<strong>දිළින්දා</strong>, <strong> දිළිඳු ආර්ථිකය හා හිඟන්නා</strong>

දිළින්දා,  දිළිඳු ආර්ථිකය හා හිඟන්නා

280 views
0

වතුර යට  බෝලයක් සඟවා තැබිය නොහැකි සේ රුපියල ඩොලරය ට මුවා කර ස්වයං වින්දනයක් ලබා ගත නොහැකිය. අල්ලා ගෙන සිටින තාක් ඩොලරයට සාපේක්ෂව රුපියල වර්ධනය වන හැඩක් පෙන්නුම් කළ ද එය කාගේ කාගේත් හිත රවට්ටවා ගැනීමක් පමණි. රුපියලේ වර්ධනය කොතෙක් ද කියතහොත් ලයිට් බිල දෙගුණ තෙගුණ වී දැනටමත් ගේ දොරින් ගේ තුළට ලැබී හමාරය. පර්ස් එකේ හිලක් නොතිබුණාට මාසික වේතනය ලැබී සතියකට පසු විද්‍යුත් ශේෂය බින්දුවට නොබසින්නේ නම් එය හත්මහ පුදුමයටත් එහා ගිය පුදුමයකි. බෙහෙත් නැති ඉස්පිරිතාල සල්ලි නැති ලෙඩ්ඩුන්ගෙන් පිරී ගොස් හඬන්නට පවා කායික ශක්තියක් නැතිව කෙඩෙරව ගිය මුහුණු කියන්නේ රුපියල ඉගිල ගිය බවක් නොවේ ද? ඔව් රුපියල ඉගිල ගොසිනි. සල්ලි පර්ස් හැරදා ගොසිනි. මිනිසුන් දිළින්දන් බවට පත් වී ගොසිනි. ඒත් පාලකයෝ තවමත් සුබ සිහින දැක දැක කරන කතා අසන විට රාජ්‍ය මාධ්‍යය පුවත් දකින අසන විට ඔවුන් සිටින්නේ අපේ නොවන අපේ ම රටක බව ඉතා පැහැදිලිය.

පාලිතයෝ ගෙයින් එලියට බහින්නේ හරියට ම බස් ටිකට්වලට ප්‍රමාණවත් මුදලක් අතදරාගෙනය. ඉන් එහාට වියදමක් ගැන හිතාගැනීමටවත් මොලය බල නොකරයි. වැල් වටාරම් අවශ්‍ය නැත, වරප්‍රසාද ලබන ඉහළ පන්තිය හා දේශපාලනයේ නියුක්තවූවන් හැර අනිත් සියල්ලෝ ම මේ වන විට ප්‍රාග්ධනයක් නැති අන්ත දළින්දන් බවට පත් වී හමාරය. බැංකු ණය හා ලීසිං වාරික පුද්ගලයාගේ බෙල්ලට ම හිර කොට හොඳට ම තද කොට අවසන් ය. පුද්ගලයා ද රට ද ණය මත යැපෙන්නන් බවට පත් ව ඇත. රජය ණය ණය ගෙවීම සඳහාය යනුවෙන් නව පිරුලක් නිර්මාණය කිරීමේ ලෝක ගෞරවය හිමිකර ගැනීමේ සතුට උත්සව පවත්වමින් සමරමින් සිහිපත් කරති. රට නිෂ්පාදන ආර්ථිකය බිඳ වටුණු රුපියල උච්ඡාවචනය වන ණය හා විදේශාධාර මත රටේ දේහය පණ ගසා හුස්ම ගන්නා අවුරුදු සියයක පමණ පටන් පැවැති දියුණු වන රටක් නමැති ලේබලය ද ඉරා ගත් දිළිදු ආර්ථිකයක් සහිත  ගරාවැටුණු රටක් බවට පත් ව ඇත. කතාවේ හොඳම හරිය එන්නේ ඉන් පසුවය. එනම් දිළින්දා හා හිඟන්නා හමුවන නිමේෂයයි.

ලෝකයට රටක් ලෙස අපි ද හිඟන්නෝ වෙමු. දේහය විකුණ විකුණා කුදු වූ රටක පාරක තොටක බසයක හමුවන හිඟන්නාට අවමය වන රුපියල් විස්සක්වත් (ඊට අඩුවෙන් දීම හිඟන්නාගේ ද අවඥාවට ලක් වීමට හේතු වේ) දීමට වත්කමක් නැති අන්ත හිඟන්නෝ වෙමු. මෙහි හිඟන්නා යන්න භාවිත කරනුයේ අපහාසය පිණිස නොව ඉල්ලීම සීගීම යන අර්ථයෙන් පමණක් බව සිහිතබා ගැනීම ඉතා යහපත්ය. බසයකට නැග ගත් පසු මුලින් ම පොත් විකුණන්නෝ ය. ඉන් පසු වෛවාරණ විකුණන මිනිස්සුන්ය. ඊළඟට පලංචියෙන් වැටුණු එහෙමත් නැතිනම් විදුලි සැර වැදුණායැයි කියන මිනිසෙකුගේ අදෝනාවය. එසෙත් නොමැති නම් අත් පා අහිමි හෝ ආබාධ සහිත කෙනෙකුගේ යටහත් පහත් ඉල්ලීමකි. දිළින්දාට හදවත සංවේ දී වීමට පෙර දෑස් වසා ගන්නා ලෙස මොලය අණ කරන්නේ නොදැනුවත් ම ය.

මොළය හිමිහිට බිරිඳගේ බඩු ලැයිස්තුව, ලයිට් බිල්, වතුර බිල්, ලීසිං බැංකු ණය, දරැවගේ පොත් පත් පාසල් බෑග මෙකී නොකී සියල්ල පිළිවෙළින් මතක් කර දී  දිළින්දාට ඇස් ඇරීමට අවසර ලබා දේ. දිළින්දාට දැන් හිඟන්නා ප්‍රශ්නයක් නොවේ. එම නිසා දිළින්දාට හිඟන්නාගේ දෑස් පහසුවෙන් ම මඟ හැර යා හැකිය. නොදැක්කා සේ සිටිය හැකිය. ඔන්නම් ආයිත් දෑස් වසා බොරැවට නිදා ගත හැකිය. මෙය සුරංගනා කතාවක් නොව,  මේ රටේ දිළින්දන් වන ඔබේත් මගේත් සත්‍යය කතාව වේ. සිඟන්නාගේ කුස පිරී තිබිය හැකි නමුත් දිළින්දා මේ මොහොතදීත් නිරාහාරව සිටිය හැකිය. එම නිසා සිඟන්නන් ගැන වැඩි අනුකම්පාවක් දැක්වීමට වඩා දිළින්දා ගැන සොයා බැලීම නුවනට හුරැය. නැතිනම් හිඟන ආර්ථිකයකට උරැමය හා උප්පැන්න සදාදුන්නවුන් තව තවත් ණය ම ගෙන දිළින්දාට ද සිඟීමටවත් රටක් ඉතුරැ නොකරනු ඇත. එසේනම් හිඟන්නා ඔබ ලඟ ම මා ළඟ ම බව මතක තබා ගැනීම හොඳය. මොක ද ලේබල නොගැසුවාට ලෝකයට අපි හිඟන්නන් වන බැවිනි.

~ අරුණ තිලංක ~

Your email address will not be published. Required fields are marked *