ගර්හාවට ලක්විය යුතු නමුදු<strong>, </strong>සංස්ථාගත ලාංකීය කාන්තා ශ්‍රම දුර්භාවිතය

ගර්හාවට ලක්විය යුතු නමුදු, සංස්ථාගත ලාංකීය කාන්තා ශ්‍රම දුර්භාවිතය

47 views
0

කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සදහා අටෝරාශියක් අණ පනත් අප රටේ පවති. සේවක අර්ථසාධක අරමුදල් පනත , සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් පනත, පාරිතෝෂික පනත ඒවායින් කීපයක් පමණි . මෙම සියලුම අණ පනත් බලගැන්වීමේ යාන්ත්‍රණය සතු වන්නේ කම්කරු දෙපාර්තමේන්තුවට ය. මේ සියලුම අණ පනත් සහ යාන්ත්‍රණ එසේ පැවතියද ආසියාවේ කාන්තා ශ්‍රමය සූරා කෑමේ අංක එකේ බලකදවුර බවට

පත් වීමේ  (අ)භාග්‍යය අපට ලැබී ඇත . එයින් බලවත් චිත්ත පීඩනයට පත් වන්නේ මේ රටේ කම්හල් ආශ්‍රිත කාන්තා කම්කරුවන් ය. ඔවුන් ට අනුව නම් අප රට කාන්තා ශ්‍රමය සූරා කෑමේ බලකදවුරක් නොව බලුකදවුරකි. ඒ කෙසේද යත් උක්ත නීති තත්වාකාරයෙන් ක්‍රියාත්මක කිරීම ට තරම් උවමනාවන් හෝ කැක්කුමක් හෝ  අමාරුවක් අප රටේ බලදරුවන්ට ඇත්තේම නැත . එහි අනිවාර්ය ප්‍රතිඵලය වී ඇත්තේ මේ රටේ ඇතැම් කර්මාන්තශාලා වධ කදවුරු බවට පත් වීමය.

කාන්තා ශ්‍රමය සූරා කෑමේ ක්‍රමවේදය කෙතරම් සැහැසි ද යත් ශ්‍රමය සූරා කෑම මතු නොව ලිංගික සූරා කෑම, ශාරීරික හිංසනය සහ මානසික හිංසනය ද එය දිගුවක් බවට පත් වී ඇත . විශේෂයෙන් මේ  රටේ ඇතැම් ඇගලුම් කම්හල් වල කළමනාකාරීත්වය කාන්තාව සලකන්නේ ශ්‍රමිකයකු වශයෙන් නොව වෙළද භාණ්ඩයක් ලෙස ය. කාන්තා කම්කරුවන් පාලනය සහ නියාමනය වන්නේ එක්  එක්   කම්හල් බලදරුවන් ගේ සිතැගි සහ අභිමතය පරිදි බව කටුක යථාර්ථය යි. මෙම බලදරුවන්ට කම්කරු නීතිය තවත් එක් කරදාසියක් පමණි . ඇගලුම් කම්හල් වල සේවිකාවන් සේවය කළ යුත්තේ අසුන් ගෙන වුවත් බොහෝ ඇගලුම් කම්හල් වල සේවිකාවන් සිට ගෙන සේවය කරන බව බලදරුවන්ට නොපෙනීම ආසීයාවේ ආශ්චර්යජනක කුප්ප නොදැනුවත්කමකි. ඒ තරමටම ඔවුන් ඒ ගැන නොදන්නා තොත්ත බබාලා ය. මේ පිළිබඳව විමසීමේදී බලදරුවන් ඇගට පතට නොදැනීම පවසා සිටින්නේ ඔවුන් ට එවැනි පැමිණිල්ලක් මෙතෙක් ලැබී නොමැති බවයි .

ඇගලුම් කම්හල් ආරම්භ කළ කාලයේ තත්ත්වය මීට වඩා දරුණු විය . සේවිකාවන් ප්‍රමාද වී පැමිණීම සහ සේවිකාවන් ගේ අත් වැරදීම් වල අනිවාර්ය ප්‍රතිඵලය වූයේ සේවිකාවන් ට කම්හල් පරිශ්‍රයේ දණ ගසා ගෙන සිටීමට සිදු වීමය. අද එවැනි තත්ත්වයක් දක්නට නැති වුවත් වෙනත් ආකාරයකට හිංසනය ක්‍රියාත්මක වේ. කාන්තා සේවිකාවන් අතින් සිදු වන අත් වැරදීම් වලදී සහ ටාගට් කවර නොකිරීම් වලදී සුපර්වයිසර්වරුන් අසභ්‍ය වචනයෙන් බැන වදින බව නොරහසකි . ඒවා ට විරුද්ධව කතා කරන සේවිකාවක කනෙන් අල්ලා එළියට ඇද දැමීමට තරම් කම්හල් අයිතිකරුවන් බලවන්තයෝ වෙති.

