නීතිය ඉටුකිරීමට මිස දුෂණය කිරීමට නොවේ

නීතිය ඉටුකිරීමට මිස දුෂණය කිරීමට නොවේ

191 views
0

පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කළ මුදල් රඳවා තබා ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය, මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

පළාත් පාලන මැතිවරණයට අදාළ එම අතුරු තහනම් නියෝගය ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ගේ ක්‍රියා කලාපය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් වශයෙන් සලකන  ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත, කථානායකවරයා ගෙන් ඉල්ලීමක් කර තිබේ. කථානායකවරයා එම ඉල්ලීම පිළිගෙන ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කර ඇත.  

ආණ්ඩුවේ මෙකී ප්‍රතිචාරය හේතුවෙන් මේ වන විට, අධිකරණයේ ස්වාධීනත්වයට ආණ්ඩුවේ අත පෙවීම  පිළිබඳ සංවාදයක් මතුව තිබේ.

අධිකරණය තම ස්වාධීනත්වය කෙතරම් ආරක්ෂා කර ගෙන තිබේ ද? දැනට අධිකරණය භුක්ති විඳින ස්වාධීනත්වයට සහ ප්‍රජාතන්ත්‍රවාදයේ යහ පැවැත්මට ආණ්ඩුවේ වත්මන් පිළිවෙත කවර ආකාරයෙන් බලපානු ඇති ද? යන වග සාකච්ඡා කරන්නට මේ සුදුසු අවස්ථාවකි.

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යනු රටක ප්‍රජාතන්ත්‍රවාදයේ මූලයන් බව සියල්ලන් දන්නා කරුණකි. විධායකය හෝ ව්‍යවස්ථාදායකය අධිකරණයේ ස්වාධීනත්වයට එරෙහිව මැදිහත් වීම සේම විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ පදයට අධිකරණය කටයුතු කිරීමද වරදකි.

නීතිය සහ යුක්තිය පිළිබඳ සංකල්ප බොහෝ විට ව්‍යාකූල වන අතර බොහෝ දෙනා වැරදි ලෙස අර්ථකථනය කරයි. දෙකම දැඩි ලෙස සම්බන්ධ වුවද, ඒ සංකල්ප දෙක එකක් නොවේ. යුක්තිය යනු අයිතිවාසිකම්වල සමානාත්මතාවය, සාධාරණත්වය සහ සදාචාරය මත පදනම් වූ පුළුල් සංකල්පයකි. නීතිය යනු රජයන් සහ ජාත්‍යන්තර ආයතන විසින් ඒ ඒ රටවල ව්‍යවස්ථාපිත රාමුවක් තුල ඇති කරන ලද රෙගුලාසි සහ ප්‍රමිතීන්ගෙන් සමන්විත වන අතර එය යුක්තිය පිළිබඳ සංකල්පය මත පදනම් වේ (හෝ විය යුතුය). නීතිය යනු පුරවැසියන්ගේ සහ රජයේම ක්‍රියාවන් සෑම අංශයකින්ම නියාමනය කරන ලිඛිත සම්මතයන් වේ.

අපගේ අනුලංඝනීය අයිතිය වන්නේ ලංකාවේ නීති පද්ධතිය හරහා, මේ සංකල්ප දෙකම කෙසේ වෙතත්, නීතිය ආධිපත්‍යය වත් රටේ සියලුම පුරවැසියන් වෙනුවෙන් එක සමාන ලෙස ඉටුකරවා ගැනීම සදහා අරගල කිරීමයි.

මෑත කාලීන අධිකරණ ක්‍රියාවලිය තුළ  කැපී පෙනෙන සිද්ධි දාමයක් තිබේ. එනම් ආණ්ඩුවේ වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව පවතින නඩු නීතිපති දෙපාර්තමේන්තුව විසින් හකුළා ගනු ලැබීමය. ඉවත් කර ගන්නට නම් නඩු පවරනු ලැබුවේ මන්ද? යන ප්‍රශ්නය අධිකරණය විසින් විමසන ලද බවක් දක්නට නැත. එසේ නඩු ඉවත් කර ගැනීමෙන් පෙනෙන්නේ; එක්කෝ යම් හේතුවක් නිසා වරදක් නොකළ පුද්ගලයකුට නඩු පවරා ඇති බවය. නැතහොත්, වරදක් කළ තැනැත්තකුට විරුද්ධව පැවරූ නඩු යම් හේතුවක් මත ඉවත් කර ගන්නා බව ය. මේ දෙකම වරදකි.  වර්තමාන පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සම්බන්ධ නඩුවක තීන්දුව ද ඒ ආකාර ගැටලු සහගත එකකි. බැසිල් රාජපක්ෂ මහතා ද වරක් නඩු ඉවත් කර ගැනීම හා සම්බන්ධ ප්‍රකාශයක් කළේය.

නීතිය වාසියට හරවා ගෙන තම අරමුණු ඉටු කර ගැනීමට සුදුසු පරිසරය සකසා ගන්නට  පාලකයෝ ද උපක්‍රමශීලී වෙති. ඒ නීතිපති, අගවිනිසුරු, විනිසුරන් පත් කිරීමේ බලය සියතට ගැනීමෙනි. මහින්ද රාජපක්ෂ යුගයේ ඊට උදාහරණ අවශ්‍ය පමණට තිබේ.

