සිංහයා, වෘකයා සහ නරියා

340 views
0

කවදත් රජෙක් යයි කියාගත්, සිංහයෙකු වයසට ගොස්, හොඳටම ඔත්පලව තම සිහලෙනේ වැටී උන්නා. සිංහයා කොයිතරම්  ලෙඩ වුනාද කියතොත්, රාජපාක්ෂිකවූ බොහොමයක් සත්තු – විශේෂයෙන්ම අනුන්ගේ මස් මාංශ වලින් පෝෂණය වන සත්තු, දොළ පිදෙනිද රැගෙන දිනපතා රජාව බැහැදකින්න ගියා.

දිනක් බොහෝ තරාතිරම් වල සතුන් එක්රැස්වී, හැමෝම එකතුව, තම රාජපාක්ෂික භාවය, ක්‍රමයෙන් වැහැරී යන සිංහ රාජයාට පලකිරීම සඳහා , ඔහු බැහැදැකීමට යායුතුයයි තීරණය කලා. නමුත් මේ කටයුත්තට නරි හාමිව හොයාගන්න බැරිවුනා. ඉතින් අනෙක් බොහෝ සතුන් නරිහාමී නැතිව සිංහ වන්දනාවට ගියා. මෙයට තවත් හේතුවක් වුනේ තමන් ශාක භක්ෂක වුවත්, තමන්ගේ රීරි මාංශ මහා එවුන්ගේ රසමසවුළු වන නිසා, හාවුන් මීමින්නන් වගේ කුඩා අහිංසක සතුන් සිංහ ලෙනට තනි පංගලමේ යාමට අකමැති වීමයි. මේ ගමන් වලදී වෘකයා හැමවිටම ඉස්සරහින්ම ගියා. සිංහයා මුණගැසී මුලික අචාර සමාචාරයෙන් පසුව, වන්දීභට්ටකම් වලට කප්ගහපු වෘකයා තම රාජපාක්ෂික බව උළුප්පමින් නරියාගේ උද්දච්ච කමත්, කපටිකමුත් හැමෝම එකතුව කරන රජෙක් සම්බන්ධ වැදගත් කටයුත්තක් මගහැරීමට තරම් ගරු සරු නැති කමත් ගැන සිංහයාට පැමිණිලි කරන්නට තියා ගත්තා. ලොම් හැලුන සිංහයාත් වෘකයාගේ පැමිණිල්ල ඉතා සාවධානව අසා සිටියා. මේ අතරේ නරියා ඉතා ගරු ඝාම්බීරව සිංහ ලෙනට ඇතුළු වුනා.

නරිහාමිට හුස්මක් කටක් ගන්නටත් ඉස්පාසුවක් නොදී, සිංහයා ලෙඩ මරගාතේම නරිගේ බොටුවට කඩාපැන, තමාට කර ඇති නොහොබිනා අපහාස වලට නොමරන්න හේතු දක්වන්නයයි ගෝරනාඩු දෙන්න පටන්ගත්තා. නරිහාමී මරණ භයින් සලිතවී තමාගේ නිදහසට ඇති කාරනා කියාගෙන ගියා. ” අනේ දේවයන් වහන්ස, මා මෙතෙන ඉන්නා අනෙක් ගොම බෙටි වගේ නිකමෙක් නොවේ, ඔබ බැහැදකින්න එන්නට පමාවුනේ, එන්නෙට කලින් ඔබතුමාව ඉක්මනින් සුවපත් කරගැනීමට රාජකීය වෙදෙක් ගෙන් වෙදකමක් අහන්න ගිය නිසයි” , නරියා එසේ කීවද, ගෝරනාඩුව නොනැවතු සිංහයා “කියාපිය බොල ඒ වෙදකම මොකක්ද කියා” බෙරිහන් දුන්නා. 

නරියා වෙවුල වෙවුලා කියා සිටියේ “වෙදකම නම් වෘකයෙකු මර හමගසා, එහි රස්නය පවතිත්දීම, වෘක හම, සිංහයා පොරවාගෙන සිටීමෙන්, සියලු ලෙඩ රෝග නිවාරණවී, ඉක්මනින් සුවපත්වන බවයි”. මෙය කන වැකුණ විගසම සිංහයා, වෘකයා මරා හමගසා උණු උණුවෙම  රැගෙන එන ලෙස ආරක්ෂක සතුනට විධාන කලා.

මරණ භයින් ලතෝනි දෙන වෘකයා දෙසබලා නරිහාමී මෙසේ මිමිනුවා ” තමනට ලකුණු දමාගැනීමට, අනුන් අමාරුවේ දැමීමට යාමෙන්, තමන්ගේ නමත්, හමත් පනත් නැතිවිය හැක”

Your email address will not be published. Required fields are marked *