විමධ්‍යගත බලය විධායකය අතට ගත් කොමසාරිස් පාලනය

විමධ්‍යගත බලය විධායකය අතට ගත් කොමසාරිස් පාලනය

248 views
0

විමධ්‍යගත බලය විධායකය අතට ගත් කොමසාරිස් පාලනය
මෙරට පළාත් පාලන ආයතන 340ක නිල කාලය මාර්තු 19න් අවසන් විය. පළාත් පාලන ආයතනවල නිල කාලය වසර
හතරකි. නිල කාලය අවසන් වී පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුව තිබුණේ වසරකට පෙරය. තවත් අමතර
වසරක් එම ආයතන, ඇමැති බලතල උපයෝගී කර ගනිමින් පවත්වා ගෙන යනු ලැබීය. ඒ හේතුවෙන් වසර හතරක්
වන පළාත් පාලන ආයතන ආයු කාලය ආණ්ඩුවේ මැදිහත් වීම මත වසර පහක් බවට පත් විය. දැන්, ආණ්ඩුව වසර
පහකට පසුවත් එම මැතිවරණය පවත්වන්නට සූදානම් නැත.
මැතිවරණය නො පැවැත්වීම හේතුවෙන් මේ වන විට පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන් වෙනුවට
නිලධාරින් විසින් පාලනය කෙරෙන තත්ත්වයක් උදාවී ඇත. පළාත් පාලන ආයතන 340 අතුරින් මහ නගර සභා 29ක
පාලන බලය නාගරික කොමසාරිස්වරුන් යටතට පත්වේ. නගර සභා 36ක සහ ප්‍රාදේශීය සභා 257ක බලය එම
ආයතන ලේකම්වරුන් යටතට පැවරේ.
ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම අනුව මහජන නියෝජිත ආයතන පාලනය විය යුත්තේ මහජන ඡන්දයෙන් තෝරා
ගනු ලබන ජනතා නියෝජිතයන් මාර්ගයෙනි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි
පරමාධිපත්‍යය බලය ජනතාව සතුය. එම පරමාධිපත්‍යය බලය පැවරිය නොහැකි බව ද පරමාධිපත්‍යය යන්නට
පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඇතුළත් බව ද ව්‍යවස්ථාවේ සඳහන් ය. ඡන්ද බලය ජනතා
පරමාධිපත්‍යයේ කොටසක් වන්නේ ඒ ආකාරයෙනි.
කොමසාරිස්වරුන් සහ ලේකම්වරුන් යනු ජනතා නියෝජිතයන් නොව රාජ්‍ය නිලධාරින්ය. ජනතා නියෝජිතයන්
විසින් පාලනය විය යුතු ආයතන නිලධාරින් යටතට පත්වීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙනුවට නිලධාරිවාදී
පාලනයකට ඒවා නතු වීමය. මෙය ඉතා අහිතකර තත්ත්වයක් බව මැතිවරණ කොමිසමේ ද මතයයි.
නියෝජනය පිළිබඳ ජනතා අදහස් ඉදිරිපත් නොවීම ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර තත්වයක් බව මැතිවරණ
කොමිසමේ සභාපතිවරයා බීබීසී සේවයට පවසා තිබිණ.
පළාත් සභා සහ පළාත් පාලන ආයතන නිලධාරින් යටතට පත්වීම ගැටලුවක් වන්නේ, නිලධාරි පාලනය සහ ජනතා
නියෝජිතයන් ගේ පාලනය අතර පවතින වගකීමේ වෙනස හේතුවෙනි. යථාර්ථය කෙසේ වුවද ජනතා
නියෝජිතයන්ට සිය පාලනය සම්බන්ධයෙන් ජනතාවට වගකීමේ බැඳීමක් පවතින බව පැවසේ. (ලංකාවේ ජනතා
නියෝජිතයන් එකී වගකීමට ඒ ආකාරයෙන් ම බැඳී කටයුතු කරන්නේ ද යන්න වෙනම සාකච්ඡා කළ යුතු කරුණකි)
රාජ්‍ය නිලධාරින්ට නාමිකව හෝ ජනතාවට වගකිව යුතු බැඳීමක් නැත. ඔවුන් ගේ වගකීම ඍජුව ම පවතින්නේ
රාජ්‍යය සමඟය.
මේ වන විට පළාත් සභා මැතිවරණය ද වසර හතර හමාරකින් පසුපසට ගොස් තිබේ. මහ ඇමතිවරුන් මගින් විය
යුතු පළාත් සභා පාලනය සිදු වන්නේ ද ආණ්ඩුකාරවරුන් මගිනි. මහ ඇමතිවරුන් නොමැති බැවින් පළාත් පාලන
කොමසාරිස්වරුන් කටයුතු කරන්නේ ආණ්ඩුකාරවරුන් යටතේ ය. ආණ්ඩුකාරවරුන් පත් කරනු ලබන්නේ
ජනාධිපතිවරයා විසිනි. ඒ අනුව මේ වන විට පළාත් සභා ඍජුවත් පළාත් පාලන ආයතන වක්‍ර ලෙසත්
ජනාධිපතිවරයා ගේ පාලනයට යටත් වී තිබේ.
පාර්ලිමේන්තුවේ පාලනය ද විධායකයේ අණසකට යටත් ව පවතින ස්වරූපයක් තිබේ. ජනාධිපතිවරයා මහජන
ඡන්දයෙන් පත් විය යුතුය යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්දේශය ය. වත්මන් ජනාධිපතිවරයා මහජන ඡන්දයෙන්
පත් වු අයෙක් නොවනවා සේම මහජන ඡන්දයෙන් ප්‍රතික්ෂේප වු තැනැත්තෙකි. මහජන නියෝජිතයන් මගින්
පාලනය විය යුතු ආයතන දෙකක්, මහජන කැමැත්තක් රහිත පුද්ගලයකු ගේ පාලනය යටතට
පත්වීමප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ බරපතළ ගැටලුවකි.

