සුද්දා දුන් නිදහසත්, අපේ එවුන්ම ලවා අහිමිකරගත් ලාංකේය සමාජය

සුද්දා දුන් නිදහසත්, අපේ එවුන්ම ලවා අහිමිකරගත් ලාංකේය සමාජය

95 views
0

හැත්තෑපස් වැනි නිදහස් උත්සවය මහ ඉහළින් සැමරීමට ආණ්ඩුව සැරසෙමින් සිටින මොහොතක රටේ පවතින නිදහස කවරාකාරදැයි විමසා බැලීම ජාතික වටිනාකමකින් යුතු කාරණාවකි.

අධිරාජ්‍යවාදීන් රටට කළ විනාශය පිළිබඳ කතා කිරීම අතිශය ජනප්‍රිය සංවාදයකි. ඒ සංවාදය තුළ අපට මඟහැරෙන විශේෂ කරුණක් තිබේ. එනම්, අධිරාජ්‍යවාදීන් මෙරටට දායාද කළ වටිනා දේ සමහරක් ද පවතී ය යන්නයි.

එ අතරින් වැදගත් ම දෙය මෙරටට  අධිරාජ්‍යවාදීන් හඳුන්වාදුන් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයයි. එතෙක් පැවැති ප්‍රාදේශීය පාලන ව්‍යුහය වෙනුවට රට ම එක් ඒකකයකට ගොනු කෙරෙන පරිපාලන ව්‍යුහයක් අධිරාජ්‍යවාදීහු මෙරටට හඳුන්වා දුන්හ. එමගින් ඔවුහු පැවැති වැඩවසම් රාජාණ්ඩුව එනම්, පාලන බලය පාරම්පරික උරුමයක් වූ ක්‍රමය වෙනුවට ජනතාව පාලනය කිරීම සඳහා ජනතා කැමැත්ත අනුව පාලකයන් පත්කර ගත හැකි පාලන රටාවක් හඳුන්වා දුන්හ. ඓතිහාසික වශයෙන් ගත් කල එය ප්‍රගතිශීලී වෙනස්කමකි. එහෙත් නිදහසින් පසුව මෙරට ගමන් කර ඇත්තේ ජනතාව විසින් ම පත්කර ගනු ලබන පවුල් පාලනයක් වෙතට බව පෙනේ. නිදසුනක් ලෙස නිදහසින් පසුව ගෙවුණු වසර හැත්තෑපහ තුළ මෙරට පාලන බලය හොබවා ඇත්තේ, සේනානායක, බණ්ඩාරනායක, ජයවර්ධන යන නොනිල ඉඩම්හිමි ධනපති පවුල් කිහිපයක් විසිනි. මේ වන විට එය රාජපක්ෂ පවුලටත් වික්‍රමසිංහ පවුලෙන් නැවතත් විජේවර්ධන ( රුවන් විජේවර්දන) හා ප්‍රේමදාස පවුල වටා සංකේන්ද්‍රණය කර ගැනීමේ උත්සාහයක් පවතී. ප්‍රාදේශීය වශයෙන් ගත්තද දේශපාලනය පවුල් කිහිපයක ග්‍රහණයට ලක්ව ඇති බව පාර්ලිමේන්තුවේ, පළාත් සභාවල නියෝජිතයන්ගේ නම් ගම් පරික්ෂා කිරීමෙන් වටහා ගත හැකිය. ගැටලුව මෙකී ජාතික සහ ප්‍රාදේශීය පවුල් පාලනය තහවුරු කර ඇත්තේ මෙරට ඡන්දදායකයන් විසින් තමන්ගේ කතිරයේ බලයෙන් ම වීමය. අධිරාජ්‍යවාදීන් මෙරට ජනතාවට දායාද කළ වටිනා පාලන ක්‍රමය වන ප්‍රජාතන්ත්‍රවාදය තුළින් ම මෙරට ජනතාව වක්‍රාකාර වැඩවසම් රාජාණ්ඩු ක්‍රමයක් ස්ව කැමැත්තෙන් ම තම කරපිට පටවා ගෙන තිබේ.

