උපත – විවාහය – රමණය – මරණය යනු ජීවිතයයි

උපත – විවාහය – රමණය – මරණය යනු ජීවිතයයි

368 views
0

බැඳපු , නොබැඳපු , ආයෙ බඳින ඔයාලා හැමෝම වෙනුවෙන් මේ ලිපිය . නෑ නෑ මංගල කිංකිණි නෙවෙයි , හැබැයි බඳින්න කලින් ඔයයි මායි දැනුවත් වෙන්න ඕන කාරණා ගොඩක් තියෙනවා . එතකොට තෙරුවන් සරණයි කියල අත්සන් කරන්න ඕනත් නෑ , එන්ගේජ් වෙනකොට අර කපල් එක දෙන්නට දෙන්නා කරන දිවුරුම් ප්‍රකාශෙදි දාඩිය දාලා වෙව්ලන්න ඕනත් නෑ . හැබැයි ඉතිං  ඒ වගේ වෙලාවක එක්සයිට් වෙන එක අතිශය සාමාන්‍යයි කියල මට හිතෙන්නෙ ගියපු ගියපු හැම වෙඩිමෙම එක්කො මනමාලි මිනිස්සුන්ව සප්‍රයිස් කරනව නැත්තන් මනමාලය මිනිස්සුන්ව සප්‍රයිස් කරනවා . ඒ නිසා මේ විවාහය කියන මාතෘකාව ගැන විවාහා වෙන්න කලින් දැනුවත් වෙන එක කොයිකාගෙත් ඇගට ගුණයිනෙ . 

මේ විවාහය කියන කාරණාව ගත්තම විවාහයට අනෙක විධ නිර්වචන තියෙනව . 

බ්‍රිතාන්‍ය රාජකීය මානව විද්‍යා සංගමයට අනුව ” විවාහය යනු , එක් මිනිසෙක් එක් ගැහැණියක් අතර ඇතිවන සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස ඒ ගැහැණිය බිහිකරන දරුවන් නීතියට අනුකුල යැයි පිළිගැනීම ” බවයි  .

මානව විද්‍යාඥයෙකු වූ ජී පී මර්ඩොක් පවසන්නේ , ” සමලිංගිකයන් නොවන පුද්ගලයන් දෙදෙනෙකු අතර පවත්නා සාපෙක්ෂ ලෙස ස්ථිර ලිංගික සබධතාවයක් මෙන්ම ආර්ථිකමය වශයෙන් ශ්‍රම විභජනයක් අනුගමනය කිරීම විවාහය “බවයි .

කැතලින් ගෝෆ් දක්වන්නේ “එක් ස්ත්‍රියක් එක් පුරුෂයෙක් හෝ පුරුෂයන් එක් අයෙකුට වඩා වැඩි ගණනක් සමඟ ලිංගික සබධකම් පැවැත්වීම තුළින් සමාජය පිළිගත් දරුවන් බිහි කිරීම විවාහය ” බව යි 

බී මැලිනොවුස්කි සඳහන් කර්න්නේ ” විවාහය යනු දරුවන් උත්පාදනය සහ නඩත්තු කිරීම පිළිබඳ ගිවිසුමක් ” බවයි . 

කෙසේ වුවද මෙම නිර්වචන මගින් විවාහය පිළිබඳ පැහැදිලි හා නිරවුල් නිර්වචනයකට එළඹීමට නොහැකි බව ඔබට පෙනෙනවා ඇති . 

කොහොම උනත් මේ වෙද්දි ලෝකයේ විවිධ සංස්කෘතීන් වල විවාහ ක්‍රම කීපයක් දක්නට ලැබෙනවා . ‘ ඒක පුරුෂ ඒක භාර්‍යා විවාහය, බහු භාර්‍යා විවාහය, බහු පුරුෂ විවාහය, ළමා විවාහ, නිදහස් ආලය, සමලිංගික විවාහ ,භූත විවාහ , ප්‍රේම සබධතා සංස්කරණය , යෝජිත විවාහ , බලහත්කාර විවාහ , සමාජීය සාධක මත විවාහ , අන්තර් ජන්‍ය බව මත විවාහ ඉන් කීපයක් වෙනවා . අපි නොදන්න විවාහ ක්‍රම බොහොමය මේ වෙද්දිත් ලෝකය පුරා ක්‍රියාත්මක වෙනවා . ඒ කොහොම උනත් ලංකාවෙ මේ වෙනකොට බහුලවම දකින්න තියෙන්නෙ එක්කො ප්‍රේම සබධතා මත විවාහ වීම් නැත්තන් යෝජිත විවාහ . ඉස්සර නම් එකගෙයි කෑවා කියල චාරිත්‍රයක් තිබුණා කියල අපි අහලා තියනවනෙ එතකොට ඒ විවාහ ක්‍රමය අයිති වෙන්නෙ බහු පුරුෂ විවාහ යටතට . 