පළාත් සභා මෙන්ම පළාත් පාලන ආයතන ක්‍රමය මෙරටට හඳුන්වා දෙනු ලැබුණේ 13වන ව්‍යවස්ථා සංශෝධනය
ඔස්සේ ය. 13වන සංශෝධනය මුළුමනින් ක්‍රියාත්මක කළ යුතු බව කියමින් ම ජනාධිපතිවරයා පළාත් පාලන
මැතිවරණය නො පැවැත්වීමට පියවර ගනිමින් සිටී. 2017 වර්ෂයේ පළාත් සභා මැතිවරණය කල් දමනු ලැබුණේ ද
වත්මන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය ධූරය දරමින් සහ වජිර අබේවර්ධන අමාත්‍යවරයා පළාත් සභා සහ පළාත්
පාලන ඇමති වශයෙන් සිටි සමයේ බව ද මෙහි දී සිහිපත් කළ යුතුව තිබේ.
ආණ්ඩුවේ අභිමතය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණය හසුරුවමින් එවක පැවැති ශ්‍රීලනිප ප්‍රමුඛ
ආණ්ඩුව 1975 ට නියමිත මැතිවරණය වසර දෙකකින් කල් දමා ආණ්ඩුවේ ආයු කාලය දීර්ඝ කර ගත්තේය. එහි අතුරු
පලය 1977 මහ මැතිවරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් අත් වී එක්සත් ජාතික පක්ෂයට පහෙන් තුනක බලයක්
හිමි වීමය. තනි පක්ෂයක විශාල පාර්ලිමේන්තු බලය හේතුවෙන් රට මහත් විනාශයකට ලක් විය. ශ්‍රීලනිප
ආණ්ඩුවේ මැතිවරණ කල් දැමීම උපයෝගී කර ගනිමින් බලයට පත්වූ ජේ ආර් ජයවර්ධන ප්‍රමුඛ එජාප ආණ්ඩුව ද
1982 වසරේ ජනමත විචාරණයක් මගින් ආණ්ඩුවේ ආයු කාලය පූර්ණ වාරයකින් ම දීර්ඝ කර ගත්තේය. එහි
ප්‍රතිඵලය වූයේ රට මහා ප්‍රචණ්ඩත්වයකට තල්ලු වී බරපතළ විනාශයකට ලක්වීමය.
සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, ඇතුළු
විපක්ෂයේ කණ්ඩායම් රැසක් පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි සාමුහික ඉල්ලීමක් ද කර තිබේ. ඉන් පෙනී
යන්නේ ආණ්ඩුව සාමුහික මතය පසෙක දමා සිය අභිමතය පරිදි බලය ආරක්ෂා කර ගැනීමේ තැතක නිරතව සිටින
බවය. ආණ්ඩුවේ පැවැත්ම කෙරෙහි එම උත්සාහය තාවකාලිකව යහපත් විය හැකිය. එහෙත් රටේ
ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ආර්ථිකයේ යහ පැවැත්ම මෙකී ක්‍රියාමාර්ගය හේතුවෙන් බරපතළ අවදානමකට
ලක්වීමට නියමිතය.
අනුර කේ එදිරිසූරිය.

Your email address will not be published. Required fields are marked *