දුෂිත රෙජීමය නියතවම ප්‍රතිෂේප වෙන නිසාම – ඡන්දෙට නැති සල්ලි

දුෂිත රෙජීමය නියතවම ප්‍රතිෂේප වෙන නිසාම – ඡන්දෙට නැති සල්ලි

181 views
0

පළාත් පාලන මැතිවරණය හෙවත් පුංචි ඡන්දයට වියදම් කරන්නට මුදල් නැතැයි ආණ්ඩුව නැතිබැරිකම් කියන්නට පටන්ගෙන තිබේ. ඡන්දයට වියදම් කළොත් වී මිල දී ගන්නට මුදල් නැති වනු ඇතැයි වරෙක කියන්නට යෙදිණ. රටේ ප්‍රශ්න මැද පළාත් පාලන ආයතන නියෝජිතයන් 8000ක් සඳහා මුදල් වැය කිරීම සාධාරණ දැයි තවත් ඇමතිවරයෙක් අසයි. පළාත් පාලන මැතිවරණයට මුදල් දිය නො හැකි බව මුදල් රාජ්‍ය ඇමැතිවරයකු ද කියා තිබිණ. මැතිවරණ වියදම් පියවීම සඳහා මුදල් අච්චු ගැසීමට සිදු වනු ඇති බවත් එසේ වුව හොත්, බඩු මිල දෙතුන් ගුණයකින් ඉහළ යනු ඇති බවත් එමගින් උද්ධමනය ද වැඩි විය හැකි බවත් හේ වැඩි දුරටත් පවසයි. රට බංකොලොත් වී ඇති බැවින් පළාත් පාලන මැතිවරණයට මුදල් වෙන් කළ නොහැකි බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ද ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම්  ප්‍රකාශයක් මගින්  කරුණු කියන්නට යෙදිණ.

පුංචි ඡන්දය සම්බන්ධයෙන්  කියන මේ නැතිබැරිකම් ආණ්ඩුවේ වෙනත් නාස්තිකාර වියහියදම් වල දී පෙනෙන්නට නො තිබීම පුදුමසහගතය. නිදර්ශනයක් වශයෙන් නැතිබැරිකම් ගැන කියමින් ම ආණ්ඩුව පසුගිය දා තවත් බානක් ඇමැති මණ්ඩලයට එකතු කර ගත්තේ ය. ඒ ඇමැති කට්ටලයට වැටුප් දීමනා වෙනත් පහසුකම් සපයන්නට ආණ්ඩුවේ මුදල් වැය වන්නේ නැතැයි ජනතාව සිතිය යුතුද? මැතිඇමැතිවරුන්ගේ ගිනි ගත් නිවාස වෙනුවට වියත් පුර සුපිරි නිවාස සංකීර්ණයෙන් නිවාස 101ක් ලබා දීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් වසරකට රුපියල් අසූහය කෝටි හතළිස් ලක්ෂයක් ගෙවා ඇති බවද ඒ අතර කියැවේ. එම මුදල මසකට රුපියල් හත් කෝටි විසි ලක්ෂයක් තරම් දැවැන්ත ය.