වර්තමානය වන විට පවතින්නේ අපේ ඡන්දයෙන් ම පත්වූ පාලකයන් විසින් ම සුද්දා අපට දුන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත් පික්පොකට් ගසන්නට සැරසෙන තත්ත්වයකි. පළාත් සභා මැතිවරණ වසර ගණනක් තිස්සේ කල් දමා තිබේ. මේ වන විට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ පළාත් පාලන මැතිවරණ ද නො පවත්වා ඉන්නට ය. මෙරට මැතිවරණ ඉතිහාසය ද ඡන්ද කල් දැමීම්, හොර ඡන්ද දැමීම්, දූෂිත මැතිවරණ ආදියෙන් අපවිත්‍ර වූ එකකි. මේ මොහොත වන විට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ට ආණ්ඩුව බලපෑම් කරන බව කියැවෙන, ඔවුනට මරණ තර්ජන එල්ල කෙරෙන මට්ටමක් දක්වා සුද්දා අපට දුන් සර්ව ජන ඡන්ද බලය අප විසින් ම සෝදාපාළුවට ලක් කර ගෙන තිබේ.

හිටුවා පස් ගැසීම, වංගෙඩියේ ලා කෙටීම, හිසගසා දැමීම ආදි ම්ලේච්ඡත්වය පදනම් වූ සහ පාලකයා ගේ අභිමතය මත ක්‍රියාත්මක කෙරුණු නීති වෙනුවට විනිවිද භාවයෙන් යුතු  පොදු නීතියක් සහ අධිකරණ පද්ධතියක් ද අධිරාජ්‍යවාදීන් විසින් මෙරටට හඳුන්වා දෙනු ලැබිණ. එකී නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ද මේ වන විට අතිශය දරුණු ආකාර බිඳ වැටීමකට ලක්ව තිබේ. වසන්ත මුදලිගේ වැනි අරගලකරුවන් අනීතික සහ මර්දනකාරී අණපනත් උපයෝගී කර ගනිමින් රඳවා තබා ගැනීම. අත්අඩංගුවේ දී මිනිසුන් ඝාතනයට ලක් වීම, අධිකරණ වලට ගල් මුල් ගැසීම, විනිසුරන්ට බලපෑම් එල්ල කිරීම, අගවිනිසුරන් එළවා දැමීම, අධිකරණයෙන් වරදකරුවන් කළ තැනැත්තන් දේශපාලන බලපෑම් මත නිදහස් වීම පමණක් නොව ඔවුන්ට රජයේ ඉහළ තනතුරු පවා පිරිනැමීම, ආදියෙන් පමණක් නොව අධිකරණය ඉදිරියේ වරදකරුවන් වූ තැනැත්තන් පාර්ලිමේන්තුවේ වගකිව යුතු ධූර හෙබවීම ආදියෙන් ඒ බව තහවුරු වේ.

සුද්දා තබා ගිය සරු භාණ්ඩාගාරය හිස් කර ගත්තා පමණක් නොව අපි, ණය ගෙවා ගත නොහැකි බංකොලොත් ජනතාවක් බවට පත්ව සිටිමු. ගොවියාට පොහොර නැත, ඉඩම් නැත. දරුවාට පෝෂණය නැත.තරුණයාට රැකියා නැත. රෝගියාට බෙහෙත් නැත. විභාගය ලියන දරුවාට පාඩම් කරන්නට විදුලිය නැත.

උඩරට කැරැල්ලේ මිනිස් ඝාතන ගැන කතා කරන අපි, නිදහසින් පසුව කැරලි තුනක දී ඝාතනය කරන ලද තරුණයන් ගැන අමතක කරමු. මේ සියලු විනාශ  සිදු කරනු ලැබ ඇත්තේ අපේ කැමැත්තෙන් අප විසින් ම පත් කරගත් පාලකයන් විසින් බව මේ මොහොතේ වත් වටහා නො ගන්නේ නම්, වසර හැත්තෑ පහක් තිස්සේ කළ මෝඩකම යළි නො කරන්නට මේ තීරණාත්මක මොහොතේ වත් මෙරට ජනතාව කල්පනා නො කරන්නේ නම් ඊළඟ පෙබරවාරි හතර වන දා ට අපට මුහුණ දෙන්නට සිදු වන්නේ මෙයටත් වඩා කනගාටුදායක වටපිටාවක වීම නොවැලැක්විය හැකිය.

~ අනුර කේ එදිරිසූරිය ~

Your email address will not be published. Required fields are marked *