ලංකා සංචාරක ව්‍යාපාරයේ අදෘශ්‍යමාන සාපරාධී භාවිතාව,  ඇසි දුටු සිද්ධියක් ඇසුරිනි

ලංකා සංචාරක ව්‍යාපාරයේ අදෘශ්‍යමාන සාපරාධී භාවිතාව,  ඇසි දුටු සිද්ධියක් ඇසුරිනි

2034 views
2

සංචාරක ක්‍රියාකාරකම් විමසන සංචාරකයෙකුට නමගිය හෝටලයක කළමනාකරුවෙකු විවිධ සංචාරකයින් ආකර්ශිතවූ ස්ථාන සහ ඒවායේ ඇති ක්‍රියාකාරකම් පිලිබඳ ලැයිස්තුවක් ඉදිරිපත් කරයි.

සංචාරකයා ඊට අමතරව ‘වෙනත්’ බාහිර ක්‍රියාකාරකම් සඳහා උනන්දුවක් දක්වන බව පවසමින් කිසිවෙකුටත් නොපෙනෙන පරිදි මුදල් තොගයක් කළමනාකරුට අත යටින් පෙන්වයි.

මුදල් දුටු සැණින් හෝටල් කළමනාකරු අවශ්‍යතාවය මනාව තේරුම්ගත් බව සංචාරකයාට හගවයි. විමසිල්ලෙන් උනන්දුවන සංචාරකයා ඔහුගේ අවශ්‍යතාවය වයස අවුරුදු දහසයට අඩු පිරිමි ළමයින් බවත්, ඊට වැඩි අය ගැන ඔහුගේ උනන්දුවක් නැති බව කළමනාකරුට දැනුම් දෙයි. මෙහිදී හෝටල් කළමනාකරු සවස් වන විට එම අවශ්‍යතාවය සපුරාලිය හැකි බව සපත කරයි. තම උවමනාව සපිරෙන බව ඉස්තීරකරගත් සංචාරකයා මෙතෙක් මිටමොලවාගෙන සිටි මුදල් හෝටල් කළමනාකරු වෙත මුදා හරිනු ලබයි.

අවාසනාවකට මෙන්, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අද – “ළමා ලිංගික සංචාරක ව්‍යාපාරයකට” දොර විවරකර ඇත.

සංචාරක කර්මාන්තය අප රටේ විශාලතම ආදායම් මාර්ගයක් වන අතර, එය ළමා ලිංගික සංචාරකයක් බිහිවීමට ප්‍රධාන වශයෙන් දායක වී තිබේ. ළමා ලිංගික සංචාරක ව්‍යාපාරය යනු විදේශීය හෝ දේශීය සංචාරකයින් විසින් දරිද්‍රතාවයෙන් පෙලෙන බාල වයස්කාර දරුවන් ලිංගික අපයෝජන සඳහා භාවිතා කිරීමයි.

ශ්‍රී ලංකාව තුළ, ජාවාරම්කරුවන් හා වෙරළබඩ ප්‍රදේශවල හෝටල්වල කළමනාකරුවන් විසින් එදිනෙදා වෙරළ අසබඩ ජිවත්වන්නන් හා ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි වාර්ෂික උත්සව පවතින අවස්ථා වලට රැස් වෙන්නන් අතුරින් වාණිජමය වාසි තකා මෙවැනි ලිංගික හැසිරීම් සඳහා සාපරාධී ලෙස ළමුන් යෙදවීම බහුලව සිදුවෙන බව ලාංකිකයින් බොහොමයක් නොදන්නා රහසකි. සංචාරකයින් පිළිගන්නා අවස්ථාවලදීම, හෝටල් කළමනාකරණය විසින්ම සංචාරකයින්ට මෙම ‘සේවාව’ වෙන්කරවා ගැනීම සඳහා පහසුකම් ලබා දෙන බවට බොහෝ වාර්තා හෙළිකර තිබේ.