ගිනි තබන ලද්දේ මැතිඇමැතිවරුන්ගේ කොළඹ නිවාස නොව ඔවුන් ගේ ගම්වල නිවෙස් ය. ගම්වල නිවෙස් වෙනුවට කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකින් මැති ඇමැතින්ට සුඛෝපභෝගී නිවාස ලබා දෙන්නට ආණ්ඩුවට ඇති රුදාව අන් කිසිවක් නොව ගැත්තන්ට අල්ලස් දී ආණ්ඩුව රැක ගැනීමෙ අවශ්‍යතාව ය. අවම වශයෙන් ඔවුන්ගේ ගිනි ගත් නිවාස වෙනුවට එම නිවෙස් පිහිටි ප්‍රදේශ වලින් කුලියට නිවාස ලබා දීමේ පිළිවෙතකට ගියේ නම් මෙතරම් දැවැන්ත මුදලක් ඒ වෙනුවෙන් වැය කරන්නට සිදු නොවන බව වටහා ගන්නට බැරි මුදල් අමාත්‍යංශය  මැතිවරණ වියදම් ගැන උසාවියට කරුණු කියන්නට යාම විහිළුවක් නොව ඛේදවාචකයකි. නිවාස ගිනිගත් මැති ඇමැත්තන් බොහොමය එක නිවෙසක් පමණක් හිමි දුප්පතුන් නොවන බවද රට ම දන්නා කරුණකි. බඩු මිල ඉහළ යාම , උද්ධමනය වැඩි වීම ගැන කියමින් පුංචි ඡන්ද වියදම් ගැන කිඹුල් කඳුළු හෙළන මුදල් රාජ්‍ය ඇමතිවරයාට ද මන්ත්‍රී ගොයියන් 101ක ගේ සුපිරි වාසස්ථාන සඳහා  භාණ්ඩාගාරයෙන් වැය කරන මුදල නො පෙනීම ආණ්ඩුවේ ඊනියා ජනතාවාදයේ තරම පෙන්වන කදිම නිදසුනකි. එ් අතර පසුගිය වසරේ මෙරටට සහල් මෙට්‍රික් ටොන් මිලියනයක් ආනයනය කර ඇති බවත් එහි වටිනාකම රුපියල් කෝටි 16000/- ක් බවත් පසුගිය දා පාර්ලිමේන්තුවේ විවාදයක දී පවසනු ලැබිණ. එම සහල් තොගය ආනයනය කර ඇත්තේ ද මෙරට සහල් අතිරික්තයක් පවතී යැයි ජනාධිපතිවරයා ම පාර්ලිමේන්තුවේ පවසන තත්ත්වයක් තුළ ය.  ඒ අනුව, පුංචි ඡන්දයට මුදල් නැතැයි කියන ආණ්ඩුව ම රුපියල් කෝටි 600ක් සහල් ආනයනය සඳහා අනවශ්‍ය ආකාරයෙන් වියදම් කර තිබේ. ආහාර සුරක්ෂිතතාව සඳහා සහල් ආනයනය කළ බව කිසිවකුට කිව හැකි වුව,දේශීය ව සහල් හිඟයක් ඇත්නම් එයට හේතුව ද ආණ්ඩුවේ වැරදි පොහොර ප්‍රතිපත්තිය ය. කාබනික පොහොර ප්‍රතිපත්තියේ දී ප්‍රතිපත්තියේ වැරැදි නිවැරැදි බව වෙනුවෙන් නොව ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින බවට තප්පුලන ලද ඇමැතිවරයකු පාර්ලිමේන්තුවේ සිටිය දී ම මෙරට ජනතාව ආණ්ඩුවේ  බැරිබැරියාවට තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියෙන් වන්දි ගෙවිය යුතු යැයි ආණ්ඩුව කියන්නේ නම් වරදකි.

ඡන්දය කරන්නට මුදල් නැති බව කියමින් ම ආණ්ඩුව  රුපියල් මිලියන 200ක් වැය කරමින් නිදහස් උත්සවය පවත්වන්නට සූදානම් වේ. මැතිවරණයකින් තමා කැමැති නියෝජිතයා තෝරා පත් කර ගැනීමේ නිදහස ජනතාවට ලබා දිය නොහැකි ආණ්ඩුවකට සමරන්නට ඇත්තේ කවරාකාර නිදහසක් ද?    

මැතිවරණයට බිලියන අටක් හෝ දහයක් නැත කියන ආණ්ඩුව රජයේ වියදම් ලෙස රුපියල් බිලියන 5813ක් වෙන් කර ගෙන තිබේ. පළාත් පාලන මැතිවරණයට වැය වනු ඇත්තේ එම මුදලින් 0.17%ක් බව කියැවේ.  තම සමස්ත වියදමෙන් 0.17%ක් රටේ ප්‍රජාතාන්ත්‍රික ආයතන පද්ධතියක් බල ගැන්වීම සඳහා වැය කරන්නට පසුබට වන ආණ්ඩුවක් තමන් ප්‍රජාතන්ත්‍රවාදී ය කීම ම දෙකොනින් සිනාසිය යුතු කතාවකි.

ඡන්දයක් කරන්නට ආණ්ඩුවට මුදල් නොමැති නම් එයට වගකිව යුතු වන්නේ ද ආණ්ඩුව ම ය. පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය වන්නේ රුපියල් බිලියන අටක් හෝ දහයකි. සීනි බදු වංචාවේ පමණක් වටිනාකම රුපියල් බිලියන පහළොවකි. එනම්, සීනි බදු වංචාවේ මුදල අය කර ගත් විට මැතිවරණයත් පවත්වා බිලියන පහක් හෝ හතක් භාණ්ඩාගාරයටත් බැර කළ හැකිය.

ආණ්ඩුවට මුදල් නැත්තේ ජනතාවගේ වරදින් නොව ආණ්ඩුවේ ම වරදිනි. එවැනි ආණ්ඩුවකට ලැජ්ජාවක් ඇත්නම් කළ යුත්තේ, පුංචි  ඡන්දයෙන් ලැබෙන්නට නියමිත නියත පරාජයට බිය වී, නො කෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් අවශ්‍ය කතා කීම නොවේ. තම නොහැකියාව පිළිගෙන තමන්ට කැමැති ආණ්ඩුවක් පත් කර ගන්නට ජනතාවට අවස්ථාව ලබා දෙමින් වහා පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට අවස්ථාව ලබා දීම ය.  

~ අනුර කේ එදිරිසූරිය ~

Your email address will not be published. Required fields are marked *