වාරණය සදාචාර ඛාදනය වළක්වනු පිණිසම ද ?

වාරණය සදාචාර ඛාදනය වළක්වනු පිණිසම ද ?

390 views
0

වාරණය යන්නෙන් අදහස් කරනු ලබන්නේ යම් අදහසක් පණිවිඩයක් සමාජගත වීම වැළැක්වීමයි. වාරණය පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ක්‍රියාත්මක විය හැකිය. සදාචාරයට විරැද්ධ හෝ වෙනත් අයුරකින් අහිතකර වු දෙය දුරාචාරය ලෙස සළකා ඕනෑම දෙයක් කපා හැරීමේ බලය (Oxford Dictionary) වාරණය ලෙස අර්ථකථනය කළ හැකි වේ. වාරණය හෙවත් දෝෂ පරීක්ෂාවේ මුඛ්‍යය අරමුණ වූයේ සමාජයේ ප්‍රගතියට සදාචාරයට ජනතා විනයට අහිතකර ආගම් විරෝධී රාජ්‍ය විරෝධී ප්‍රකාශන සන්නිවේදනය වීම වැළැක්වීම උදෙසා කටයුතු කිරීමයි. නමුත්  ලොව පුරා රාජ්‍යය තන්ත්‍ර තම සුඛවිහරණය හා පැවැත්ම වෙනුවෙන් වාරණය යොදා ගන්නා බවක් ඉතිහාසය පුරාවටම දැක ගත හැකි කාරණාවකි. මුල්කාලීනව සත්/ අසත් හොඳ නරක හා චාරිත්‍ර යන නාමකරණයෙන් සමාජ  සදාචාරය සුරක්ෂිත කරනු වස් යොදා ගත් මිණුම් දඞු ප්‍රශ්චාත්කාලීන වන විට පාලක තන්ත්‍ර ස්වපක්ෂය හා පන්තිය ආරක්ෂා කරගැනීමට යොදා ගත් බවට නිදසුන් බොහෝය.

තහනම පැමිණිය හැකි ආකාර බොහෝය. විටෙක එහි නිත්‍යානුකූල ස්වභාවයක් තිබිය හැකිය. තවත් විටෙක එහි තර්ජනාත්මක බවක් තිබිය හැකිය. තහනම පැණෙන මාධ්‍යය  කුමක් වුවත් එහි ආවසනික ප්‍රතිඵලය වන්නේ යම් නිර්මාණාත්මක අදහසක් දුරාචාරය ලෙස සළකා තහනම් වීමයි. එහි ස්වභාවය අනුව වාරණය ආගමික වාරණය දේශපාලන වාරණය රාජ්‍ය වාරණය මුද්‍රිත වාරණය විද්‍යුත් වාරණය හෝ අන්තර්ජාල වාරණය ලෙස නාමකාරණයය කළ හැකිය. කෙසේ නමුත් ඉන් ආගමික වාරණය හා රාජ්‍ය වාරණය ඉතා ප්‍රභලව කලා නිර්මාණ කෙරෙහි බලපා ඇති බව පැහැදිලිය.

ශ්‍රී ලංකාවේ වාරණ ඉතිහාසය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී, එය මුල් කාලයේ වඩාත් සක්‍රියව ක්‍රියාත්මක වී තිබෙන්නේ නාට්‍යය හා සිනමා කර්මාන්තය සඳහාය. සිනමා වාරණය සඳහා නෛතික ප්‍රතිපාදන වර්ෂ 1910 අංක 06 දරන නාගරික ආඥා පනතේ 110  ඡේදයේ 15 වැනි උප වගන්තිය හරහා චිත්‍රපටි නරඹා නුසුදුසු කොටස් ඉවත් කර වාරණය කිරීමේ බලතල හා සුදුසු නම් ප්‍රදර්ශනට අවසරදීමේ බලය නගරාධිපතිවරයාට හා කොළඹ පොලිස් අධිකාරිවරයාට හිමිවිය. මේ යටතේ වේදිකා නාට්‍යය චිත්‍රපට මැජික් දර්ශන ආදී සියලුම රැගුම් පාලනය විය.

ඉන් වසර 32 කට පසුව එනම් වර්ෂ 1951 දී අංක 23 දරන ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය බිහිවීම (Public Performance Board) නිර්මාණ වාරණය කෙරෙහි නව බලපෑමක් එල්ල විය. (මෙම පණත 1961, 1964 හා 1969 යන වර්ෂවල දී සංශෝධනය වී තිබේ.) පනත මගින් මෙතෙක් නගරාධිපතිවරයාට හා පොලිස් අධිකාරිවරයාට හිමි ව තිබූ නිර්මාණ වාරණය කිරීමේ බලය ආරක්ෂක හා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා යටතේ රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයට හිමි විය. මෙම මණ්ඩලයට පැවරැණු ප්‍රධානතම වගකීම වූයේ මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන සෑම නාට්‍යයක් ම නරඹා ඊට සහතිකයක් නිකුත් කිරීමයි.

