<strong>ස්ත්‍රීවාදය හා කාන්තා දින සැමරැම</strong>

ස්ත්‍රීවාදය හා කාන්තා දින සැමරැම

366 views
1

ස්ත්‍රීවාදය (Feminism) යනු හුදෙක්ම වාදය ඉක්මවා යන භාවාර්ථ ඇති කරන චින්තාවකි; එසේම ස්ත්‍රි පුරුෂ භාවය නොසලකා සියලු මිනිසුන් එක හා සමානයයි යනුවෙන් ඇති කරගන්නා හැඟීමයි. පීතෘ මූලික සමාජය තුළ කාන්තාවට ආගමික සාමාජීය දේශපාලනික අයිතිය යම් සීමාවකට පත් ඇති බවට මානව ඉතිහාසය ආරම්භයේ සිට අද දක්වා ම ගැටෙන මතවාදයකි. එම නිසා 18, 19 හා 20 වන සියවස් තුළ සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන මාතෘකාවක් ලෙස ස්ත්‍රීවාදය හැඳින්විය හැකිය.

ආදි ඉන්දීය ශිෂ්ටාචාරවාසීන් විසින් මාතෘ දේව වන්දනාව සිදු කර තිබීමෙන් කාන්තාවට මුල්කාලීනව ඉහළ තැනක් හිමිව තිබූ බවට ඉතිහාසය සාක්ෂ්‍ය දරයි. නමුත් ප්‍රශ්චාත්කාලීනව බ්‍රාහ්මණ දහම හා වෙනත් දර්ශන නිසා ද, යුද්ධ හා නිෂ්පාදන සඳහා පුරුෂ ශ්‍රමය වඩාත් අවශ්‍ය වූ නිසාවෙන් ද, ජීවවිද්‍යාත්මක මනෝවිද්‍යාත්මක හා සමාජවිද්‍යාත්මකව පිරිමියා හා කාන්තාව අතර පවතින වෙනස් කම් නිසා ද සමාජය ක්‍රමයෙන් පිරිමියා මූලික කරගත්තක් බවට පත්විය. පවුල පීතෘ මූලික විය. තීන්දු තීරණ ගැනීමේ අයිතිය පිරිමියා සතු විය. ස්ත්‍රියට ස්වභාවිකව උරුම වූ ප්‍රජනන කාර්ය නිසා දරුවන් වැදීම හා අවශේෂ කටයුතු ඇයගේ ජීවන චක්‍රයේ යම් යම් සීමාවන් ලකුණු කරන්නට විය.

දහඅට වන සියවසේ දී කාන්තාව මුහුණ දුන් පීඩාවන් නිසා ස්ත්‍රීවාදය පිළිබඳ නොයෙක් කතිකාවන් ආරම්භ වන්නට විය. ප්‍රංශ ජාතික චාල්ස් විසින් ස්ත්‍රීවාදය (Feminism) යන නාමකරණය සිදු කිරීම එහි සුවිශේෂී සන්ධිස්ථානයකි.  ඉන් පසුව ස්ත්‍රිය සම්බන්ධ සියලු මතවාදී ඝට්ටනයන් මෙනමින් හඳුන්වන්නට පටන් ගත්හ. ජොන් ස්ටුවට් මිල්, ‍‍‍ෙෆඩ්රික් එංගල්ස්, හෙන්රික් ඉබ්සන් ආදි පුරැෂයන් සේ ම, ලුසී ස්ටෝන්, කේට් මිලට් ආදි කාන්තාවන් ද ස්ත්‍රීවාදය ජනගත කිරීම සඳහා පුරෝගාමී වූහ. ඔව්හු කාන්තාවට අධ්‍යාපනය ලැබීමේ අයිතිය, වෘත්තියක නියැලීමේ අයිතිය, ඡන්ද අයිතිය දේපල හිමිකාරීත්වයේ හා පාලනයේ අයිතිය කසාඳ බැඳීමේ නිදහස (තමන් කැමැති පිරිමියෙකු තෝරා ගැනීමේ නිදහස), දරැවන් හැදීම හෝ අවශ්‍යනම් උපත් පාලනය කිරීමේ අයිතිය, කොටින් ම පුරැෂයෙකු හා සමව කටයුතු කිරීමේ හා ජීවත්වීමේ අයිතිය ඉල්ලා  සිටියහ. ඒ අතුරින් ලිංගිකත්වය පුරැෂයාට පමණක් ඇති අයිතියක් පුරාණයේ සිට පැවැත එන මතයකි. “මගේ සැමියාට වුවමනා වන ඕනෑම විටෙක මගේ සිරැර ඔහුට අවනත කළ යුතුය ඒ ගැන කැමැත්ත හෝ අකැමැත්ත පළ කිරීමේ අයිතියක් මට නැත මෛථුන්‍යයට මම බිය වෙමි. එයින් මට කිසි ප්‍රීතියක් ගෙන නොදෙයි” (භාසින් 1994). මින් ලිංගිකත්වය පුරැෂයාට පමණක් නොව ස්ත්‍රියට ද අයත් අයිතිවාසිකමක් වන බවත් එකී අවශ්‍යතාව ලැබීමේ හෝ ලබාදීමේ අයිතිය ඇයට ද හිමිවිය යුතු බවට විසිවන සියවසෙන් පසු සමාජය තුළ උත්පන්න අදහසකි.

