සන්ධාන ගතවීම ජනතාව පෙළීමට නම්, කල්ලිය තවත් පිල්ලියකි

සන්ධාන ගතවීම ජනතාව පෙළීමට නම්, කල්ලිය තවත් පිල්ලියකි

121 views
0

පළාත් පාලන මැතිවරණය නො පැවැත්වීමට හෝ අවම වශයෙන් එය මද කාලයකින් වත් කල් දමා ගන්නට හෝ ආණ්ඩුව ගත් සියලු උත්සාහ ව්‍යර්ථ වී ඇති බව පෙනේ. එහෙයින්  නියමිත පරිදි මැතිවරණය නියම කළ දිනයට පැවැත්වෙනු ඇති බව මේ වන විට අනුමාන කරන්නට හැකියාව තිබේ. එසේම, ඉදිරි මැතිවරණයේ දී ඡන්දදායකයන් ඉදිරියට පිල්ලි සහ කරණම්කාරයන් රැසක් එන්නට ද නියමිත ය. එම පිල්ලි සහ කරණම්කාරයන් කල් තියා හඳුනා ගැනීම ඡන්දදායකයන් ට අතිශය වැදගත් ය.

කුරුණෑගල, හම්බන්තොට , මොණරාගල, දිස්ත්‍රික්ක තුනෙහි මැතිවරණයට එන එවන් එක පිල්ලියක්  වන්නේ හෙලිකොප්ටරය යි. පොහොට්ටුවෙන් වෙන් වී ඇතැයි කියන උත්තර ලංකා සභාගය, නිදහස සභාව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ වලට අයත් විමල් වීරවංශ, චරිත හේරත්, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර සහ  මෛත්‍රීපාල සිරිසේන ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  හෙලිකොප්ටරය ට අයත් වන පිරිසය. විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල යනු යහපාලන සමයේ මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩපිළිවෙළට සහ ප්‍රතිපත්ති වලට වඩාත් ම විරෝධය පෑ කණ්ඩායම ය. ඉන් නො නැවතී ඔවුහු ශ්‍රීලනිප ට විකල්ප ව පොහොට්ටු පක්ෂය බිහි කරන්නට ද මුල් වූහ.  

දැන් මැතිවරණයක් ආසන්නයේ ඔවුන් ශ්‍රීලනිප සමඟ එකගෙයි කන්නට සැරසී සිටිති. වඩාත් ම ගැටලුකාරී හැසිරීම වන්නේ, මේ පිරිස හෙලිකොප්ටරයෙන් තරග වදින්නේ තෝරා ගත් දිස්ත්‍රික්ක කිහිපයක දී පමණක් වීම ය. එනම් ඇතැම් දිස්ත්‍රික්ක වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් මැතිවරණයට තරග කරන අතර හම්බන්තොට, කුරුණෑගල, මොණරාගල යන දිස්ත්‍රික්ක තුනෙහි හෙලිකොප්ටරයෙන් තරග වදී. එනම්, බෙදීම වාසිදායක තැන්වල බෙදී එක් වීම වාසිදායක තැන දී එක් වීමය.

මෙය මෛත්‍රීපාල , විමල් , ගම්මන්පිල , වාසු ආදීන් පමණක් ගසන තුරුම්පුවක් නොවේ. නිදසුනක් වශයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට පොහොට්ටුව කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා ලබා දී නැත. ඒ වෙනුවට ඔවුන් එජාප ලැයිස්තුවට තම පක්ෂයේ අපේක්ෂකයන් ගේ නම් ඇතුළත් කර තිබේ.

ලංකා කම්කරු කොන්ග්‍රසය නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හතකට එක්සත් ජාතික පක්ෂයේ  අලියා ලකුණින් තරග කරන අතර ආයතන පහකට ඔවුන් තමන්ගේ කුකුළා ලකුණින් තරග කරයි. ගාල්ල මහ නගර සභාව පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටුවෙන්  නියෝජනය කළ මන්ත්‍රීවරුන් හතක් මෙවර තරග කරන්නේ, එක්සත් මහජන පෙරමුණෙන් බවත් එක් අයෙක් සමගි ජන බලවේගයෙන් සහ දෙදෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන බවත් පසුගිය දා ප්‍රකාශ වී තිබිණ. මෙවැනි උදාහරණ රට පුරා තවත් කොතෙකුත් තිබේ.

මැතිවරණ සමයක දී කෙරෙන මෙවැනි විවිධාකාර රංචු ගැසීම් ඒවාට අදාළ පුද්ගලයන් සහ දේශපාලන පක්ෂ  විසින් හුවාදක්වනු ලබන්නේ පොදු ජන යහපත උදෙසා කෙරෙන  සංධානගත වීම්  වශයෙනි. එම කතාවේ සත්‍යාසත්‍යතාව වටහා ගැනීම පොදු ජනතාවගේ අනාගතයට බෙහෙවින් යහපත් වේ.

