පත්තක්කා (දිව දෙකේ) දේශපාලනය සහ පුංචි ඡංදය

පත්තක්කා (දිව දෙකේ) දේශපාලනය සහ පුංචි ඡංදය

221 views
0

පත්තක්කා දේශපාලනය යන යෙදුම භාවිතය ට එක් වන්නේ අසුවේ දශකයේ මැද භාගයේදී දකුණේ හම්බන්තොට ප්‍රදේශයෙන් ය. එම ප්‍රදේශයේ ජනතාව අතර මෙම යෙදුම සුලබ ලෙස භාවිතා වුවත් සෙසු ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳව නොදනී. මෙම පත්තක්කා දේශපාලනය  යන යෙදුම හරහා ඉතා ගැඹුරු දේශපාලන කියවීමක් ධ්වනිත වේ. පළමු වරට පත්තක්කා දේශපාලනය යන යෙදුම භාවිතා කරන ප්‍රසිද්ධ මාධ්‍ය වන්නේ ද “දිවැස” ය.

පත්තක්කා දිවයිනේ වියළි කලාපය පදනම් කර ගත් පලතුරක් වන අතර අසූවේ දශකයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හේන් ගොවින් බහුල ලෙස මෙම භෝගය වගා කළේය.  පත්තක්කා වල පොත්ත කොළ පාට වන අතර එහි ඇතුලත රක්ත වර්ණ වේ. එවකට සිටි ඇතැම් දේශපාලන ක්‍රියාධරයින් මෙන්ම සමහර ඡංද දායකයින් ද මෙම පත්තක්කා ගෙඩිය සිය දේශපාලන දිවියේ දේවභාෂිතයක් ලෙස සැලකුවේය. ඔවුන් සිය ගම්පළාත් වලදී එක් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කටයුතු කරන අතර ගම් ප්‍රදේශයෙන් පිටත ඉතා දුර බැහැර ප්‍රදේශවල දී වෙනත් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කටයුතු කළේය. එම ප්‍රදේශවල සාමාන්‍ය ජනතාව ට දේශපාලන ක්‍රියාධරයින් ගේ මෙම දෙබිඩි පිළිවෙත පිළිබඳව තොරතුරු ලැබුණු විට ඔවුන් එය හැදින්වූයේ පත්තක්කා දේශපාලනය ලෙස ය. පත්තක්කා දේශපාලනයේ අවසන් අරමුණ ස්වාර්ථය වන අතර එයින් සමාජයට අගතියක් මිස සුගතියක් ගෙන ආවේ නැත.

අද වන විට කරලියට පැමිණ ඇති පුංචි ඡන්ද සටනේ දී ද උක්ත පත්තක්කා දේශපාලනය හෝ එහි ව්‍යුත්පන්න මැනවින් ඉස්මතු වී ඇත. ඉදිරියට පවත්වන හෝ නොපවත්වන ප්‍රාදේශීය සභා මැතිවරණය සදහා එක් එක් පක්ෂ නියෝජනය කරන අපේක්ෂක ලැයිස්තු  අධ්‍යයනය කරන අයෙකු ට පත්තක්කා දේශපාලනයේ කදිම යෙදුවුම් සොයා ගැනීම එතරම් අසීරු කරුණක් නොවේ. ආණ්ඩු පක්ෂ නියෝජනය කරන දේශපාලන ධාරාවේ මෙන්ම ප්‍රධාන විකල්ප දේශපාලන ධාරාවන් තුළ ද අඩු වැඩි වශයෙන් මෙම පත්තක්කා දේශපාලනය දැකිය හැක .එදා පොහොට්ටුවේ ප්‍රභල ආධාරකරුවන් ට අද ඇතැම් තැන් වලදී විකල්ප ධාරාවේ දේශපාලන පක්ෂ වල අපෙක්ෂකත්වය ලැබි ඇත .පුදුමය සහ හාස්‍යජනක ජනක කරුණ වන්නේ එදා අල්ලස්,දූෂණ මෙන්ම මැරකම් සදහා චෝදනා ලද බොහොමයක් අද විකල්ප ධාරාවලට අයත් පක්ෂ වලින් තරග කිරීමයි. මෙය මේ රටේ පොදු ඡන්ද දායකයින් ගේ අභිමානය ට කළ බරපතළ නිගරුවක් පමණක් නොව ජංද දායකයින් ගේ අපේක්ෂාවන් ද සුනු විසුණු කිරීමකි.අනිත් අතට මෙය ප්‍රජාතන්ත්‍රවාදය ඉතා බරපතළ ලෙස හෑල්ලු කිරීමකි.

