ජනතා හිතකර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කිසිදු ආකාරයකට ප්‍රජාතන්ත්‍රවාදය සමග ගැටෙන්නේ නැත

ජනතා හිතකර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කිසිදු ආකාරයකට ප්‍රජාතන්ත්‍රවාදය සමග ගැටෙන්නේ නැත

82 views
0

ප්‍රජාතන්ත්‍රවාදීව ජනතා ඡංදයෙන් තෝරා සභිකයින් ට ප්‍රජාතන්ත්‍රවාදයට විරෝධ අණ පනත් සම්මත කර ගැනීමට අවකාශයක් නොමැත.

ක්‍රිස්තු පූර්ව 507 දී ග්‍රීසියේ ක්ලයිස්තිනස් පළමු වරට  ඩිමොක්‍රටියා  (Demokratia)හෙවත්   “ජනතාවගේ බලය ” යන පාලන ක්‍රමය ලොවට හදුන්වා දුන්නේ ය. මෙහි   අරුත  ජනතාව විසින් ජනතාව උදෙසා ගෙන යන ජනතාව ගේ පාලනය යන්නයි.එය “ප්‍රජාතන්ත්‍රවාදය”ලෙස  නූතන යේ හදුන්වයි.ක්ලයිස්තිනස් මිය ගොස් වසර තුන්දහසකටත් වඩා වැඩි කාලයක් ගත වී ඇත .එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය මිය ගොස් තිබේ ද ? එම ප්‍රශ්නය මෙන්ම එයට පිළිතුරු ද ඉතා සංකීර්ණය .වසර හැත්තෑ පහකට ආසන්න කාලයක් අප  ග්‍රීකයන් ගේ ප්‍රජාතන්ත්‍රවාදය නම් උත්කෘෂ්ඨ සංකල්පය මතුරමින් එහෙත් විවිධ දේශපාලන පක්ෂ වලට කඹුරමින්  ප්‍රජාතන්ත්‍රවාදයේ හරය තරයේ ප්‍රතික්ෂේප කරමින් යන මේ  ගමන අතිශය ජුගුප්සාජනක ය.එහෙත් වරද නම් එම ජුගුප්සාජනක බව අපට නොතේරීමය.යුරෝපයේ රටවල් බොහොමයක් ප්‍රජාතන්ත්‍රවාදයේ හරය උකහාගෙන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ස්වකීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා වල නියමයන් ට අනූකූලව සිදු කරයි.ජනතා හිතකර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කිසිදු ආකාරයකට ප්‍රජාතන්ත්‍රවාදය සමග ගැටෙන්නේ නැත .එම නිසා එම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදය ට අනුනුකූල නොවේ.

ප්‍රජාතන්ත්‍රවාදයේ එක් වැදගත් අංගයක් වන්නේ පාර්ලිමේන්තු ස්වාධිපත්‍යය නම් මූල ධර්මයයි.

අප වැනි ආසියානු කලාපීය රටවල්  මූලික ප්‍රතිපත්තියක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය පිළිගත්ත ද එහි ඇතැම් අංග ඕනෑ කමින්ම බැහැර කර ඇත .ප්‍රජාතන්ත්‍රවාදය වූ කලි මැතිවරණ පවත්වා ව්‍යවස්ථාදායකයට සභිකයින් තෝරා ගෙන ඉනික්බිතිව එම සභිකයින් ගේ මනාපය අනුව කටයුතු කිරීම නොවේ.ජනතා ඡංදයෙන් තෝරා ගත් එම සභිකයින් ට ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී අණ පනත් සම්මත කර ගැනීමට අවකාශයක් නොමැති බව ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරයක් වේ.එහෙත් අප රටේ නිදහසෙන් පසු විවිධ අවස්ථා වල ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරයන් පවා සාතිශය ලෙස උල්ලංඝනය කර කටයුතු කර ඇති බව ට ඕනෑ තරම් සාක්ෂි තිබේ.නිදසුනක් ලෙස අතීතයට බලපාන ආකාරයට නීති පැනවෙන්නේ   උක්ත සංදර්භය තුළ ය.