ලාංකේය සිනමා ඉතිහාසය තුළ මුලින් ම තහනම් කරනු ලැබූයේ The Light of Asia (අසියාවේ ආලෝකය) නමැති බෞද්ධ චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය 1927 දී මෙරටට ගෙන්වා වැල්ලවත්ත ප්ලාසා ශාලාවේ දී ප්‍රදර්ශනය කරනු ලැබීය. ඉන් දින දෙකකට පසුව ව්‍යවස්ථාදායක සභාව විසින් මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම අත්හිටුවා තහනම් කරනු ලැබීය. බුදුන් වහන්සේගේ චරිතය සාමාන්‍ය නලුවෙක් විසින් රඟපෑම ඊට හේතු වූ අතර එම නිසා මෙම චිත්‍රපටය ලොව පුරා බෞද්ධයන්ගේ විරෝධය එල්ල විය. එසේම 1960 දී තිරගත වූ නලගන චිත්‍රපටයත් මෑතකාලිනව තහනමට ලක් වූ අක්ෂරය සුළඟ එනු පිණිස චිත්‍රපටයත් තහනම් කර ඇත්තේ සදාචාරය හා සභ්‍යයත්වය ආරක්ෂා කරගැනීමට බැව් වගකිවයුත්තන්ගේ අදහසයි.

මීට අමතරව ග්‍රන්ථ ප්‍රකාශනය පිළිබඳ අවධානය  යොමු කිරීමේ දී යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන්ගේ  වනකතා එකතුවට අයත් මිතුරන් කෙටවීම නමැති කෘතිය යම් කාලසීමාවකට වාරණය වූයේ එමඟින් පාලන හා ආගමික තන්ත්‍ර දැඩිව විවේචනය වීම නිසයි.

අපායට යන්ට ඕනෑ නම් නුඹට

කරපං මහ ඇමැතිකම එකදවසකට

නැතිනම් පන්සලක සේවාලයක සිට

අධිපතිකම කරපං තුන්දවසකට

1967 වර්ෂයේ දී ටෙනිසන් පෙරේරා විසින් ප්‍රකාශයට පත් කළ දැති රෝදයෙන් උපන් බුදුන් නමැති කෙටි කතා සංග්‍රහය සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සාමාජිකයෙකු විසින් බුදුදහමට අපහාසයක් වන බවට කරන ලද පැමිණිල්ලක් හේතුවෙන් වාරණයට ලක් වූ අතර ම රචකයාට කෙටි කලකට සිරදඞුවම් පවා හිමි විය. කේ. කේ ශ්‍රීනාත් විසින් රචනා කරන ලද බුදුන්ගේ රස්සියාදුව නමැති කෘතිය එහි භාවිත නාමය නිසා මෑතකාලීනව ආගමික වාරණයට ලක් වූවකි.

ඇතැම් නිර්මාණ සඳහා පනවන ලද තහනම් හසිතුප්පාදය ඇති කරවයි. පොරැන්දු දේශපාලනය පිළිබඳ එල්ල වූ විවේචන නිසා හැත්තෑව හා අසූව දශකවල දී ඇන්ජලින් ගුණතිලක ගැයූ බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව යම් කාලයකට රාජ්‍ය වාරණයට නතු විය.

මෑතකාලීනව නොයෙකුත් හේතු නිසා සමාජ වෙබ් ජාලා තහනම් කිරීම ද වාරණයේ තවත් එක් පැතිකඩකි. රාජ්‍යය තන්ත්‍රය ඊට හේතු දක්වන්නේ ආගමික හා සමාජ සංහිඳියාව උදෙසා එම පැණවීම් සිදු කරන බවයි. කෙසේ නමුත් වාරණ ඉතිහාසය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී සමාජ සදාචාරය ආරක්ෂා කරගැනීමට පමණක් නොව රාජ්‍ය හා ආගමික තන්ත්‍ර තම පැවැත්ම තහවුරැ කර ගැනීමට ද වාරණය භාවිත කර ඇති බව සක්සුදක් සේ පැහැදිලිය.

~ අරුණ තිලංක ~

Your email address will not be published. Required fields are marked *