ලංකාවෙ විවාහයක් සිද්ධ වෙන්න් නම් මූලිකව ඉටු වෙලා තියෙන්නෝන කරුණු කීපයක්ම තියෙනව . 

1. ස්වේච්ඡාවෙන් ඇති විය යුතුයි. ( ඒ කියන්නෙ ලංකාවෙ බලහත්කාරෙන් විවාහ කරනෙක නීතියෙන් තහනම් )

2. ජීවිත කාලය පුරාම් පවුල් ජීවිතයක් ගත කිරීමේ පරමාර්ථයක් ඇති කර ගත යුතුයි. ( එහෙම කිව්වට ඉතිං දික්කසාදය කියන්නෙ පුද්ගල අයිතියක් )

3. විරුද්ධ ලිංගිකයන් අතර පමණක් ඇති විය යුතුයි. 

(බටහිර රටවල සමලිංගික විවාහ නීතිමය වශයෙන් ස්ථාපනය උනාට ලංකාවෙ නීතියෙන් සමලිංගික විවාහ තවම තහනම්)

4. එක් භාර්‍යාවක් හා එක් පුරුෂයෙක් අතර පමණක් ඇති විය යුතුයි. 

(ඔය කිව්වට මේ කාරණාව මුස්ලිම් නීතියෙදි අදාළ වෙන්නෙ නෑ) 

ඔය නීතිමය කරුණු එක්ක සසඳල ලංකාව ඇතුළෙ විවාහ ක්‍රම තුනක් තියෙනවා . 

1. සාමාන්‍ය නීතිය යටතේ විවාහ වීම 

මේ සාමාන්‍ය නීතිය යටතෙ විවාහ වෙන්න පුලුවන් පහත රට සිංහල ඈයොන්ට , ස්ව කැමැත්ත මත උඩරැටියන්ට , තේසවලාමේ නීතිය යටතෙ ද්‍රවිඩයන්ට , ස්ව කැමැත්ත මත මුස්ලිම් ජාතිකයන්ට . විවාහ වෙන්න නම් අවම වයස අවුරුදු 18 දෙපාර්ෂ්වයම සපුරල තියෙන්නෝන . තහනම් ඥාති සබදතා සමග විවාහ වෙන්න බෑ . ඒ කිව්වෙ මව පුතා , පියා දියණිය , සහෝදරයා සහෝදරිය වගේ විවාහ සබධතා පවතන්න් බෑ . අනික් කාරණාව ඔයාට සාමාන්‍ය නීතිය යටතෙ බඳින්නෝන නම් දවස් 10කට කලින් ඒ ගැන් ප්‍රාදේශීය විවාහ ලේකම්වරයාට දන්වන්නෝන . කලින් බැඳපු කෙනෙක් ආයෙ බඳිනවා නම් මුල් විවාහයෙන් දික්කසාද වෙලා ඉන්නෝන නැත්නම් දෙවන විවාහය වලංගු නෑ   

2. උඩරට නීතිය 

උඩරට නීතිය තුළත් ඉහත කිව්ව සාමාන්‍ය නීති පද්ධතියම පවතිනව ඊට අමතරව දෙපාර්ශවයම උඩරැටියන් වෙන්න ඕන . විවාහා උඩරට ප්‍රදේශ වල විතරක් සිදුවෙන්න ඕන වගේම දෙපාර්ශ්වයම සමකුල වෙනෝන කියලත් දක්වල තියෙනව .

