විදුලි බිල වැඩි කිරීම ,ජනතාව කබලෙන් ලිපට වැටීමකි?

විදුලි බිල වැඩි කිරීම ,ජනතාව කබලෙන් ලිපට වැටීමකි?

244 views
0

නව විදුලි ගාස්තු සංශෝධනය අනුව ඒකක 60 ක් භාවිතා කරන නිවසක විදුලි බිල ඉහළ යන්නේ 276% කිනි. ඒ අනුව ඒකක 60 ක් භාවිත කරන නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 680 ක් වූ විදුලි බිල රුපියල් 
2,560 ක් දක්වා ඉහළ යනු ඇති. ඒකක 30 ක් භාවිත කළ නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 360 ක විදුලි බිල රුපියල් 1300 ක් දක්වා ඉහළ යනු ඇත. එය 261% ක වැඩිවීමකි. ඒකක 90 ක් භාවිත කළ නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 1800 ක් වූ විදුලි බිල රුපියල් 4430 ක් දක්වා ඉහළ යනු ඇති. ඒකක 200 වැඩියෙන් භාවිත කරන නිවසක විදුලි ගාස්තු ඉහළ නංවා ඇත්තේ 32% කිනි. 2022 පෙබරවාරි මස තිබූ විදුලි බිල 2023 පෙබරවාරි වන විට 300%කින් එනම් තුන් ගුණයකින් වැඩිකර ඇත.

පසුගිය 2022 අගෝස්තු මස 75%  කින් වැඩි කළ විදුලි බිල, 2023 පෙබරවාරි 15 සිට නැවත 66%  කින් වැඩි කර ඇත.

2022 වසරේදියි විදුලි කප්පාදුව නිසා අතිරේක පිරිවැය වාසියක් ලංවිම ට ලැබිණි. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා යෝජනා කර ඇති 32% ක වැඩි වීම පවා යුක්ති සහගත කිරීම අපහසුය. මහජන උපයෝගිතා කොමිසමට අලුතින් පත්කරන ලද සාමාජිකයන්ගේ බහුතර ඡන්දයෙන් ප්‍රතික්ෂේප කර ඇත්තේ ද එම යෝජනාවයි

මේ විදුලි බිල වැඩි කිරීම තෙල් මිල සූත්‍රය මෙන්ම පුම්බන ලද වියදම් මත පදනම්ව ඇත. රුසියා යුක්රේන ගැටුම නිසා ඉහළ ගිය නිසා තෙල් හා ගල් අඟුරු මිල 35% කින් පමණ 2023 දී අඩුවී ඇත. ඒ අනුව 2022 අන්තර්ජාතික ඉන්ධන මිල ගණන්, 2023 ට යොදා ගැනීම විද්‍යානුකූල නැති බව විද්වතුන් පෙන්වා දෙන ලදි. 

එසේ තිබියදී ලංකාවේ අන්තර්ජාතික පිරිවැයට ඉන්ධන හෝ විදුලිය ලැබෙන්නේ නැත. භාණ්ඩාගාරයේ වැරදි මූල්‍ය කළමනාකරණයට හා රාජ්‍ය බැංකුවල වැරදි මූල්‍ය කළමනාකරණයට විදුලි හා තෙල් පාරිභෝගිකයා වගකිව යුතු නැත.

ගාස්තු සංශෝධනයේදී වැඩි බර දමා ඇත්තේ ඒකක 90 ට අඩුවෙන් පරිහරණය කරන පිරිමැසුම් පාරිභෝගිකයන්ට ය.  ඔවුන් වැඩියෙන් විදුලිය පරිහරණය කරන (විදුලි පහන් දැල්වන සවස 6.30 – රාත්‍රී 9.30) අවස්ථාවේදී සංඛ්‍යාත පාලනයට යොදා ගන්නා ජලවිදුලිය සලකා බැලූ විට හා ජල විදුලි බලාගාර ණය වලට ජනතාව දැනටමත් ගෙවා ඇති තත්ත්වය තුළ මෙය අතිශයින් අයුක්ති සහගත වේ. මෙයින් වෙන්නේ අසරණ අරපිරිමැස්මෙන් විදුලිය පරිභෝජනය කරන ජනතාව කබලෙන් ලිපට දැමීමකි.