බලදරුවන් පමණක් නොව කම්කරු නීති සුරැකීමේ වගකීම කරට ගත් වෘත්තීය සමිති ද මේ සම්බන්ධ මුනිවත රැකීම මෙරට කාන්තා ශ්‍රම බලකායේ අවාසනාවන්ත ඉරණම සපථ කරයි. මෙම කම්හල් පිළිබඳව පිටතට මවාපාන අතිශය සුන්දර ලෝකය පියවි ඇසින් දුටු සේවිකාවක නම් සොයා ගැනීමට නොහැකි ය. අනිත් අතට ඇතැම් කම්හල් පාලකයන් ට තුරුණුවියේ පසුවන කම්කරු සේවිකාවන් වෙළද භාණ්ඩයක් පමණක් නොව කෙළි බඩුවකි. තම ලිංගික ආශාවන් තෘප්ත කර ගැනීමට සේවිකාවන් යොදා ගන්නා අවස්ථා සුලබ ය. මේ සියල්ලම අකුරට සිදු වන අතර කම්හල් පරිශ්‍ර වල සේවිකාවන් නටවා ආහ්ලාදජනක අත්දැකීමක් ලබා දෙන මුවාවෙන් තම චැනල වල රේටීං වැඩි කර ගන්නා නාලිකාවන් ද අප රටේ ඇත . මේ නාලිකා වලට අනුව නම් මෙරට කම්හල් පරිශ්‍ර කේතුමතී රාජ්‍යය ට සර්ව සමය. මේ අතර කම්හල් සේවිකාවන් ගේ කදුල විකුණාගෙන කන ඇතැම් රාජ්‍යය නොවන සංවිධානද නැතුවා නොවේ. මේ කිසිවකින් මෙම කම්හල් සේවිකාවන් ට සුගතියක් අත් වන්නේ නැත .

කාන්තා සේවිකාවන් ගේ ශ්‍රමය සූරා කෑමේ අනිත් ක්‍රමවේදයේ උත්පත්ති කාරකයා වන්නේ දින එකසිය අසුවේ සුත්‍රය යි.සේවකයන් ගේ රැකියාව අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පනත  යටතේ දින එකසිය  අසුවක සේවා කාලයක් සම්පුර්ණ නොකරන ලද සේවකයකු ඉවත් කිරීම ට සේවකයා ගේ ලිඛිත කැමැත්ත අවශ්‍ය නොවන අතර කම්කරු කොමසාරිස්වරයා ගේ අනුමැතිය ද අවශ්‍ය නොවේ. කොටින්ම කිවහොත් එවැනි සේවිකාවක ඉවත් කිරීමට සේවායෝජකයකු ට හැක . මේ නිසා දින එකසිය අසුවේ සුත්‍රය බලගැන්වීමේ ක්‍රියාවලිය අප රටේ යහමින් සිදු වේ. දින එකසිය අසූවක් සම්පුර්ණ වීමට පෙර සේවයෙන් ඉවත් කරන සේවිකාවක නැවත සේවයේ පිහිටුවීම සිදු කර නවක සේවිකාවක ලෙස සේවයේ යොදවයි. මෙම ක්‍රියාවලිය චක්‍රයක් ලෙස සිදු කරමින් සේවායෝජකයන් සිදු කරන සෙප්පඩ විජ්ජාවට බලධාරීන් මුනිවත රැකීම කාලාන්තරයක් තිස්සේ සිදු වේ. මේ පිළිබඳව ප්‍රශ්න කළ විට බලධාරීන් පවසන්නේ  සේවකයන් ගේ සේවය අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පනත යටතේ ප්‍රතිපාදන නොමැති නිසා ඒ පිළිබඳව කිසිදු පියවරක් ගත නොහැකි බවයි .

මේ සියලුම කරුණු වලින් ගම්‍ය වන්නේ කුමක්ද ? මේ රටේ ඇතැම් සේවායෝජකයන් එළිපිටම,  සංස්ථාගත ලාංකීය කාන්තා ශ්‍රම දුර්භාවිතය පවත්වාගෙන යෑම සඳහා බලධාරීන්ගේ අනුමැතිය ද ඇතිව උපරිම දායකත්වය සපයන බව නොවේද ? මේ පිළිබඳව කාලීන කතිකාවක් ඇති කිරීමේ මූලික වගකීම පැවරෙන්නේ කම්කරු බලදරුවන්ට නොව වෘත්තිය සමිති ක්‍රියාධරයින්ට හා වේදිකාවල, අරාබිකරයට අපනයනය කරන ලාංකීය කාන්තා ශ්‍රමය මෙන්ම, ලාංකීය ඇගලුම් කර්මාන්ත තුල කෙරෙන ශ්‍රම සූරාකෑම සහ අපයෝජන ගැන මැතිවරණ සමයේදී පමණක් බෙරිහන් දේශපාලකයින් ටය.

~ එස් .එම්.ජයසූරිය ~

Your email address will not be published. Required fields are marked *