කළමනාකරුවන් විසින් සංචාරකයින්ගෙන් මුදල් ලබා පිරිමි හෝ ගැහැණු ළමයෙකු සංචාරකයා ගේ කාමරයට යැවීමට කටයුතු කරයි. රජය විසින් පවත්වාගෙන යනු ලබන අනාථ නිවාසද ත්‍රී රෝද රථ රියදුරන් සමඟ සහයෝගයෙන්, ළමා ලිංගික සංචාරකයන් ගේ අරමුණු ඉටුකරවා ලීම සඳහා ළමුන් මෙලෙසින් අපයෝජනය කරනු ලබන බව ද වාර්තා වී තිබේ.

ජර්මනිය, රුසියාව, ඉන්දියාව සහ චීනය යන රටවලින් පැමිණෙන විදේශීය සංචාරකයින්ට පමණක් දොස් පැවරීමට අප ඉක්මන් විය හැකි නමුත්, ළමා ලිංගික අපචාර සඳහා සැලකිය යුතු දේශීය ඉල්ලුමක් ද පවතින බව දැන් හෙළිවී තිබේ. මෙය ඉතා අභාග්‍යසම්පන්න කරුණක් විය හැකි වුවද, ළමා දූෂණ සහ මිනීමැරුම් පිළිබඳ ශ්‍රී ලංකාවේ ඉතිහාසය සමාලෝචනය කරන විට, අපේ ප්‍රජාව තුළ මෙවැනි පාදඩයන් බිහිවීම සහ පැවතීමද  පුදුමයට කාරණයක් නොවේ.

ශ්‍රී ලංකාවේ ළමා ලිංගික සංචාරයෙහි මූලික හේතුව වන්නේ දිළිඳු පවුල් වල පවතින දරිද්‍රතාවය සහ දෙමාපියන්ට සහ දරුවනට නිසි අධ්‍යාපනය නොමැතිකමයි. බොහෝ ළමයින් මේ වාණිජ ලිංගික කර්මාන්තයට යොමුවීමට බල කෙරෙනුයේ ඔවුන්ගේ අඩු ආදායම් සහිත සමාජ ආර්ථික පසුබිම විසිනි. පවුල් නඩත්තු කිරීම සඳහා, දරුවන් පාසල වෙත යැවීම වෙනුවට දරුවන් මෙම අපචාර සඳහා විකිණීම බහුලව සිදුවෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ළමා ලිංගික වෙළඳාමට කොටු වී සිටින බොහෝ දරුවන් අන්ත දුගී දුප්පත් පවුල්වල දරුවෝ වෙති. මෙවැනි ආර්ථික පසුබිමක වෙසෙන දෙමාපියන්, තම දරුවා හිටිහැටියේ අතුරුදහන් වී දින ගණනකට පසු සැලකිය යුතු මුදලක් රැගෙන ආපසු නිවෙසට පැමිණි විට කිසිවිටෙක  ඔවුන්ගෙන් ප්‍රශ්න ඇසීමක් සිදු වන්නේ නැත. සමහර දෙමාපියන් තම දරුවන් නීතිවිරෝධී ලෙස දරුකමට හදා ගැනීම සඳහා හෝ ජාවාරම් කිරීම සඳහා හෝ ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ වළල්ලට පවා තම දරුවන් විකුණා දමති.

මේ සඳහා කොතෙකුත් නීති පැවතුනද, යාන්තමින් නැපියෙන් බැහැර වූ දරුවා ගේ පටන් බොහෝ දරුවන් දූෂණය, පහර දීම සහ මරණය කරා ලං වීම  දිනපතාම සිදුවෙන බව පැවසීම කණගාටුවට කරුණකි.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ක්‍රමයෙන් දියුණු වෙනවාත් සමඟම අපේ දරුවන්ට එරෙහි මෙවැනි සාපරාධී අපරාධ තව තවත් වර්ධනය වනු ඇත.

ඉතින්, ඊළඟ වතාවේ ඔබ ශ්‍රී ලංකාවේ සංචාරකයින් සඳහා වූ හෝ සංචාරක හෝටල් ප්‍රවර්ධනය කිරීම සඳහා වූ හෝ දැන්වීමක් දකින විට, ඒ සඳහා අපගේ අහිංසක දරුවන් ගෙවන සැබෑ මිල ඔබේ මතකයට පැමිණෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

~ තාරිකා සුරන්දි ~

Comments

Your email address will not be published. Required fields are marked *