අනිත් අතට ඇමෙරිකාවේ සහ ප්‍රංශයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පාදක කර ගනිමින් නිර්මාණය කරන ලද දෙවන ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හෙවත් 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපතිධූරයක් ස්ථාපිත කර තිබීම ප්‍රජාතන්ත්‍රවාදී  මූල ධර්ම  පවත්වාගෙන යාම ට ඇතැම් අවස්ථා වල අභියෝගයක් වී තිබේ .

එය  එසේ වුවත් කිසියම් රටක ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් ට  ප්‍රජාතන්ත්‍රවාදී මූල ධර්ම වලට අනුව කටයුතු කිරීමට ඇති බාධාවක් නොමැති අතර එසේ කටයුතු නොකරන්නේ නම් එය හිතාමතාම කරන  දෙයකි.මෙරට දේශපාලනයේ ජනප්‍රිය ,එහෙත් අතිශය ප්‍රෝඩාකාරී සහ සාහසික ප්‍රකාශ දෙකක් ඇත .එකක් වන්නේ “දේශපාලනයේ සදාකාලික සතුරන් හෝ මිතුරන් නොමැති “බවයි.අනෙක් ප්‍රකාශය වන්නේ “සැලුන් දොර විවෘතය” යන්නය.මේ දෙකෙන්ම ගම්‍ය වන්නේ මේ රටේ බහුතරයක් දේශපාලකයින් ගේ වංචනික සහ ස්වාර්ථ ආකල්පයි.මහජන ඡංදයෙන් තෝරා ගත් ජනතා නියෝජිතයින් ට ස්වකීය පෞද්ගලික අභිලාෂයන් ඉෂ්ට සිද්ධ කර ගැනීම සදහා තනතුරු සහ වරප්‍රසාද වලට සියලුම ජනතා අපේක්ෂාවන් පාවාදීම ට උක්ත ප්‍රකාශ දෙක කදිම උත්තේජකයක් නොවේද ?

ස්වකීය පාක්ෂිකයන් ගේ අනුදැනුමකින් තොරව තමන් ට රිසි සේ පක්ෂ මාරු කිරීමට මෙන්ම පවතින ආණ්ඩුවෙන් විවිධ වරදාන ලබා ගැනිමට මේ රටේ ඇතැම් දේශ්පාලකයින ට කිසිදු හිරිකිතයක් නොමැත්තේ ය.මෙය ප්‍රජාතන්ත්‍රවාදී මූල ධර්ම වලට පයින් ගැසීමක් විනා   එම මූලධර්ම රැකීමක් වන්නේ කෙසේ ද ?

දේශපාලකයින් නඩත්තු කිරීම සදහා මේ රටේ ජාතික ධනයෙන් අති විශාල ධනස්කන්දයක් වැය වන බව නොරහසකි .තවද මැතිවරණය දී තමන් ට මහා පරිමාණ මූල්‍ය ආධාර පිරිනමන ආධාරකරුවන් ගේ මන දොල පිනවීම සදහා රජයෙන් දිය හැකි සියලුම වරදාන ඔවුන් වෙත ලබා දීමට මේ රටේ ඇතැම් දේශපාලකයින් නොපැකිලිව ඉදිරිපත් වේ.

එසේ හෙයින් වර්තමානයේ මේ  රටේ පවතින දේශපාලන සංස්කෘතිය සම්පුර්ණයෙන්ම උඩු යටි කරන තාක් මෙම   සාහසික ක්‍රමවේදය පරාජය කළ නොහැකි ය.ඒ සදහා පුළුල් ජනතා සංගායනාවක් ඇති කළ යුතුය .ඒ සදහා පෙරමුණ ගත යුත්තේ තවමත් මේ රටේ සිටින අතලොස්සක් වු  අවංක  දේශපාලකයින් මිස අන් කවරුවත් නොවේ.ඒ හැරෙන්නට මැතිවරණ හරහා ආණ්ඩු මාරු කිරීමෙන් පමණක් පවත්වාගෙන යන දේශපාලන සංස්කෘතිය වෙනස් කළ නොහැකි ය.

නොඑසේ නම් ක්ලයිස්තිනස් ගේ  දෙවන මරණය ට අප  සියල්ලන්ම වගකිවයුතු වේ.

~ එස්.එම්.ජයසූරිය ~

Your email address will not be published. Required fields are marked *