මෙසේ කාන්තාවන් තමන්ට සීමා වූ නොයෙකුත් සමාජ වාරණයන් ඉවත් කර ගැනීම උදෙසා සටන් කිරීමට පටන් ගැනීම නව දාර්ශනික මතවාදන්යන්ගේ ඇරඹුමකි. එහි තීරණාත්මක අවස්ථාවක් ලෙස නිව්යෝර්ක් නගරයේ කාන්තාවන් විසින් සිදුකරන ලද පාගමන හැඳින්විය හැකිය. ඊට කාන්තාවන් 15000 ක් පමණ සහභාගී වූ අතර ම ඔවුන්ගේ ඉල්ලීම් වූයේ වැඩ කරන පැය ගණන අඩු කර වඩා හොඳ වැටුපක් දෙන ලෙසත් එසේම ඡන්ද අයිතිය ලබා දෙන ලෙසත් ය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන් අවුරැද්දකට පසුව ඇමෙරිකාවේ සමාජවාදී පක්ෂය විසින් පළමු කාන්තා දිනය නම් කරන ලදි. එම දිනය ජාත්‍යන්තරව පිළිගත් දිනයක් බවට පත් කර ගැනීමට කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි සමාජ ක්‍රියාකාරිනියක වන ක්ලාරා සෙට්කින්ගේ උත්සහය අගය කළ යුතුමය. 1910 වර්ෂයේ වැඩ කරන කාන්තාවන්ගේ ජාත්‍යයන්තර සමුලුවක දී ඇය මාර්තු 08 වන දින ජාත්‍යයන්තර කාන්තා දිනය ලෙස නම් විය යුතු බවට යෝජනා කළ අතර එම යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත වීම ස්ත්‍රීවාද සංකල්පය මතවාදීව ලැබූ ජයග්‍රහණයකි.

ලෝකයේ සෑම සාහිත්‍යයක ම නාරි දේහය ගැන ශුංගාරාත්මකව වර්ණනා වුව ද නිරන්තරව ඇයගේ චිත්තය පිළිබඳ නිර්දය විවේචන එල්ල විය. ඇය රතිය හා දාරක උත්පත්තිය හා සුපෝෂණය සඳහා වූ මෙවලමක් ලෙස සළකා කටයුතු කළ  බවට සාක්ෂ්‍ය බොහෝ ය. වර්තමානයේ ඇයට සියයට පණහක නොවූවද යම් වගකීමක් හා අයිතිවාසිකම් සෑම අංශයක ම ලැබී ඇති බවක් පෙනේ. තවමත් අන්තවාදය තුළ කාන්තාවට නිදහසක් හිමිව නැති බවට ඇෆ්ගනිස්ථානය හා ඉරානය නිදසුනකි. නමුත් වර්ෂයකට එක දිනක් පමණක් වෙන් කිරීම තුළ ම  ඇය යම් තැනක සීමා කර ඇති බවක් හා කාන්තාව සීමා වී ඇති බවක් පෙනේ.

සරි කර සොබා සිරි

ගැහැණු ඇඟකට ගී කවි

ලියා රස කර රති

තලු මරන උන් පිරිමි

~ එම් ජී අරුණ තිලංක ~

Comments
  • Aruna Liyanaaracchi#1

    March 18, 2023

    Really good article. Definitely, the author has brought out contemporary significant thought.

    Reply

Your email address will not be published. Required fields are marked *