එදා දූෂිතයන් අද විකල්ප ධරාවේ පක්ෂයකින් ඡංදය ඉල්ලූ විට සද් ගුණවත් අපේක්ෂකයින් වේද ? මෙය කවර නම් දේශපාලන න්‍යායක් ද ? මාක්ස්වාදී හෝ වේවා , ධනවාදී හෝ වේවා ජාතිකවාදී හෝ වේවා කවර හෝ මතවාදයකින් උක්ත අපේක්ෂකයින් ගේ පාරිශුද්ධ භාවය පිළිබඳව සහතික විය හැකිද ? පළාත් පාලන ආයතන වල මැම්බර් මහත්වරු සහ නෝනලා බහුතරයක් පිළිබඳව මේ රටේ ජනතාව අතර ප්‍රසාදය ක් නොමැති බව සාමාන්‍ය කරුණක් වේ. ඔවුන් ගෙන් බොහෝ දෙනෙක් කළ කී දේවල් හුදු ඔවුන්ගේ සහ ඔවුන් ගේ පවුල් වල පූර්ණ සුබසාධනය සදහා ම වූ බව නොරහසකි .

එවන් ජරාජීර්ණ වූ දේශපාලන චරිත වලට ආණ්ඩු විරෝධී පක්ෂ වල දොරටු විවෘත වන්නේ කුමන අනුහසකින් ද? හැත්තෑ පස් වසරක් තිස්සේ මේ රටේ ඡන්ද භාවිතයේ නියත රටාව දෙදුරුම් කෑමට ඉදුරාම පසුබිම සැකසෙන මොහොත මෙවන් ජරා ජීර්ණ වූ චරිත වෙස් ගන්වා ඔවුන් ගේ ජනප්‍රියත්වය හරහා තමන් ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමේ අතිශය බාල   එහෙත් අතිශය භයානක උපක්‍රමයක් ලෙස මෙය සැලකිය හැක . මෙවන් දූෂිත චරිත ඡන්ද දායකයින් ගේ කණින් රිංගා වැඩි මනාප ගතහොත් ඔය කියන පරමාදර්ශී පළාත් පාලන සභාව හුදු හිතලුවක් පමණි .

කෙසේ වෙතත් මේ අවස්ථාවේ දී මේ රටේ ඡන්ද දායකයින් ට ගත හැකි එකම විසදුම වන්නේ එවන් පත්තක්කා දේශපාලනයේ කෙළ පැමිණි දූෂිතයන් වෙනුවෙන් ඡන්ද භාවිතා නොකර  එකී පක්ෂයේ වඩාත් ප්‍රගතිශීලී අපේක්ෂකයින් වෙනුවෙන් සිය කතිරය සලකුණු කිරීමය.

තවද අසූවේ දශකයේ දී අප අත් දුටු පත්තක්කා දේශපාලනය ට වඩා මේ වන විට පවතින පත්තක්කා දේශපාලනය ඉතා දියුණු මට්ටමක පවතී. වඩාත් පැහැදිලි ලෙස ප්‍රකාශ කරනවා නම් මේ අප අත් විදින්නේ පත්තක්කා දේශපාලනයේ අති උච්චම අවස්ථාව ය.

මේ දේශපාලන ලියවිල්ලේ ගැඹුර වටහා ගැනීමට මෙය කියවන දේශපාලන පක්ෂ වල නයුවන ට හැකි වෙතැයි හගින අතර කෙතරම් ජනප්‍රිය දේශපාලන ව්‍යාපාරයක් වුවත් එහි නායකකාරකාදීන් ගේ පෞද්ගලික සහ පොදු දුර්වලතා නිසා ඇද වැටීම කිසිවෙකු පාලනය කළ නොහැකි බව ඉතිහාසය සාක්ෂ්‍ය  දරයි. ඉන්දියාවේ බලගතු ම මාක්ස්වාදී ප්‍රාන්ත ආණ්ඩුව වූ බටහිර බෙංගාල ප්‍රාන්ත ආණ්ඩුව අවුරුදු විසි පහකට පසු යළි කෙලින්   කර ගත නොහැකි ලෙස ඇද වැටුණු අවස්ථාවේ දී එම ආණ්ඩුවේ වූ පරාජය ට පත් වූ මහ ඇමති වන ජෝති බාසු පිළිබඳව එවකට දේශපාලන විචාරකයකු මෙසේ ලියා තිබුණි.

“Basu’s greatest strength was his greatest weakness.”

“බාසූ ගේ මහා ශක්තිය වූයේ ඔහුගේ ඉහලම දුර්වලතාය”. ඉහත ප්‍රකාශය එහි වචනාර්ථයෙන් නොව ඊට වඩා පුළුල් ලෙස අවබෝධ කර ගැනීම

සියලුම දේශපාලන නායකයින් ට හිතකර වේ.

~ එස් .එම්.ජයසූරිය ~

Your email address will not be published. Required fields are marked *