කතිරෙන් පස්සේ අපේ වගකීම් ඉවරද?

කතිරෙන් පස්සේ අපේ වගකීම් ඉවරද?

95 views
1

විවිධ පාලන ක්‍රම අතරින් දැනට පවත්නා හොඳම රාජ්‍ය පාලන ක්‍රමය ලෙස ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය පිළිගෙන ඇත. බොහෝ රටවල් මෙම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට අනුව පාලනය සිදු කරනු ලබයි. ලංකාව ද එම බොහෝ රටවල් වලට අයත් වන රටකි.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යනු මහජනයා විසින් තෝරාගනු ලබන නියෝජිතයින් රාජ්‍ය පාලනය සිදු කරගෙන යාමයි. මෙහිදී  බලය මහජනතාව මත රඳා පවතී, එනම් ජනතා පරමාධිපත්‍ය  මත බලය රඳා පවතී.එනම් තමන් පිළිබඳව හා රට පිළිබඳව තීරණ ගැනීමේ අයිතිය ජනතාව සතුව පැවතීමයි. මෙහිදී ජනතාවට තමන්ව පාලනය කිරීමට සහ තමා පිළිබඳ තීරණ ගැනීමට බලය ඇත. මහජනතාව අතරින් නියෝජිතයන් තෝරා  ගෙන පාලනය මෙහෙවයි.මෙහිදී පාලකයන් ජනතාව මත යැපීම සිදුවේ.කෙසේ හෝ මෙම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය පදනම් වන්නේ සර්ව සර්වජන ඡන්ද බලය මතයි.සර්වජන ඡන්ද බලය ලෙස හඳුන්වනු ලබන්නේ;

 “රටක සුදුසුකම් සැපිරූ සියලු පුරවැසියන්ට ජාතිය,ආගම,භාෂාව,වර්ගය,කුලය,අධ්‍යාපනය,දේපල හිමිකම,උපන් ස්ථානය හා ස්ත්‍රී පුරුෂ බව ආදී කිසිදු වෙනසක් නොමැතිව පාලන බලයට හවුල් වීමට හා තම නියෝජිතයන් පත්කර ගැනීමට ඇති අයිතියයි.”

ශ්‍රී ලංකාවට මුලින්ම සර්ව ජන ඡන්ද බලය ලැබෙන්නේ 1931 වර්ෂයේදී ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හරහා ය. එසේනම් ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන්නට පෙර සිටම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් ලැබී ඇත. එමෙන්ම සර්වජන ඡන්ද බලය ලැබී වසර 92 ක් ගත වී ඇත. බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා වසර 75ක් ද ගතවී ඇත. මෙම වසර 75 මුළුල්ලේම සරවජන ඡන්ද බලය යටතේ පුරවැසියන් තමන්ගේ කතිරය නැතහොත් ඡන්දය ආණ්ඩු මෙන්ම පාලකයන් ද පත් කිරීම සඳහා භාවිතා කර ඇත.

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ නිතරම ඇසෙන්නෙ  “රට කෑවෙ දේශපාලඥයින් ය. අපි අසරණව සිටින්නේ දේශපාලනඥයින් හොරකම් කළ නිසාය.”  යයි පවසන වදන් ය.

ශ්‍රී  ලංකාව සර්වජන ඡන්ද  බලය හිමි ප්‍රජාතන්ත්‍රවාදී රටක්නම් ශ්‍රී ලංකා පුරවැසියන්ට පාලන බලයට සම්බන්ධ වීමට, තමන් වෙනුවෙන් හා රට වෙනුවෙන් තීරණ ගැනීමේ අයිතිය ඇත. ඉහත පැවසූ පරිදි සොරකම් කරන සහ රට කළ දේශපාලනඥයින් පත්කර ඇත්තේද ජනතා පරමාධිපත්‍ය සහිත මහජනතාවයි. ඉතින් අපිට මෙහෙම වුණේ දේශපාලඥයින් නිසාම ද? මෙම ප්‍රශ්නය දෙස සාවධානව බලන විට අපිට මෙහෙම වෙන්න හේතු පැහැදිලිව පෙනේ. එනම් පුරවැසියෙකු ලෙස අපි අපේ වගකීම මෙම වසර 75 මුලුල්ලේ  කතිරෙට පමණක් සීමා කර තිබීමයි.