නිවෙසට යමින් සිටිය දී අරලියගහ මන්දිරයට කැඳවා ඊවා වනසුන්දරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුරක් දීම ඉන් එකකි. යහ පාලන සමයේ ඊවා ඊට කෘතගුණ දැක්වූවේ, ගෝඨාභය   රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළකන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙනි. ජනාධිපති නිවසට අවුරුදු ගමන් ගිය, ජනාධිපති පුතුන්ගේ රග්බි තරග නරඹන්නට ගිය මොහාන් පීරිස් වැනි අගවිනිසුරන් ලංකා ඉතිහාසයට එකතු වන්නට හේතු වන්නේත් එයය.

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග කමිටු වාර්තාව නීතිවිරෝධී බැවින් අවලංගු කළ ශ්‍රී ස්කන්ධ රාජා, අනිල් ගුණරත්න, ඒ ඩබ්ලියු ඒ සලාම් යන විනිසුරු මඩුල්ල කෙරෙහි මහින්ද රාජපක්ෂ අනුගමනය කළේ පළිගැනීමේ පිළිවෙතකි. ස්කන්ධ රාජා නැවත පත් නො කිරීමට කටයුතු කළ  මහින්ද ඔහු වෙනුවට ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ පුද්ගලයකු පත් කළ අතර අනිල් ගුණරත්න සහ සලාම් සම්බන්ධයෙන් ද එවැනි ම පිළිවෙතක පිහිටා කටයුතු කළේය.  සර්වබලධාරි විධායකයකට එරෙහි වන ඍජු පිළිවෙත් ඇති විනිසුරන්ට අත්වන ඉරණම පිළිබඳ එය සාක්ෂියකි.

පළාත් පාලන මැතිවරණයට වෙන් කළ  මුදල් නිදහස් කරනු යන නියෝගය පැනවූ විනිසුරු මඩුල්ල  බඳුව ඍජු පිළිවෙතින් කටයුතු කළ විනිසුරෝ අතීතයේත් උන්හ. වික්ටර් තෙන්නකෝන් යනු එවැනි අයෙකි. සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ සොහොයුරු මැකී රත්වත්තේ අල්ලස් නඩුවක පටලැවීමට එවක එජාප ආණ්ඩුව ගත් තැත නඩු නිමිත්තක් නැතැයි ප්‍රතික්ෂේප කළ නීතිපතිවරයා වික්ටර්  ය. හෙතෙම අභියාචනාධිකරණයට පත්වූ පසු ඊළඟ නීතිපති ලවා ආණ්ඩුව මැකී රත්වත්තේට නඩු පැවරූ නමුත් වික්ටර් ගේ මතය නිවැරදි බව ඔප්පු කරමින් නඩුව ප්‍රතික්ෂේප කළේය. අධිකරණයට ආණ්ඩුවේ අත පෙවීම පිළිබඳ ඉතිහාසය එසේ වන අතරම පසු කාලයේ ආණ්ඩු අසතුටට පත්කළ විනිසුරන් ගේ ඉරණම වික්ටර් තෙන්නකෝන් තරමට සතුටුදායක ද නැත.

තමා අගවිනිසුරු  ධුරයට පත් කළ  ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ අමනාපයට ලක් වූ නෙවිල් සමරකෝන් ට දෝෂාභියෝගයකට ලක් වන්නට සිදු විය. අගවිනිසුරුවරයකුට එල්ල කළ පළමු දෝෂාභියෝගය එය ය. 13වන සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් සහ ජනමත විචාරණයක් අවශ්‍යය යන මතය දැරූ රාජා වනසුන්දරට ජ්‍යෙෂ්ඨත්වය අනුව අගවිනිසුරු ධූරය හිමි විය යුතු වුව ඔහු පිළිබඳ සැකය හේතුවෙන් ධූරයට පත් කරන්නට ජේ ආර් ඔහුගෙන් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපියක් ඉල්ලා සිටියේ ය. නමුත් ඔහු ඊට එකඟ වූයේ නැත. ආණ්ඩුවලට විරුද්ධ නඩු තීන්දු හේතුවෙන් ධූරය අහිමි කරගත් මාක් ප්‍රනාන්දු , ශිරාණි බණ්ඩාරනායක වැන්නන් ද  අධිකරණ ක්ෂේත්‍රයේ සිටියහ. එසේම, හෙල්පින් හම්බන්තොට සුනාමි මුදල් නඩුවෙන් මහින්ද රාජපක්ෂ සිරගත නොකිරීම සම්බන්ධව ජනතාවගෙන් සමාව ඉල්ලූ සරත් එන් සිල්වා වැන්නන් ද ඒ අතර සිටී. වැදගත්ම කාරණය වන්නේ එතරම් බරපතළ සහ වැරදි සහගත නඩු තීන්දුවක් දී අධිකරණයේ ස්වාධීනත්වය කෙළෙසූ සරත් එන් සිල්වා, ඒ බව ප්‍රශිද්ධියේ ප්‍රකාශ කළ පසුත් නිරුපද්‍රිතව සිටීමය. අධිකරණයේ සැබෑ තත්වය එය නම් ආණ්ඩුවෙන් පමණක් නොව අධිකරණයෙන් පවා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගන්නට ජනතාව උත්සුක විය යුතුය.

~ ඝෝෂක මනුසිංහ ~

Your email address will not be published. Required fields are marked *