පොහොට්ටුවත් අලියාත් එක නාමලේඛනයකින් මැතිවරණයට තරග කරන්නේ ඇයි? පසුගිය ජනාධිපතිවරණයේත් මහ මැතිවරණයේත් පොහොට්ටුවේ නායකයන් කියූ ආකාරයට ඉතිහාසයේ දරුණු ම අපරාධය රටට සිදු කරනු ලැබු පිරිස අතරින් රනිල් වික්‍රමසිංහ එක් අයෙකි. රටට දරුණු ම විපත සිදු කළ පක්ෂ අතරින් එජාපය ප්‍රමුඛ ය. ඉහත ප්‍රකාශ හිස මුදුනින් පිළිගත් මෙරට ජනතාව ආසන්නතම මැතිවරණ දෙකක දී එජාපය අන්ත පරාජයකට ලක් කළහ. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී එජාපය දරුණු පරාජයක් ලැබුවේ ද පොහොට්ටුවේ ඉහත ප්‍රකාශ ම හේතුවෙනි. පොහොට්ටුව හෝ එක්සත් ජාතික පක්ෂය හෝ වෙනස් වී නැත. මැරී ඉපදුණු පිරිසක් මෙන් පොහොට්ටුව සහ එජාපය මෙවර පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කරන්නේ පොදු ජන සුබසිද්ධියට නොව කොයි ආකාරයෙන් හෝ තමන් ගේ සහ තම  කණ්ඩායමේ බලය ආරක්ෂා කර ගන්නට ය.

මෙවර මැතිවරණයේ දී බලවත් ම අසීරුතාවට පත්ව සිටින කණ්ඩායම් දෙක වන්නේ ද පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය ය. තමන්ට අත් වන්නට නියමිත අන්ත පරාජය හමු වේ ඔවුන් කොතරම් ලැජ්ජා විරහිත තත්ත්වයකට ඇද වැටී සිටීද යන්නත්, ඔවුන්ගේ දේශපාලනය කොතරම් ව්‍යාජ ද යන්නත් අලි පොහොට්ටු හවුලෙන් ජනතාව වටහා ගත යුතුය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ  කුකුළා සහ අලියා සම්බන්ධයෙන් කිය යුතු වන්නේ ද එයමය. කූට දේශපාලකයන් බලය සඳහා සමඟි වන්නේත් භින්න වන්නේත් කෙසේ ද  යන්නට නුවරඑළියේ කුකුළා සහ අලියාත් හෙලිකොප්ටරයත් කදිම උදාහරණයකි.

දේශපාලන සංධාන ප්‍රතික්ෂේප කළ හැකි වන්නේ ද නැත. පරස්පර මත දරන කණ්ඩායම් මෙන්ම, එකම අරමුණක් වෙනුවෙන් වෙන් වෙන් ව කටයුතු කරන කණ්ඩායම් පොදු අරමුණක් වෙනුවෙන් එක් ව කටයුතු කළ අවස්ථා ලෝක ඉතිහාසයේ කොතෙකුත් තිබේ. යසර් අර්ෆත් ගේ නායකත්වයෙන් බිහි වූ පලස්තීන විමුක්ති සංවිධානය එක් අරමුණක් වෙනුවෙන් වෙන් ව සටන් කළ පිරිස් එක්ව ගොඩනැඟූ සංවිධානයකට නිදසුනකි.

පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් අවංකව සේවය කරන්නට  ගොඩනැගෙන සැබෑ ජනතාවාදී  සංධාන සමාජයට හිතකර වන්නා සේම, බලය සහ වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමේ අටියෙන් බිහි වන බලලෝභී සංධාන සමාජයට අතිශය අහිතකර ය.

බලය වෙනුවෙන් කෙරෙන රංචු ගැසීම් වලින් පොදු ජනතාව ගේ යහපත සඳහා බිහි වන සංවිධාන  නිවැරදිව වෙන් කර හඳුනා ගන්නට මෙරට ජනතාව එළඹෙන මැතිවරණයේ දීත් ඉදිරියට පැවැත්වීමට නියමිත සියලු මැතිවරණ වලදීත් කල්පනාකාරී විය යුතුය. සංධාන වශයෙන් පමණක් නොව ස්වාධීන ය කියමින් වුව ජනතා විරෝධී පිල්ලි පැමිණිය හැකිය. ජනතාවාදී සංවිධාන සහ රැවටිලිකාර පිල්ලි හඳුනා ගන්නට ජනතාවට ඒ ඒ කණ්ඩායම් වල නියෝජනය වන තැනැත්තන් ගේ අතීත දේශපාලන කැරැට්ටුව පරීක්ෂා කිරීමෙන් පුළුවන.

~ අනුර කේ එදිරිසූරිය ~

Your email address will not be published. Required fields are marked *