3. මුස්ලිම් විවාහ නීතිය 

මෙම මුස්ලිම් විවාහ නීතිය යටතේ විවාහ වෙන්න පුලුවන් ඉස්ලාම් භක්තිකයන්ට විතරයි . ලේ ඥාතීන් අතර විවාහ වලංගු නොවුණත් බහු භාර්‍ය විවාහ මුස්ලිම් නීතිය යටතේ අනුමත කරයි  . එනමුත් තම බිරිඳ ජීවත්ව සිටියදී ඇගේ සහෝදරිය විවාහ කරගන්න බෑ .අවම වයස් සීමාවක් දක්වල නැති නිසා මේ නිතියෙදි අවුරුදු 12ට අඩු දරුවෙක්ට උනත් විවාහ වෙන්න පුලුවන් .

මේ නීතී තුන යටතෙ තමා දැනට විවාහ වීම් ලංකාව තුළ සිදුවෙන්නෙ . 

මීට අමතරව ලංකාවෙ බහුතරයක් පටලගන්න තැනක් තමා එන්ගේජ්මන්ට් , රෙජිස්ටේෂන් සහ වෙඩින් කියන්නෙ . 

එන්ගේජ්මන්ට් එකක් කියල කියන්නෙ විවාහය ගිවිසගැනිමක් විතරයි . ඒ කියන්නෙ අනාගතෙ බඳිනව කියල දෙපාර්ශවය පොරොන්දු වීමක් තමයි මේකෙදි සිද්ධ වෙන්නෙ . ගොඩක් අය මේ එන්ගේජ්මන්ට් එකේදි මුදු හුවමාරු කරගන්නවා . නමුත් මෙහිදි විවාහ රෙජිස්ටාර්වරයෙකු හෝ දේවගැති වරයෙකු යටතේ නෛතික බන්ධනයක් දෙපිරිස අතර ඇති වෙන්නෑ . ඒ කිව්වෙ සරලවම එන්ගේජ්මන්ට් එකක් අරන් ඩිවෝස් වෙනකොට නඩු කියන්නෝන නෑ . මොකද එන්ගේජ්මන්ට් එකක් කියන්නෙ දෙන්නගෙ විශ්වාසය මත ඇති කරගන්න පොරොන්දුවක් විතරයි . මේකෙදි මුදු මාරු කිරීම , උත්සවයක් පැවැත්වීම තම තමන්ගෙ කැමැත්තට අනුව කරන්න පුලුවන් . එන්ගේජ්මන්ට් එකට පස්සෙ දෙන්නම කැමති නම් විවාහ වෙන්න පුලුවන් , එහෙම නැත්නම් විවාහ නොවී ඉන්නත් පුලුවන් . අනික් කාරණාව තමයි එන්ගේජ්මන්ට් එකක් අරන් එක් පාර්ශවයක් විවාහයට අකමැති උනොත් බලෙන් විවාහ වෙන්න බෑ , එන්ගේජ් උනා කියල උසාවියෙන් නියෝග අරන් විවාහ වෙන්නත් බෑ . 

ඊළඟට රෙජිස්ටේෂන් . මේ රෙජිස්ටේෂන් එකක් කියන්නෙ විවාහයක් ලියාපදිංචි කරනවට . බලයලත් රෙජිස්ටාර්වරයෙකු ඉසරහ හරි දේවගැතිවරයෙක් ඉස්සරහ හරි දෙපාර්ශවය සඳහා සාක්කිකරුවන් දෙන්නෙක් සහභාගි කරන් නීත්‍යානුකූලව විවාහය ලියාපදිංචි කිරීම තමයි මෙකෙදි සිද්ධ වෙන්නෙ . කලින් දැක්වුව විදියට අදාල කාලසීමාවට කලින් රෙජිස්ටාර්වරයා දැනුවත් කරන්නෝන . එම කාලය තුළදී තමන් එම විවාහයට අකමැතිනම් නම් තම අකමැත්ත ප්‍රකාශ කරන්න පුලුවන් . අදාල කාලසීමාව පහුවෙලා දෙපාර්ශවයෙම විරෝධතාවක් නැත්න්ම් රෙජිස්ටාර්වරයා විවාහ ලේකම් පොතේ දෙපාර්ශවය ලවා අත්සන් කිරීම සිදු කරනව . ( හොදට මතක තියාගන්න තෙරුවන් සරණයි නෙවේ , තමන්ගෙ අත්සන තමයි මෙතන ගහන්නෝන ) ඉන් පස්සෙ රෙජිස්ටාර්වරයා විවාහ සහතිකයක් නිකුත් කරනවා . ඊටත් පස්සෙ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙ මෙ විවාහල ලියාපදිංචි කරනවා . අන්න එතකොට ඔයා බැඳල ඉවරයි . ඩිවෝස් වෙන්න ඕන නම් නඩු කියන්නම වෙනව . කසාද සහතිකය හංගල හරි , ඉරළ ගිණි තියල හරි දික්කසාද වෙන්න බෑ . උසාවියක න්ඩුවක් ගොනු කරල තමයි දික්කසාද වෙන්නෝන  .