ලංවිම ගාස්තු වැඩ කිරීමේ ක්‍රමවේදයක් තිබියදී මහජන උපයෝගීතා කොමිසම සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය පිළිකුල් සහගත මැර ක්‍රියා කලාපයකි. මෙමගින් සිදුවන්නේ රටේ අසරණ අහිංසක ජනතාව තවත් දුගී මට්ටමට වැටීමයි. කිසි අරපිරිමැස්මක් නොමැතිව වැඩ කටයුතු කරන සල්ලිකාර පොහොසත් මිනිසුන්ට මෙය බලපෑමක් නැත. 

විදුලිය කපා දමමින් උසස් පෙළ විභාගය පවා අවුල් කරමින් “ගාස්තු වැඩි කිරීමට දෙන තෙක් විදුලිය කපනවා” ලෙස වූ විදුලිබල අමාත්‍යාංශයේ ක්‍රියාවලිය සමාන වන්නේ සහල් වෙළෙන්දන් බිත්තර වෙළෙන්දන් සහ කළු කඩ කාරයින් භාණ්ඩ හා සේවා සඟවා මිල වැඩිකර ගැනීමේ වෙළඳ මාෆියා ක්‍රියාවලියට ය.

තෙල් සංස්ථාව, ලංවිම ඇතුළු බලශක්ති ක්ෂේත්‍රයේ ගොඩ ගත යුත්තේ එකී ආයතන වලට ද තාක්ෂණික නාස්තිය, මූල්‍ය නාස්තිය, වළක්වන ඵලදායිතා ඉලක්ක ලබා දීමෙන් හා භාණ්ඩාගාරය හා රාජ්‍ය බැංකු එක්ව ඒකාබද්ධ මූල්‍ය ස්ථායිකරණයක් ඇති කිරීමෙනි. 

බදු වැඩි කිරීමෙන් තෙල් මිල හා විදුලි බිල කෘත්‍රීමව වැඩිකිරීමෙන් ජනතාවගේ විරෝධය ‍ප්‍රජාතන්ත්‍රවාදීව කළ හැකිව තිබූ මැතිවරණ කල් දැමීමෙන් ආණ්ඩුවේ ලේ පිපාසිත සුළු පිරිසක් කැරැල්ලකට අත වනමින් සිටිති.

එහෙයින් විරෝධතා සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදී සීමාවේ තබාගැනීමත් එක් විය හැකි සියල්ලන් එක පෙරමුණකට එක්වීමත් මේ මොහොතේ සිදුවිය යුතු ම දෙයයි. මේ දේශපාලනය පරාජය කළ හැක්කේ එවැනි රටේ සමස්ථ ජනතාවගේම එකතුවීම හා නිවැරදි සිතා බලා අවිහිංසාවාදී, ප්‍රජාතන්ත්‍රවාදී සිතා බලන දවසටය.

මෙම දේශපාලන ආධිපත්‍යය තුල රටේ සාමාන්‍ය ජනතාව ඔවුන්ගේ තුරුම්බු ලෙස තියා කටයුතු කිරීම තුලින් හැම මොහොතකම බදු වැඩීවීම් වැනි ක්‍රියාකලාප තුලින් තැලීලා පොඩි වීමට ලක්වන්නේ සමාන්‍ය ජනතාව පමණි. මෙම විදුලි බිල වැඩි කිරීම තුලද සමාන්‍ය ජනතාව කබලෙන් ලිපට වැටීමකි. 

~ කරුණාරත්න දිසානායක ~

Your email address will not be published. Required fields are marked *