධ්‍යාපනය කෙරෙහි විනාශකාරී බලපෑමක් එල්ල වෙයි කියන බය මව්පියන් ව අඳ,ගොළු,බිහිරි පිරිසක් වගේ මෙම අසාධාරණයන් ඉවසා දරාගැනීමට හුරුකරවනවා.
ඉතිං දැං ඔබට තීරණය බාරයි. ඇත්තට ම ලංකාවේ අධ්‍යාපනය හිමිවෙන්නෙ නොමිලේ ද?
D. දිව්‍යාංජලී

Your email address will not be published. Required fields are marked *