දියුණු වෙමින් පවතින රටවල සුබසාධනය නඟාසිටුවීමට ගත යුතු හොඳම ප්‍රතිපත්ති හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අසමත් වී ඇත

දියුණු වෙමින් පවතින රටවල සුබසාධනය නඟාසිටුවීමට ගත යුතු හොඳම ප්‍රතිපත්ති හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අසමත් වී ඇත

240 views
0

” ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කුමන්ත්‍රණයකට හවුල් වෙමින් සිටිනවා නොවන නමුත්, බටහිර මූල්‍ය ප්‍රජාවේ රුචිය සහ මතවාද එයින් පිළිබිඹු වේ. දියුණු වෙමින් පවතින රටවල සුබසාධනය නඟාසිටුවීමට ගත යුතු හොඳම ප්‍රතිපත්ති හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අසමත් වී ඇත.”- Joseph Stiglitz.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 03 විස්තීර්ණ ණය වැඩසටහනේ පළමු වාරිකය පසුගිය දා අනුමත විය.
ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ගැන මහ ඉහළින් කතා කරන නමුත් මෙය ණය බරින් පීඩිත රට ගොඩ ගැනීමට අලුත් ණයක සරණ යාමකි. ණය මුදල සඳහා ඉටු කළ යුතුව ඇති කොන්දේසි රටටත් ජනතාවටත් බෙහෙවින් අහිතකරය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව යනු බෙහෙවින් චෝදනාවට ලක් වන ආයතන දෙකකි. මෙකී ආයතන දෙක ගොඩනැඟී ඇත්තේ ආර්ථික බලවතකු වශයෙන් එක්සත් ජනපදයේ හෙජමනිය තහවුරු කිරීමට බවට වන චෝදනාව එකකි.
නව ලිබරල්වාදී ආර්ථික පිළිවෙත එනම්, නිදහස් වෙළෙඳපොළ, පෞද්ගලීකරණය, ලිබරල්කරණය ලෝක බැංකුවේ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති වල පදනම වේ. ව්‍යුහාත්මක ගැලපුම් වැඩසටහන් ඔස්සේ සංවර්ධන වෙමින් පවතින රටවලට මේ සංකල්පය පටවනු ලැබේ. එහි දී ,ණය හෝ අරමුදල් ලබා ගැනීම සඳහා වියදම් කළමනාකරණය; බදු වැඩි කිරීම, මූල්‍ය ඒකක ස්ථායී කිරීමට ඉහළ පොලී අනුපාත නියම කිරීම; අසාර්ථක ව්‍යාපාර බංකොලොත් වීමට ඉඩ හැරීම; ව්‍යුහාත්මක ගැලපුම් එනම්, පෞද්ගලීකරණය, දූෂණය අඩු කිරීම, රාජ්‍ය සේවය කප්පාදු කිරීම, පාලන නීති ඉවත් කිරීම ඇතුළු කොන්දේසි පනවනු ලැබේ. වියදම් කළමනාකරණය සඳහා මහජන සුබසාධනය අඩු කළ යුතුය යන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියට යටත් ව අප්‍රිකාවේ අධ්‍යාපනය ආයතන සඳහා වෙන්කරන අරමුදල් සීමා කිරීම හේතුවෙන් අධ්‍යාපන වියදම් ඉහළ ගොස් අධ්‍යාපනය වරප්‍රසාද ලත් සුළුතරයක ගේ අයිතියක් බවට පත් විය.
පිරිවැය අඩු කිරීම මත පදනම් වූ සංවර්ධනය හේතුවෙන් ශ්‍රම ගලනය හෙවත් විදෙස් ශ්‍රමිකයන් බිහි වීම වැඩි වේ. ශ්‍රී ලංකාව පිලිපීනය වැනි ණය ගැති රටවල කාන්තාවන් විදෙස් රැකියා වලට වැඩි වශයෙන් යොමු වීමට ද වියදම් කප්පාදු ආර්ථිකය හේතුවකි. සුබසාධන කප්පාදුව හේතුවෙන් කතුන්ගේ ජීවන තත්ත්වය පහත වැටේ. එහි ප්‍රතිඵලය වශයෙන් අඩු වැටුපට පහත් සේවා තත්ත්වයක් යටතේ ගෘහ සේවය, දරුවන් සහ වැඩිහිටියන් රැක බලා ගැනීම පමණක් නොව ලිංගික ශ්‍රමිකයන් වශයෙන් පවා කතුන් විදෙස් රැකියාවලට යොමුවේ.
ජැමෙයිකාව 1990 දසකය වන තෙක් කිරි නිෂ්පාදන ආනයන බද්දක් පනවා තිබු බැවින් ආනයනිත කිරි නිෂ්පාදන උදාසීන ව දේශීය කිරි කර්මාන්තය යහපත් මට්ටමක පැවතිණ. ලෝක බැංකුවෙන් ණය ලබා ගැනීම සඳහා කිරි නිෂ්පාදන ආනයන බදු ඉවත් කිරීමේ ප්‍රතිඵලය ලෙස ආනයනිත අඩු මිල කිරි පිටි හේතුවෙන් දේශීය කිරි කර්මාන්තය විනාශ වී, කිරි ගොවියා දිළින්දන් බවට පත් වී රටේ ආහාර සුරක්ෂිතතාවට ද බලපෑම් එල්ල විය. විවෘත ආර්ථිකය හේතුවෙන් මෙරට කිරි කර්මාන්තය ද විදෙස් සමාගම් යටතට පත්වූ බවට අද්දැකීම් තිබේ.