ඡන්දයක් ආසන්න වෙන විට නිතරම අපි නගන මැසිවිල්ල වනුයේ  ” දේශපාලඥයින්ට අපිව මතක ඡන්ද කාලෙට පමණයි. චන්දි ඉවර උනාම පැත්ත පලාතේ වත් එන්නේ නැහැ” යන ලෙසයි. ඉතිං එය සාධාරණ නො වන්නේ ද? අපිත් මැතිවරණයක් ළංවන විට ඉල්ලපු ගෙදර සිටින මිනිසුන් සමග ද කා කොටා ගනිමින් අපි සහය දක්වන පක්ෂය වෙනුවෙන් හා ඡන්ද අපේක්ෂකයන් වෙනුවෙන් ඡන්ද වැඩි කරගැනීම සඳහා අපි හිස මහන්සි වී වැඩ කරනු ලබයි. ඉන්පසු මැතිවරණ දිනයේ දී අප කැමති පක්ෂය සහ අපේක්ෂකයා වෙත කතිරය ගසා ඡන්දය ප්‍රකාශ කරනු ලබයි. ඉන්පසු මැතිවරණ  ප්‍රතිඵල වෙනුවෙන් බලා සිටී. තමන් කැමති පක්ෂය හෝ අපේක්ෂකයා ජයග්‍රහණය කර ඇත්නම් සතුට ප්‍රකාශ කිරීම ද පරාජය වී ඇත්නම් ශෝකය ප්‍රකාශ කිරීම ද සිදුකරනු ලබයි. මෙතැනින් ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියෙකුගේ වගකීම අවසන් කරනු ලබයි. මෙය ඊළඟ මැතිවරණය දක්වා අවසානයද?

කතිරයක් ගසා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පත්තර ලබන ජනතා නියෝජිතයා තමන්ට අභිමත අයුරින් බලය භාවිතා කිරීම සිදු නොවිය යුතුය.ඔහු යහපාලනය අනුගමනය කළ යුතුය.

මෙම යහපාලනය යනු ;

  • නීතියේ ආධිපත්‍යය
  • විනිවිද පෙනෙන සුළු බව
  • ප්‍රතිචාරාත්මක බව
  • එකඟත්වය
  • සාධාරණත්වය සහ සියල්ලන් ඇතුලත් කරගැනීම
  • ඵලදායිතාව හා කාර්යක්ෂම බව
  • වගවීම

යන සියලු කරුණු සහිතව පාලනය ගෙන යාමයි. (2015-2019 දක්වා වූ ආණ්ඩුව හැඳින්වූ යහපාලනය ඉහත සඳහන් කල යහපාලනය නොවන බව සලකන්න) නමුත් ශ්‍රී ලංකාව තුළ මෙම යහපාලනය ක්‍රියාත්මක නොවේ. දේශපාලකයින් අත්තනෝමතික ලෙස බලය අයුතු ලෙස භාවිතා කරමින් සිටී. ජනතාව එහි පීඩනය දරමින් සිටී.

වර්තමානයේ දී ශ්‍රී ලංකාව තුළ අත්‍යවශ්‍ය ඖෂධ 123 ක් හිගව පවතී. පාසැල් යන දරු දැරියන් දිවා ආහාරය සඳහා පොල් මද රැගෙන එයි. දරුවාට පාසල් යාමට අවශ්‍ය බඩුබාහිරාදිය ලබාගැනීමට මාසික වේතනය ප්‍රමාණවත් නොවේ. දිනකට තුන් වේල කෙසේ වෙතත් එක් වේලක් ලබා ගැනීමද සටනක් වී ඇත. දවසක් තුළ පැය කිහිපයක් අනිවාර්යයෙන්ම විදුලිය නොමැතිව සිටිය යුතුය. විශ්‍රාමික සේවකයින්ට විශ්‍රාමික වැටුප නොලැබීම හේතුවෙන් අසරණ වන්නට සිදුවී ඇත. මේ සියල්ලටම හේතු වී ඇත්තේ මහජනතාව තමා ලබාදුන් ඡන්දයෙන් පසුව සිදුවෙන අයුතුකම් ගැන පසුවිපරමේ සහ එරෙහිව අරගල කිරීමේ තම අයිතිය සහ වගකීම අත්හැරීම හේතුවෙනි.

ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියෙකුගේ වගකීම කතිරයකින් අවසන් නොවේ. ඉන්පසු ඔහු තෝරා පත්කළ මහජන නියෝජිතයා තම වගකීම් නිසි අයුරින් ඉටු කිරීමට බලපෑම් කළ යුතුය. ඔවුන් අත්තනෝමතික ලෙස බලය අයුතු ලෙස යොදවන විට ඊට එරෙහිව නැගී සිටිය යුතුය. ඔවුන්ට යහපාලනයට යටත්ව කටයුතු කිරීමට බලපෑම් කල යුතුය.එසේ නොවන කල ඔවුන්ව බල රහිත කිරීමට එක්ව කටයුතු කළ යුතුය. මෙතෙක් කල් මෙන් චරිත පසුපස හඹා යමින් තමාගේ ඡන්දයේ වටිනාකම බත් පාර්සලයකට,අරක්කු භාගයකට,රුපියල් 500 ක ට සහ ටකරමකට හිලව් නොකොට නිසි තීරණය ගත යුතුය. කතිරයෙන් පසුවද වගකීම ඉටු කිරීමට වගබලාගත යුතුය.ප්‍රජාතන්ත්‍රවාදී රටක සර්වජන ඡන්ද බලය හිමි පුරවැසියෙකු ලෙස මැසිවිලි නැගීමට පමණක් නොව මහජන බලය ද භාවිතා කළ හැකි පුරවැසියෙකු බව පෙන්වමින් නැගී සිටිය යුතු වේ.

~ අරවින්දි පමෝදය ~

Your email address will not be published. Required fields are marked *