චන්දය කල්දැමීම කුහක දේශපාලන වෑයමකි

චන්දය කල්දැමීම කුහක දේශපාලන වෑයමකි

207 views
0

1931 වර්ෂයේදී ඩොනමෝර් කොමිෂමේ යෝජනා අනුව ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුනේය. සර්වජන ඡන්ද බලය මගින් සිදුවන්නේ, පරමාධිපත්‍ය බලය ජනතාව සතු වීමයි. තවත් විදිහකට කීවොත් තමන් පිළිබඳව හා රට පිළිබඳව තීරණ ගැනීමේ අයිතිය රටවැසියා සතුවීමයි. රාජාණ්ඩු ක්‍රම වලදී මෙම කරුණු පිළිබඳ ප්‍රධාන තීරකයා රජු විය. රාජාණ්ඩු ක්‍රමය වෙනස් කොට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම පදනම් වූ ජනරජ බිහිවීමට මූලික පදනම වූයේ සර්වජන ඡන්ද බලයයි. ජනතාව රාජ්‍ය පාලනයට සම්බන්ධ වන්නේ සර්වජන ඡන්ද බලය මගිනි.

නවීන ලෝකයේ රටවල පාලන ක්‍රම අතර, බහුතරයක් රටවල් හොඳම පාලන ක්‍රමය ලෙස සළකන්නේ “ප්‍රජාතන්ත්‍රවාදී” පාලන ක්‍රමයයි. මහජන නියෝජිතයින් ජනතා ඡන්දයෙන් තෝරා ගැනීමත්, ඒ අනුව රටවැසියනට රටේ පාලනයට සුදුසු යයි සලකන නියෝජිතයන් හා ආණ්ඩු තෝරා පත්කර ගැනීමටත් තමන් අකමැති ආණ්ඩු වෙනස් කිරීමටත් බලය ලැබෙන්නේ මෙම සර්වජන ඡන්දය මගිනි. මේ නිසා දේශපාලනඥයන්ට ජනතාව මත යැපීමට සිදුවී ඇත. ආණ්ඩු කරන්නන් රටේ භාරකරුවන් වන අතර, රටක අයිතිකරුවන් වන්නේ මහජනතාවය. මහජනතාවගේ අදහස්වලට, කැමැත්තට විරුද්ධව ක්‍රියා කිරීමට ආණ්ඩුවලට හැකියාවක් නොමැති අතර, එවිට ඔවුන් ඉවත් කිරීමේ බලය, සර්වජන ඡන්දය මගින් ජනතාව සතුවේ.

පළමුව පළාත් පාලන මැතිවරණය පවත්වයි ද, නැතහොත් ජනාධිපතිවරණයක් හෝ මහා මැතිවරණයක් මේ වසර තුළ පවත්වන්නේ   දැයි යන්න පිළිබඳ දේශපාලන පක්ෂ අතර මෙම වසරේ මුල සිට පැවතියේ අවිනිශ්චිත බවකි. නමුත් 2023 වසර මැතිවරණ වසරක් වනු ඇතැයි යන සේයා පෙන්නුම් කරමින්, පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ දැන්වීම ජනවාරි 04 වනදා නිකුත් කිරීම මගින් කෙරිණ.

ඒ අනුව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා  නිවේදනය නිකුත් කරමින් ජනවාරි 18 වැනිදා සිට ජනවාරි 21 වැනිදා දහවල් 12 දක්වා ඒ ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දී නාමයෝජනා භාරගන්නා බව සියලුම අපේක්ෂකයින් මුද්‍රිත හා ශ්‍රව්‍ය යන මාද්‍ය මගින් දැනුවත් කරන ලදි.

මේ අතර විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර  යන අය ඡන්ද විමසීම කල් දමන ලෙස අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකරන ලදි. එමනිසා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම තුළින් රටට හෝ මහජනතාවට කිසිදු යහපතක් අත්නොවන බව පෙන්වා දී ඇති ඔහු, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ, මැතිවරණ කටයුතු කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් මැතිවරණ කොමිසමට නිකුත් කරන ලෙසය.

මෙයද මේ කාලේදී දේශපාලන කරලියේ කතා බහට ලක් වුයේ ඉතා රසබර ලෙසය. සැබෑ ලෙසම මෙම ඡන්දය පැවැත්වීමට නියමිතව තිබුණේ 2022 මාර්තු 19ට පෙර වු නමුත් එය කල් දැමීමට හේතුව වූයේ එවක මෙරට පැවති කොවිඩ් 19 වසංගතය හේතුවෙනි. මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වන විට 2023 මාර්තු 09වැනිදා පැවැත්වීමට දින නියම කර තිබු නමුත් තැන තැන ආරංචි යන්න පටන් ගන්නා ලද්දේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට භාණ්ඩාගාරයේ මුදල් නොමැති නිසාවෙන් නියමිත වූ දිනට ඡන්දය නොපැවෙත්න බවත්, ඡන්දය දින නියමයක් නොමැතිව කල්‍ යන බව සමහර දේශපාලන අධිකාරීයේ මිනිසුන් හා රටේ ජනතාව අතර මතයක් පැන නගින ලදි. 