රටේ තත්ත්වයට සහ පරිසරයට නොගැලපෙන නව ලිබරල්වාදී වෙළෙඳ ප්‍රතිපත්ති මත සිදු කෙරෙන පෞද්ගලීකරණය මගින් පාරිභෝගිකයා සූරාකන පෞද්ගලික අංශයේ ඒකාධිකාරයක් බිහි වීමට ඉඩකඩ තිබේ.
” ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් සැලසුම් කර ඇත්තේ, ජනතා සුබසාධනය සඳහා නොව බාහිර ගෙවීම් ගිණුම් සමතුලිත කිරීමටය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සැම විටම ක්‍රියා කරන්නේ, ජාත්‍යන්තර වෙළෙඳාමේ යෙදෙන ප්‍රාග්ධන හිමියන් සහ බැංකුකරුවන් ආරක්ෂා කරන ආකාරයට ය.” Kari Polanyi කියයි.
1977 ආසියානු අවපාතය සමයේ ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය අයවැය හිඟය මඟහැරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත අනුගමනය කළ දැඩි මූල්‍ය ප්‍රතිපත්ති නිසා එම රටවල විරැකියා අනුපාතය ඉහළ ගියේය. 2001වසරේ ආජන්ටිනාව ද මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කිරීමට යාමෙන් එරට මහජන සේවා සඳහා ආයෝජන දුර්වල වී ආර්ථිකය අවපාතයක් කරා ගමන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට පනවා ඇති කොන්දේසි 10 අතරින් එකක් වන්නේ, මහ බැංකුව ස්වාධීන කරනු යන්නය. 1990 වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් ව කෙන්යාවේ මහ බැංකුවේ ප්‍රාග්ධන අධිගලනය පාලනය ඉවත් කළ අතර එමඟින් දූෂිත දේශපාලකයන්ට ආර්ථිකයෙන් පිටතට මුදල් හුවමාරු කිරීමට පහසුකම් සැලසිණ. ගෝල්ඩන්බර්ග් මගඩිය Goldenberg Scandal යනුවෙන් ප්‍රකට වූයේ එයයි.
Milton Friedman ගේ ආර්ථික න්‍යාය ගුරු කර ගත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපදෙස් සපයන්නේ, නිදහස් වෙළෙඳාම, නිදහස් වෙළෙඳපොළ, අවම රෙගුලාසි, සමාජ වියදම් කපා හැරීම සහ ප්‍රාග්ධනය මත අවම බදු පැනවීම සඳහාය. විනිවිදභාවයෙන් සහ සහභාගිත්වයෙන් තොර එම කොන්දේසි පනවනු ලබන්නේ ද අදාළ රට සමඟ සාකච්ඡාවකින් තොරව නැතිනම් අවම සාකච්ඡා සහිතවය.
ණය බරින් මිදෙන්නට උපකාර කිරීම වෙනුවට මූල්‍ය අරමුදල ණය මතට ණය ගැනීමට පොළඹවනු ලබයි. ණය නොවී සිටීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමක් නැත.
ශ්‍රී ලංකාවට අර්බුදයෙන් ගොඩ යාමට ඇති විකල්ප පිළිබඳ අරමුදලේ සොයා බැලීමක් නැත. ජාතික දේපළ විකිණීමට උපදෙස් දෙන නමුත්, රටට ලැබිය යුතු විදේශ විනිමය ගෙන්වා ගැනීමට වැඩපිළිවෙළක් නැත. 2009 සිට 2021 දක්වා මෙරට විදේශ වෙළෙඳාමේ වංචාව ඩොලර් බිලියන 60කට ආසන්න බව කියැවේ. මූල්‍ය අරමුදලෙන් වසර හතරක් තුළ ලැබෙන්නේ එම වංචාවෙන් 5% ප්‍රමාණයකි. පිරිසකට උසුලා ගත නොහැකි බදු පටවන අතර සුළුතරයකට අසීමිත බදු සහන දෙනු ලැබේ. බදු පැහැර හැර ඇති ධනවතුන් සහ බදු වංචාකාරයන් අමතක කිරීමෙන් පෙනෙන්නේ මූල්‍ය අරමුදල, ප්‍රාග්ධන හිමියන් සහ බැංකුකරුවන් ආරක්ෂා කරන්නට මිස ජනතා සුබසාධනය සඳහා වැඩ නො කරයි යන කියුම සත්‍යයක් බවය.
අනුර කේ එදිරිසූරිය

Your email address will not be published. Required fields are marked *