අවසානෙට වෙඩින් . වෙඩිමක් කියන්නෙ විවාහ මංගල්ලෙට . මේ වෙඩිමෙදි තමයි ආගමානුකූලව සහ චාරිත්‍රානුකූලව නෑදෑ හිතමිතුරන්ගෙත් සහභාගිත්වෙ එක්ක දෙපාර්ශවය විවාහ බන්ධනයට ඇතුළත් වෙන්නෙ .  කෙනෙක්ට වුවමනා නම් රෙජිස්ටේෂන් එක මේ දවසෙම කරන්නත් පුලුවන් නැත්නම් රෙජිස්ටේෂන් එක කලින් දවසක කරල චාරිත්‍ර විතරක් මේ දවසට කරන්නත් පුලුවන් . තව වැදගත්ම කරණයක් තියෙනවා , රෙජිස්ටේෂන් එකක් නොකර වෙඩින් එකක් විතරක් ගත්තත් නීතියෙන් ඔවුන් අඹු සැමියන් විදියට සලකනව . ඒ කියන්නෙ රෙජිස්ටාර් විවාහයක් නොවුණත් අදාල චාරිත්‍රානුකූල වෙඩින් එකක් ගත්තොත් ඒක වලංගු විවාහයක් .  මෙහිදිත් දික්කසාද විමට හෝ  නැවත විවාහ වීමට ඕන නම් අධිකරණ නියෝග ලබාගැනීම අනිවාර්‍යයි . මේ වෙඩින් කියන කොටසෙ තව කරුණක් මතක් කළොත් මේවගෙ චාරිත්‍ර සංස්කෘතීන් අනුව වෙනස් වෙනවා . මොඩන් චාරිත්‍රත් දැන් තියෙනවා , යල්පැනගියපු චාරිත්‍ර තවමත් දොහොත් මුදුන් දීලා පිළිගන්න පිරිසකුත් ඉන්නවා . කන්‍යාවියක් නොවන කෙනෙක් පෝරුවෙ අෂ්ටක කියනකොට කලන්තෙ දානවැයි කිව්වට දුවව ෆ්ලවර් ගර්ල්ට තියල දෙවනි විවාහෙ කරන අක්කල ඇන්ටිල අෂ්ටක කියන වෙලේ හිටන් උන්නෙත් පෝරුවෙමයි . කසාඳෙ දවසෙ මනමාලි පැනල ගියොත් දෙවන මනමාලි මනමාලයව බදින්නෝන කිව්වට එහෙම අකමැත්තෙන් බඳින්න බෑ . බලහත්කාර විවාහ ලංකාව තුළ සම්මත නෑ . 

ඔයා බඳින්නෝන ඔයා කැමති කෙනෙක්ව මිසක් , කාගෙවත් බලපෑමක් නිසා හරි පෙළඹවීමක් නිසා හරි ඔයා අකමැති කෙනෙක්ව නෙවේ . ඒ නිසා අකමැති නම් බලෙන් බන්දන්න සක්කරයටවත් බෑ කියල විවාහෙට විරුද්ධ වෙන්න අයිතියක් ඔයාට තියනවා . ඒ නිසා බඳින්න කලින් හොඳටම හිතන්න . ඊටපස්සේ පුලුවන් හොඳටම දීග කන්න . ඉතින් හිතවත දැනගෙන බඳින්න . 

~ පවනි වාසනා ~

Your email address will not be published. Required fields are marked *