පොලිස් දෙපාර්තමේන්තුව පෙන්වාදී ඇත්තේ ඉන්ධන ඇතුළු අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන නියමිත පරිදි නොලැබෙන බැවින්, මැතිවරණ රාජකාරි නියමිත පරිදි ඉටුකිරීම ගැටලුසහගත බවය. ඒවගේම ජනාධිපතිතුමා විසින් රජයේ වියදම් තවදුරටත් සීමා කිරීමට උපදෙස් ලබාදුන් බව පවසමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනවාරි 31වැනිදා ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමත් සමගිනි.

වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධන වියදම්, වෛද්‍ය සැපයීම්, ණය සේවාකරණය සහ අංක 01/2023 සහ අංක 09/2022 යන අය-වැය චක්‍රලේඛ මඟින් ප්‍රමුඛතා කර ඇති අත්‍යවශ්‍ය වියදම් සඳහා පමණක් එකී මුදල් නිදහස් කිරීමට භාණ්ඩාගාරය කටයුතු කරන බව සඳහන් කර තිබේ.

මෙම කොන්දේසිවලට පටහැනිව යම් බැඳීමක් නිලධාරීන් විසින් ඇති කර නොගත යුතු අතර, එවැනි නියමයන් කඩ කරන නිලධාරීන් පෞද්ගලිකවම ඒ සඳහා වගකිව යුතු බවද අදාළ චක්‍රලේඛයේ දක්වා ඇත.

ඒ අනුව විපක්ෂ දේශපාලන අදහස් දක්වන්නන්, අපේක්ෂකයින් හා ජනතාව විසින් කතා කරන්නට පටන් ගත්තෙ ඡන්දය කල්යාම රජය විසින් කරන උප්පරවැට්ටියක් බවයි.

ආණ්ඩුව මැතිවරණ කොමිසම ඇතුළේ බෙදීමක් ඇති බව කියමින් ඡන්දය කල් දැමීමට උත්සාහ කළේය. එය අවසන් වූයේ කොමිසමේ සාමාජිකයන් පස්දෙනාම මාධ්‍ය හමුවට පැමිණ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුවය. පසුව ආණ්ඩුව පසුගිය කාලය පුරාම කියමින් සිටියේ ආර්ථික අර්බූද හේතුවෙන් මැතිවරණ පැවැත්වීමට මුදල් නැති බවත්, අඩුම තරමින් රාජ්‍ය සේවක වැටුප් හෝ ගෙවීමට මුදල් නොමැති බවත්ය. උපකල්පනය කෙරෙන ප්‍රවෘත්ති රැසක්ම ගෙවීගිය සති කිහිපයක කාලය ඇතුළත වාර්තා විය.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන පළාත් පාලන ඡන්දය මාස 4කින් පමණ කල් දැමෙනු ඇතැයි වාර්තාවේ.

රජයට ජනමතයක් නොමැති බැවින් ජනතාවට එය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත් රජය 75 වැනි නිදහස් දින සැමරුම හා අනෙකුත් වියදම් කපාහැරීමකින් තොරව පවත්වාගෙන යමින් මැතිවරණය පමණක් පැවැත්වීමට මුදල් නොමැති බවට ප්‍රකාශ කිරීම හාස්‍යයට කරුණක් බව විටෙක දැනේ.


රජයට විරුද්ධ ජනමතය ගොඩ නැගී ඇති බව දන්නා රජය හොර රහසේම විවිධ හේතුන් දන්වා ඡන්දය කල් දැමීමට උත්සහා කරයි. සර්වබල ඡන්ද බලය හිමි ශ්‍රි ලාංකික ජනතාවට ජනමතය පැවසීමට කාලය එලඹෙන්නෙ කවදාදැයි දැන් ජනතාව ඇගිලි ගනිමින් සිටියි.

විටෙක මෙම ඡන්දය කල් දැමීම සම්පූර්ණ නාට්‍යයක් බවද හැගේ. මක් නිසාද යත් මෙයට අරගල කරන්නට පෙරට තරුණයින් පැමීණිමට කටයුතු කිරීම ඒ අරගලයන් වලින් රජය වාසි ලබා ගැනීමට හැකි ආකාරයෙන් හැසිරීමට ද ඉඩකඩ බෙහෙවින් ඇති බවත් අපට හැගේ. මේ නිසා අපට හැගෙන්නේ මේ ඡන්දය කල් දැමීම නාට්‍යක පිටපතක් ද? යන්න ප්‍රශ්නයක් නැගේ.

~ කරුණාරත්න දිසානායක ~

Your email address will not be published. Required fields are marked *