අනුර එක්ක ඉන්නෙ මිලෙච්ඡ ගති සඟවගත්තු පිරිසක් ද?

අනුර එක්ක ඉන්නෙ මිලෙච්ඡ ගති සඟවගත්තු පිරිසක් ද?

291 views
2

එක්සත් ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂිකාවක් ලෙස මහමැතිවරණයට සූදානම්වන සුවන්ති වීරසේකර පසුගිය දිනෙක වත්මන් ආණ්ඩුව සහ පාලනය පිළිබඳවත් නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට තමන්ගේ සූදානම සහ මහජනතාව වෙනුවෙන් තමන් ඉටු කිරීමට සූදානම් වගකීම් පිළිබඳවත් සිය අදහස් දැක්වූවා.

අනුර කුමාර ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව සහ රනිල් වික්‍රමසිංහ ප්‍රධාන වූ හිටපු ආණ්ඩුව කිසිසේත් සමාන නොවන බව ප්‍රකාශ කළ ඇය සඳහන් කළේ විජිත හේරත්, හදුන්නෙත්ති වැනි කිසිදු යාවත්කාලීන දැනුමක් නොමැති පිරිස් වත්මන් පාලනය විහිලුවක් බවට පත්කර ඇති බවයි. නමුත් රනිල් වික්‍රමසිංහ ණය ලබාගැනීම වැනි සියලු දෑ සිදුකළේ රටේ තිබූ අර්බුද නිරාකරනය කිරීම සඳහා නිශ්චිත සැලසුමකින් බව ඇය පැවසුවා. එසේ ම මේවන විට රට යහපත් දිශානතියකට ගමන් කරන්නෙද යන සැකය ඇතිවීමට කරුණු සිදුවෙමින් පවතින බවට අදහස් දැක්වූ ඇය, විදේශගමන් බලපත්‍ර ලබාගැනීමේදී ඇතිව තිබෙන අර්බුදය වැනි අවස්ථා ඊට උදාහරණ ලෙස ඉදිරිපත් කළා. 

පාර්ලිමේන්තුවට තෝරාපත්කරගන්නා විපක්ෂය ආණ්ඩුව විසින් ගනුලබන සියලු තීන්දු තීරණවලට විරුද්ධව නැගී සිටිය යුතු කාණ්ඩයක් නොවන බවත් තමන් පාර්ලිමේන්තුව වෙත ජනතා නියෝජනයෙන් පත්වුවහොත් ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට සූදානම් බවත් ඇය සඳහන් කළා. එසේම ඇය තම මතක ආවර්ජනය කරමින් සඳහන් කළේ ජාතික ජනබලවේගයේ ඇතැම් පිරිස් නව මුහුණුවරකින් පෙනී සිටියත් 88/89 වසරවල ක්‍රියාත්මක කළ මිලෙච්ඡ ගතිගුණ සඟවාගෙන පෙනීසිටින බවයි. එසේම කාන්තාවකට ගරු කිරීමට නොදන්නා විකෘති මානසිකත්ව ඇති පුද්ගලයන් පාර්ලිමේන්තුව වෙත තෝරාපත්කරගෙන ගොඩනැගිමට යන වෙනස පිළිබඳව ජනතාව බිය විය යුතු බවත් ඇය ප්‍රකාශ කළා.

සුවන්ති වීරසේකර තවදුරටත් අදහස් දක්වමින් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ වත්මන් අගමැතිණිය වැනි කාන්තාවන් දේශපාලනයට පැමිණීම සහ විවෘතව අදහස් දැක්වීම ඉතා හොඳ සහ තමන් අනුමත කරන කරුණක් වුවත් ඉටු කිරීමට බැරි බොරු පොරොන්දු ජනතාවට ලබාදීම කිසිසේත් අනුමත නොකරන බවයි. එසේම වත්මන් ආණ්ඩුව ජනතාවට ලබාදෙන සියලු සහන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආරම්භ කළ වැඩපිලිවෙලක ප්‍රතිඵල බවද ඇය ප්‍රකාශ කළා. රටේ ජනතාවට සේවා සපයන අංශ දියුණු කිරීමේ සැලසුම් තමා සතුවන බවත් දේශපාලනික චෝදනා කිසිවක් නොමැති පක්ෂයකින් තමන් මැතිවරණයට ඉල්ලුම් කළ බවත් සඳහන් කරමින් ඇය ප්‍රකාශ කළේ අරගලයෙන් හිටපු මන්ත්‍රීවරුන් 225ම එපා යැයි සඳහන් කළද ඒ අතර රටට සේවය කළ හැකි, පාර්ලිමේන්තුව වෙත නැවත යැවිය යුතු පිරිස් සිටින බවයි. අවසාන වශයෙන් ඇය සඳහන් කළේ ප්‍රතික්ෂේපිත ප්‍රධාන පක්ෂයන්ට සහ පෙර වැරදි සහිත වූවන්ට නොරැවටවී නව දේශපාලන කණ්ඩායම්වල සත්‍ය වෙනුවෙන් නැගීසිටිය හැකි තමන් වැනි පිරිස්වල එකතුවෙන් නව විපක්ෂයක් ගොඩනැගිය යුතු බවයි. 

Your email address will not be published. Required fields are marked *